
මේ ලබන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දයි. අවුරුදු සමය කලා ක්ෂේත්‍රයටත් එක් කරන්නේ අසිරිමත් බවක්. කලා ලොවේ තරු අලුත් අවුරුදු සමරන්නට වෙන සූදානම වගේම අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකළ හා දායක වූ නිර්මාණ ගැනත් අපිත් එක්ක කතා බහ කළා.
ගෙදර වගේම රෝහලෙත් අවුරුදු
වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ කියන්නේ කලා ලොවට අර්ථවත් ගීත බොහොමයක් තිළිණ කළ අපූරු ගේය පද රචකයෙක්. මේ දිනවල ඔහු ලියූ නවතම ගීත කිහිපයක්ම ප්‍රවීණ ගායක ගායිකාවන් කිහිප දෙනෙක්ම ගායනා කරනවා. ඒ අතර මහාචාර්ය කෝලිත භානු දිසානායක ගායනා කරන
'දුරම ගමනක් නිමා වී...
මගේ අවසන් ගමන යන දිනයයි...
ඔබ නොඑන්නේ ඇයි...
හිස නමන මහ සෙනඟ අතරේ
පියාගත් ඇස් ඔබ සොයා දිව යයි...
රිදුණු තැන් හදවත කොනේ
තව රිදෙන්නේ ඇයි
බලෙන් පියවූ ඇස් දිගේ...
කඳුළු ගැලුවේ ඇයි
පාළු අහසට සුසානේ
සඳ නොඑන්නේ ඇයි
කවුරු ආවත් දුකක් නෑ
ඔබ නොඑන්නේ ඇයි... ගීතය අද කාගේත් කතා බහට ලක් වූ ගීතයක් වෙලා. නිතරම රෝගීන් සමඟ ගැවෙසෙමින් ඔවුනට නිබඳ ප්‍රතිකාර ලබා දෙමින් කාර්යබහුල ජීවිතයක් ගත කරන වෛද්‍යවරයෙක් වුවත් දුමින්ද අපූරු කලාකරුවෙක්. මේ හැමදේමත් එක්ක වෛද්‍ය දුමින් ද අලුත් අවුරුද්ද ගත කරන්නට සූදානම් කොහොමද කියලා අපි විමසා බැලුවා. ' මම මේ වන විට සේවය කරන්නේ මහරගම අපේක්ෂා රෝහලේ. මෙහි සේවය කරත්දී සාමාන්‍ය කෙනෙකුට ලබන්න බැරි බොහෝ අත්දැකීම් ලබනවා වගේම ජීවිතේ බොහෝ දේ ගැන මෙතැන දී අවබෝධ වෙනවා. මෙතැනට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කරමින් ඔවුන් සුවවෙනවා දකින කොට නිරාමිස සතුටක් වෛද්‍යවරුන් ලෙස අපට දැනෙනවා. මෙවර අලුත් අවුරුද්ද මගේ ගෙදර අය එක්ක වගේම මගේ රෝහලේ කාර්යමණ්ඩලයත් එක්ක මගෙන් ප්‍රතිකාර ගන්න රෝගීන් සමඟ සමරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මගේ රසිකයන් ඇතුළු හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
සතුටින් අවුරුදු සමරනවා
කලා ලෝකයේ සොඳුරුතම චරිත අතර හමුවෙන ප්‍රවීණ නිළියක් තමයි චම්පා ශ්‍රියාණි. ඇය අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වන ආකාරය අපි විමසා බැලුවා. මේ අවුරුද්ද ඇයට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වන බවයි ඇය පවසන්නේ. ඒ ගැන ඇය අපිත් එක්ක කතා කළේ මේ විදිහට.' හැමදාමත් වගේ අවුරුද්දට කරනු ලබන සියලුම චාරිත්‍ර මෙදාත් ඉටු කරන්න මම බලාපොරොත්තු වෙනවා. හිතේ බොහොම සතුටකින් තමයි මෙදා මම අවුරුද්ද ගත කරන්නේ. එයට හේතුවක් තිබෙනවා. මොකද මගේ චුටි දුව සාමාන්‍ය පෙළ විභාගයෙන් මම හිතපු විදිහටම හොඳින්ම සමත් වෙලා. ඇය විශිෂ්ට සාමාර්ථ අටකුත් එක් බී සාමාර්ථයකුත් ලබා තිබෙනවා. ඒ සතුටත් එක්ක තමයි මෙදා අවුරුදු අපේ නිවෙසේ හැම දෙනාම සමරන්නේ. මොකද මව්පියන්ට දරුවන් තරම් වටින කිසිවක් මිහිපිට නැහැ. ඔවුන් සාර්ථක ගමනක් යනවා නම් හැමදාමත් මව්පියන්ට අවුරුදු කියලයි මම හිතන්නේ. කොහොම වුණත් මේ සතුටත් එක්ක මගේ මවත් , සැමියාත්, චුටි දුවත් සතුටින් අවුරුද්ද සමරනවා. ලොකු දුව විවාහ වෙලා ඇගේ නිවෙසේ අවුරුදු චාරිත්‍ර ඉටු කරලා අපි බලන්නට පැමිණේවි. ඉන්පසු අපි හැමදෙනාම මගේ සැමියාගේ මව බලන්නට ඇගේ මහ ගෙදරට යනවා.
ඉඳුල් කටගාන අවුරුද්දක්
නව පරපුරේ දක්ෂතා රැසකින් සමන්විත ජනප්‍රිය තරුවක් තමයි තීක්ෂණ අනුරාධ. තීක්ෂණට මේ අලුත් අවුරුද්ද හරිම සුවීශේෂියි කියලා අපිට දැන ගන්නට ලැබුණා. මේ සුවිශේෂී බව වගේම තීක්ෂණගේ කලා කටයුතු ගැනත් ඔහු අප සමඟ කතාබහ කළා.
