BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

රූගත කිරීමකදී ආලියා භාට් අනතුරක

මෑතකදී බල්ගේරියාවේදී අලුත් බොලිවුඩ් චිත්‍රපටයක දර්ශන රැසක් රූගත වුණා. අයාන් මුඛර්ජි අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය, ‘බ්‍රහ්මස්ත්‍රා’. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රන්බීර් කපූර් සහ ආලියා භාට්. මේ චිත්‍රපටටය තවත් ජනප්‍රිය නිළියක ද එක්වී සිටිනවා. පුංචි තිරයේ රංගනයෙන් නමක් දිනා ගත් ඇය තමයි, මෞනි රෝයි. ශිවන්‍යා නම්වූ ජනප්‍රිය ටෙලි චරිතය රඟපෑවේ ඇයයි.

ආලියා භාට් තමන්ගේ 25 වැනි උපන් දිනය සැමරුවේත් බල්ගෝරියාවේදීයි. නමුත් ඊට දින කිහිපයකට පසුව ‘බ්‍රහ්මස්ත්‍රා’ චිත්‍රපටයේ රූගත කිරීමකට එක්වී සිටිද්දී ආලියා හදිසි අනතුරකට මුහුණ පෑවා. චිත්‍රපටයේ ත්‍රාසජනක ජවනිකාවක රඟද්දී ඇද වැටීමකින් ඇගේ දකුණු උරහිස සහ දකුණු අතට තුවාල සිදුවී තිබෙනවා.

එක්තරා දර්ශනයක ඇයට රඟන්නට තිබුණේ තරමක උස් ස්ථාන දෙකක් යා කරමින් බැඳි රැහැනක එල්ලී ඇදී යන්නයි. ආරක්ෂිතව බැඳ ඇතැයි ප්‍රකාශ කෙරුණු එම රැහැනෙහි එල්ලී ගමන් කරද්දී හදිසියේ ම බිමට ඇද වැටීම නිසයි, ආලියා ගේ උරහිසක් සහ අතක් තුවාල වී ඇත්තේ.

වහාම ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ‘බ්‍රහ්මස්ත්‍රා’ චිත්‍රපට කණ්ඩායම කටයුතු කළා. ඇය ප්‍රතිකාර කිරීමෙන් පසුව වෛද්‍යවරයා උපදෙස් දුන්නේ දිනි කිහිපයක් ගතවනතුරු විවේක ගන්නා ලෙසයි.

ඒ නිසා ටික කාලයක් ඇයට මේ චිත්‍රපටයේ රඟපෑමෙන් බැහැරව සිටින්නට සිදුවී තිබෙනවා. “ආලියා මේ දවස්වල හරිම අපහසුවෙන් තමයි ඉන්නෙ. එයාගෙ උරහිස හොඳට ම රිදෙනවාලු. උරහිසයි, අතයි බැන්ඩේජ් කරලා දකුණු අත එල්ලගෙනයි ඉන්නෙ. සමහරවිට දවස් 15 ක් විතර ඔය විදිහට ඉන්න වේවි.” චිත්‍රපට කණ්ඩායමේ අයකු ‍එලෙස පැවසුවා.

‍ෙඩ්ලර් මෙන්ඩි ට සිර දඬුවම්

බොලිවුඩයේ ජනප්‍රිය ගායකයකු වන ඩේලර් මෙන්ඩි ට ලබා ඇත්තේ අසුබ කල දසාවක්. ඔහුට දැන් සිර දඬුවම් නියම වෙලා. ඉන්දියාවේ අධිකරණය ඔහුට වසර 2 ක සිර දඬුවමක් නියම කරලා. ඒ, ඔහු මිනිස් ජාවාරමකට සම්බන්ධ යැයි ඔප්පු වී ඇති නිසයි. මෙන්ඩි ට මේ වෙනුවෙන් චෝදනා නැගී තිබුණේ 2003 දීයි. ඔහු සහ තවත් 6 දෙනකු එකතුවී පුද්ගලයන් කිහිප දෙනකුට බටහිර රටවල රැකියා ලබා දෙන බවට පොරොන්දුවී ඔවුන්ව එම රටවලට රැගෙන ගොස් තිබෙනවා. මෙම පුද්ගලයන්ව බටහිර රටවලට ගෙන ගියේ මෙන්ඩිගේ නර්තන කණ්ඩායමේ ශිල්පීන් හැටියටයි. මෙම කටයුත්තට ඔහුගේ සහෝදරයා වන ෂම්ෂර් ද සම්බන්ධව සිටියේ යැයි චෝදනා නැඟී තිබුණා. එම කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ මෙන්ඩිව පසුව ඇප මත නිදහස් කෙරුණා. මේ ජනප්‍රිය ගායකායට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබුණේ ඔහුගේ නර්තන කණ්ඩායමේ ශිල්පියකු ලෙස බටහිර රටකට පිටත්ව ගිය බක්ෂිෂ් සිං නමැත්තායි. ඔහු තම පැමිණිල්ලෙහි සටහන් කළේ තමන්ගෙන් ඉන්දීය රුපියල් කෝටියක මුදලක් මෙන්ඩි විසින් ලබාගත් බවයි. එලෙස මුදල් දී විදේශ වූවද අපේක්ෂිත අරමුණ ඉටුකර ගන්නට නොහැකි වූ බවත් ප්‍රකාශ කළ බක්ෂිෂ්, එහෙත් මෙන්ඩි විසින් ලබා ගත් මුදල ආපසු තමන්ට නොදුන් බවටත් චෝදනා කර තිබුණා.

