
මිහිර පත්තරේ ගිය බටකොළ ආච්චි, යෝධයා, පුංචිත්තා, රාළහාමි ඇතුළු කතා රාශියක් තාත්තා කළ නිර්මාණ. ඒ කතා ඒ වකවානුවල ඉතා ජනප්‍රිය කතා බවට පත්වෙලා තිබුණා. දරුවන්ගේ ආකල්ප, සිතුවිලි වෙනසකට ලක්කිරීමට සමත් කතා බවට පත්වුණා. මම හිතන්නේ ඒ අභාෂය මටත් පොඩි කාලයේ සිට එන්න ඇති.
කට ඇති පුතෙක්, රුව ඇති දුවෙක් යන කතාව වෙනුවට කටත්, රුවත් දෙකම ඇති දුවෙක් පසුගියදා අපිට හමු විය. ඇය නමින් නදී දිසානායකය. වාද්‍ය විශාරදවරියක්, ලේඛිකාවක්, සමාජ සේවිකාවක් පමණක් නොව විවිධ විෂයයන් යටතේ උපාධි රැසක් හිමිකර ගෙන ඇති ඇය, මේ වන විට දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස ද සේවය කරමින් සිටින්නීය. ඇයගේ ජීවිතය, ලේඛන කලාව හා රැකියාව පිළිබඳව රසඳුන සමඟ කළ සාකච්ඡාවකි මේ.
● මුලින්ම අපේ පාඨකයෝ දැනගන්න කැමැතියි නදී දිසානායක කියන්නේ කවුද කියලා. එතැනින්ම කතාව පටන් ගනිමු ?
නදී දිසානයක කියන්නේ කළුතර ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක උප්පත්තිය ලබපු දරුවෙක්. මගේ පියා ගුරුවරයෙක්. ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. එස් . ඒ. දිසානායක කිව්ව ම බොහෝ දෙනෙක් තාත්තා ගැන දන්නවා. මිහිර පත්තරේ ගිය බටකොළ ආච්චි, යෝධයා, පුංචිත්තා, රාළහාමි ඇතුළු කතා රාශියක් තාත්තා කළ නිර්මාණ. ඒ කතා ඒ වකවානුවල ඉතා ජනප්‍රිය කතා බවට පත්වෙලා තිබුණා. දරුවන්ගේ ආකල්ප, සිතුවිලි වෙනසකට ලක්කිරීමට සමත් කතා බවට පත්වුණා. මම හිතන්නේ ඒ අභාෂය මටත් පොඩි කාලයේ සිට එන්න ඇති. ඒ නිසා තමයි මටත් දරුවන් වෙනුවෙන් නිර්මාණ කරන්න ඕනේ කියලා හිතුණේ.
● එතකොට ඔබ අධ්‍යාපනය ලබන්නේ ?
මම මුලින්ම පාසල් ගියේ කළුතර මියුසියස් විද්‍යාලයට. දෙවැනි වසරේ සිට හය වැනි වසර දක්වා කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට. හය වසරේ සිට සාමාන්‍ය පෙළ වෙනකම් කළුතර බාලිකාවට ගියා. උසස් පෙළ කරන්න පානදුර බාලිකා විද්‍යාලයට ගියා. පානදුර බාලිකාවට යන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි මම මියුසික් කළා. භාත් කණ්ඩය වාද්‍ය විශාරද කළා. ඒ නිසා උසස් පෙළ විෂයක් ලෙස සංගීතය තෝර ගත්තා. ඒ වෙලාවේ කළුතර බාලිකාවේ මම විතරයි උසස් පෙළට දේශීය සංගීතයට හිටියේ. පාසලෙන් ඒ වෙනුවෙන් ගුරුවරයෙක් වෙන් කරන්න අකැමැති වුණා. ඒ නිසා තාත්තා මාව කළුතර බාලිකාවෙන් ඉවත් කරගෙන පානදුර බාලිකාවට දැම්මා. උසස් පෙළෙන් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට තේරීපත් වුණා. එහිදි මම කලා උපාධිය කළා. ඉන් පස්සේ විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිත් තක්සේරුකරුවකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කළා. මේ වෙනකොට දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවයක කරනවා. හැබැයි මට මේ වෙනකොට ආර්ථික විද්‍යාව, මානව සම්පත්, ජාත්‍යන්තර සම්බන්ධතා, සංගීතය, මනෝ විද්‍යාව ඇතුළු උපාධි හතක් තියෙනවා.
