
2006 දි පිහිටුවූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 40,000 ක් පමණ වූ නිලධාරින් අතරින් සංගීතයට වාදනයට නැටුමට දක්ෂ හා කැමැති පිරිස් බහුලව සිටියහ. ඒ අයට ඒ ක්ෂේත්‍ර පිළිබඳව මනා පුහුණුවක් දීමෙන් පසු දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ මෙරට දක්ෂතම සංගීත හා නර්තන කණ්ඩායම් පිහිටුවා ඇත.
මේ පිළිබඳව කරුණු දක්වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෞන්දර්ය හා පුහුණුවීම් අධ්‍යක්ෂ මේජර් වජිර කුමාරණතුංග මහතා පැවසුවේ මේ සෞන්දර්ය කණ්ඩායම විවිධ තරගාවලිවලින් ජාතික මට්ටමේ සම්මාන පවා ලබා ගත් බවයි.
දිවයිනේ ජනප්‍රියම නර්තන හා සංගීත කණ්ඩායම් අතරට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නර්තන හා සංගීත කණ්ඩායම් මේ වන විට පත්වී ඇත. සෑම වර්ෂයකම නිදහස් දින පෙළපාළි සහ රණවිරු සැමරුම් උලෙළට බටහිර සහ පෙරදිග තූර්යවාදක කණ්ඩායම් සහභාගි වේ.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල උත්සව අවස්ථාවන් සඳහා ද සාමාජිකයින්ගේ උත්සව සඳහා, ඔවුන්ගේ පවුල්වල උත්සව සඳහා, සාමාජිකයින්ගේ වෙනත් උත්සව හා ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා සහනදායි මිලට මෙම කණ්ඩායම්වල සේවය ලබාදෙයි. විවාහ මංගල උත්සව, උපන් දින උත්සව, සුහද හමු සහ එළිමහන් සංදර්ශන, රූපවාහිනී / ගුවන් විදුලි වැඩසටහන් සඳහා සහන මිලට සේවා ලබා දෙයි. ඒ වගේම දානමය හා පිරිත් පිංකම් සඳහා ද හේවිසි කණ්ඩායමේ සේවාව ලබාදෙයි.
බටහිර සංගීත කණ්ඩායම, ඒක පුද්ගල සංගීත කණ්ඩායම, ත්‍රී පුද්ගල සංගීත කණ්ඩායම, පැදුරු සාජ්ජ කණ්ඩායම මෙම සිවිල් ආරක්ෂක සංගීත කණ්ඩායම්වලට අයත‍්වෙති.
පෙරදිග වාද්‍ය වෘන්දය (පූර්ණ), පෙරදිග වාද්‍ය වෘන්දය (අර්ධ), කැලිප්සෝ, ෆෑන් ෆෙයාර් කණ්ඩායම යන සංගීත කණ්ඩායමද සිවිල් ආරක්ෂක දෙපාර්තෙම්න්තුවෙන් බිහිවී ඇත. මේ අය සිංහල, දෙමළ, ඉංග්‍රීසි ගීත ගායනා කරමින් සෞන්දර්යයේ ආස්වාදයේ වින්දනය ජනතාවට ලබා දෙයි.
බටහිර නර්තන කණ්ඩායම්, සංස්කෘතික නැටුම් කණ්ඩායම්, හේවිසි කණ්ඩායම් ද පිළිගැනීමේ නර්තන කණ්ඩායම ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතී. ඒ මඟින් ගම්වල පිපුණු කැලෑමල් වන් තරුණ තරුණියන්ට රට පමණක් නොව ලොව ම ජය ගැන්මට අවස්ථාව උදාවී ඇත.
මේ සංගීත හා නැටුම් කණ්ඩායම්වලට අනුබද්ධව විශේෂයෙන් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස සිට පුනරුත්ථාපනය වූ දෙමළ තරුණ තරුණියන් ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳීමෙන් පසු දැන් මුලතිව් කිලිනොච්චි සිවිල් ආරක්ෂක සංගීත කණ්ඩායම ලෙසින් දෙමළ, හින්දි හා සිංහල බසින් ගී ගයන නව සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇත. එම සංගීත කණ්ඩායම පසුගියදා කිලිනොච්චි ප්‍රධාන අණදෙන මූලස්ථානයේදි ප්‍රසංගයක් පැවැත්වූ අවස්ථාව ඡායාරූපවල දැක්වේ.
ඊට අමතරව වවුනියාවේ ද දෙමළ හා සිංහල සිවිල් ආරක්ෂක නිලධාරීන් සංහඳියාවෙන් එක්ව නව සංගීත හා නැටුම් කණ්ඩායම් පිහිටුවා ඇත.