මෙන්ඩි‍ ගේ මිනිස් ජාවාරම් කටයුතු 1998 මඑ 1999 වසර වලදීත් සිදුවී ඇතැයි හෙළිවී තිබෙනවා. එම වසරවලදී මෙන්ඩි, ඔහුගේ සහෝදරයා සමඟ එක්වී ඇමරිකා එක්සත් ජනපදයට තරුණ තරුණියන් 13 දෙනකු රැගෙන ගොස් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ව අතරමං කර ඇතැයි හෙළිවී තිබෙනවා.

උර්මිලා ගේ රැඟුම් යළිත්

රංගීලා සහ උර්මිලා කියන නම් දෙකම එක වගෙයි. එහෙම හිතෙන්නෙ බොලිවුඩ් සිනමාව ගැන කතා කරද්දි. රංගීලා කියන්නෙ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක්. උර්මිලාත් ජනප්‍රියයි. ඇය, සුරූපී නිළියක්. උර්මිලා මතොන්ද්කාර් නම් වූ ඇය වඩාත් ප්‍රචලිත වූයේ ‘රංගීලා’ චිත්‍රපටයෙන්. 1977 දී ළමා නිළියක ලෙස ‘කාම්’ චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට පිවිසුණු ඇය 1983 දී තිරගත වූ ‘මසූම්’ චිත්‍රපටයේ රඟපෑමෙන් විචාරක පැසසුමට ලක්වුණා. ඉන්පසුව මරාටි, මලයාලම් සහ තෙලිගු චිත්‍රපටවල රඟපෑ ඇය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ද ජනප්‍රිය වූයේ 1995 දී තිරගතවූ ‘රංගීලා’ චිත්‍රපටයෙන්. ඇය අවසන් වරට රඟපෑ ‘බ්ලැක් මේල්’ චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් මාසයේ තිරගත වීමට නියමිතයි. එහි ඇය රඟන්නේ ප්‍රධාන චරිතයක් නොවෙයි.

වසර කිහිපයක් ම ප්‍රේක්ෂක මනසින් ඈත්ව සිටි උර්මිලාගේ මනරම් රැඟුමක් තවත් අලුත් චිත්‍රපටයකට එක්වුණා. නර්තන රංගනයන්ට දස්කම් දක්වන ඇය නැවතත් රසික පිරිසට සමීපවීම බොහෝ දෙනකුගේ සතුටට හේතුවක් වෙලා. උර්මිලා ගේ නර්තන රංගනයක් ඇතුළත් වන මේ චිත්‍රපටය තමයි, ‘බෙවාෆා බියුටි’. මෙහි අධ්‍යක්සවරයා වන අභිනේ ඩියෝ පවසන්නේ උර්මිලා යනු ගී වෙනුවෙන් නටන්නට පමණක් දක්ෂ නිළියක් නොවන බවයි. “උර්මිලා කියන්නෙ ප්‍රතාපවත් නිළියක්. මට අවශ්‍ය වෙලා තිබුණෙ මේ චිත්‍රපටයේ අංගයකට අතිශය ප්‍රබල නිළියක්ව යොදා ගන්නයි. ඒ ගැන කල්පනා කරද්දී හුඟ දෙනෙක් ජනප්‍රිය නිළියන් කීප දෙනකුගේ ම නම් යෝජනා කළා. අන්තිමේදි මම තෝරා ගත්තෙ උර්මිලාවයි. එයා තමයි මේ රංගනයට ඉතාම සුදුසු නිළිය. නර්තන ශිල්පිණියක් හැටියට උර්මිලා තුළ තියෙන්නෙ කෙනකුට ඇදහිය නොහැකි, විචිත්‍රවත් හැකියාවක්.” අධ්‍යක්ෂ අභිනේ ඩියෝ, උර්මිලාව වර්ණනා කළේ ඒ අයුරින්.

මේ අතර උර්මිලා ගේ විවාහ ජීවිතයේ දෙවැනි සංවත්සරය පසුගියදාක යෙදී තිබුණා. ඇය තම සැමියා වන මොෂින් අක්තාර් සමඟ එය සැමරුවේ පුංචි සාදයක් පවත්වමින්. ඇගේ සැමියා කාශ්මීරයේ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයෙක්. ඔහු නිරූපණ ශිල්පියකු හැටියටත් ප්‍රකටයි.

Comments