'සිංහල අලුත් අවුරුද්ද මටත් මගේ බිරියටත් හරිම සෙනෙහෙබර අවුරුද්දක් කිව්වොත් හරි. මොකද අපේ පුංචි පුතත් එක්ක සමරන පළමු අවුරුද්ද මෙයයි. හරියටම මේ මාසෙට පුතාට මාස නවයයි. ඒ නිසා අවුරුදු චාරිත්‍ර නැකත් ඉටු කරන ගමන්ම පුතාගෙත් ඉඳුල් කට ගාන චාරිත්‍රය කරන්න අපි දෙන්නා සූදානම් වෙනවා. ඒ නිසා මෙවර නම් අපේ අවුරුදු කෑම මේසය වඩාත් වර්ණවත් වේවි. වෙනද අපි දෙදෙනා විතරක් සමරපු අලුත් අවුරුද්ද මෙදා අපි තුන්දෙනාම එක්ව සමරන එක අපේ ජීවිතවලට සුන්දරත්වයක් එක්කරාවි. ඒ වගේම අවුරුද්ද වෙනුවෙන් අනුරාධිකා අතින් විවධ කැවිලි වර්ග හැදෙනවා. මේ හැමදේම එක්ක ප්‍රසංග වේදිකාවටත් මට ආරාධනා ලැබී තිබෙනවා. අවුරුදු දිනයේ රසිකයන් අතරට එන්නත් මම අමතක කරන්නේ නැහැ.
අවුරුදු සමරන්නේ ඉතාලියේදියි
නිතර දෙවේලේ කලා නිර්මාණ ඔස්සේ අපේ නෙතු ගැටෙන සුරූපී ජනප්‍රිය නිළියක් තමයි දිනක්ෂි ප්‍රියසාද්. රංගන ශිල්පිනියක මෙන්ම නිවේදිකාවක ලෙසින් ද කා අතරත් ආදරයට ලක් වෙන ඇය අලුත් අවුරුදු සමරන හැටි අපිට කිව්වේ මේ විදිහටයි.
'මෙවර බොහෝවිට අලුත් අවුරුදු දිනයේ මම ලංකාවේ නොරැදේවි. ඒත් මම නිවේදනයෙන් වගේම රංගනයෙන් දායක වූ බොහෝ රූපවාහිනී වැඩසටහන් එදිනට මගේ රසිකයන්ට දැක ගන්නට හැකි වේවි. මෙවර සිංහල අලුත් අවුරුද්ද සමරන්නට මට සිදු වන්නේ ඉතාලියේ දියි. ඒ ප්‍රසංග කිහිපයකටම මට දායක වන්නට ආරාධනා ලැබී තිබෙන නිසා. මම අවුරුදු දා ලංකාවේ නැති වුණත් මගේ වැඩසටහන් විකාශය වෙන නිසා රසිකයන්ට මා ගැන මතකයට නැඟේවි.
අවුරුදු චාරිත්‍ර අකුරටම
සෙව්වන්දි රණතුංග අලුත් අවුරුද්දේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක් බවට මේ වනවිට පත්වෙලා. ඇගේ සොඳුරු ගීතවත් බවට කවුරුත් ආදරෙයි. මෙවර සෙව්වන්දි අලුත් අවුරුද්ද ගත කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැන අපිත් එක්ක මේ විදිහට කතා කළේ අපි ඇගේ නවතම තොරතුරු විමසන්නට ඇයට ඇමතූ අවස්ථාවෙයි.
'හැමදෙනාම වගේ මමත් මෙවර අවුරුදු සතුටින් සමරන්නට තමයි සූදානම් වෙන්නේ. උදේ කාලයේ අවුරුදු චාරිත්‍ර ඉටු කළත් රාත්‍රියට ප්‍රසංග කිහිපයකටම සහභාගි වෙන්නට තිබෙනවා. පුංචි කාලෙ අලුත් අවුරුදු සමරපු හැටි මට තවම මතකයි. අපේ ගෙදර නෑයින්ගෙන් පීරීතිරිල තමයි තිබුණේ. මොකද තාත්තගේ පවුලේ හැමදෙනාම වගේ හිටියේ අපේ ගෙදර. අදත් අපි හැමදෙනාම එකතුවෙලා එදා වගේම අවුරුදු චාරිත්‍ර අකුරටම ඉටුකරනවා. විදෙස් ප්‍රසංග කිහිපයකට ආරාධනා ආවත් මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ ගෙදර ඉදගෙන මගේ අයත් එක්ක අලුත් අවුරුද්ද සමරන්නට අවශ්‍ය නිසයි.
අවුරුද්දට පැරීසියේ
රංගන ගීල්පියෙක් වගේම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහට කවුරුත් හඳුනන එස්. අයි. සමරක්කොඩි මෙවර අලුත් අවුරුද්ද ගත කරන්නට සූදානම් වෙන්නේ පැරීසියේ දී බව අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන ඔහු අපිත් එක්ක කතා කළා.
'අලුත් අවුරුද්ද දිනයේ බොහෝ විට මමත් ලංකාවේ නොසිටින්නට පුළුවන්. මොකද මේ දවස්වල මම මගේ කුලුඳුල් චිත්‍රපට නිර්මාණයේ පෙර නිෂ්පාදන කටයුතුවල නිරත වෙනවා. ඒ වෙනුවෙන් වගේම මගේ පෞද්ගලික කටයුත්තක් සඳහා විදෙස් ගතවෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පසුගිය දා පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහාය නළුවා ලෙස මගේ නම නිර්දේශ වුණා. එයත් ලොකු සතුටක්.