● බදු කොමසාරිස්වරියක්, මොකද ළමයි මූලික කරගත්ත පොත් ලියන්න පෙළඹුණේ ?
මම මුලිනුත් කිව්වේ මගේ පියාගේ අභාෂය මට එන්න ඇති. අනෙක වෙනසක් කරනව නම් ඒක පටන් ගන්න ඕනි දරුවන්ගෙන්. මොකද ළමා අවධියේ මනසේ අනවශ්‍ය දේවල් නැහැ. ඔවුන් නිදහසේ ගත කරන කාලයේ ඒ මනසට නිවැරැදි දේ ලබාදුන්නහොත් හොඳ පුරවැසියෙක් බිහි කරගන්න අවස්ථාව ලැබෙනවා. ගහක මුල් ටික ශක්තිමත්ව වැඩුණොත් තමයි ඒ සාර්ථක ගහක් වෙන්නේ. එහෙම නැතුව ගහ බාගෙට හැදුනට පස්සේ එය අපිට ඕනි විදියට හදාගන්න පහසු වෙන්නේ නැහැ. ළමා ලෝකයට ඇතුළු වෙන්න හොඳ මාර්ගයක් තමයි පොත පත. දරුවෝ කුඩා කාලයේදී පොත පතට පුදුමාකාර විදියට ඇලුම් කරනවා. පොඩි දරුවෝ එහි එන චිත්‍ර, කතා හොඳින් මතකයේ තබාගන්නවා. ඒ දේවල් තමයි ඔවුන් ජීවිත කාලයේම අනුකරණය කරන්නේ. ඒ නිසා මට හිතුණා දරුවන් වෙනුවෙන් පොත් නිර්මාණය කළ යුතුයි කියළා. ඒ නිසා සමාජයට හොඳ ආකල්ප ලබාදිය හැකි පොත් කිහිපයක් නිර්මාණය කරන්න මට මේ වෙනකොට හැකි වී තිබෙනවා.
● මේ වෙනකොට පොත් කොපමණ නිර්මාණය කර තිබෙනව ද ?
2004 වසරේ පැවැති අන්තර් රාජ්‍ය සේවා සාහිත්‍ය සම්මාන උළලේ දී ‘මගේ පුංචි වෙළෙන්දා‘ කියන පොතට සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමි වෙනවා. එතැන් සිට පොත් කිහිපයක් ලිව්වා. ඉංග්‍රීසියෙන් තිබුණ ‘ 5 S ‘කියන පොත සිංහලට පරිවර්තනය කරන්නත් මට අවස්ථාව ලැබුණා. ‘මිණි ගෙඩිය සහ පුතයි අම්මයි‘ කියන පොත් දෙක පර්යේෂණයක් විදියට එක් ජේදයක් සිංහලෙන්, අනෙක් ජේදය ඉංග්‍රීසියෙන් කළා. ඒ වගේම අපේ රටේ බදු ගැන සරලව දරුවන්ට කියා දිය හැකි පොතක් ලියන්නත් හැකියාව ලැබුණා.
● සාමාන්‍ය ජනතාවටවත් අවබෝධ කරගන්න බැරි බදු ගැන දරුවන්ට කොහොමද පොතකින් කියා දෙන්නේ, එවැනි පොතක් පළ කිරීමෙන් කුමක් ද බලාපොරොත්තු වුණේ ?
ඔබ කිව්ව වගේ බදු ගැන අපේ රටේ ජනතාවටවත් ඒ හැටි අවබෝධයක් නැහැ. හැබැයි අපි එක් දෙයක් තේරුම් ගත්තා මේ විෂය ඉතා සරළව දරුවන්ට කියා දුන්නොත් අනාගතයේ ඇති වෙන බදු සම්බන්ධ ප්‍රශ්න බොහොමයක් විසඳගන්න පුළුවන් කියලා. ඒ අනුව අපි දරුවන් වෙනුවෙන් බදු කියන්නේ මොකක් ද කියන දේ ඉතා සරල කතාන්දරයක් ඔස්සේ කියල දෙන්න පොතක් නිර්මාණය කළා. මෙහි මූලිකත්වය දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ. එහි චිත්‍ර මගේ පියාගේ.
● එතකොට ඔබ ස්වේච්ඡා සංවිධානයක් හදාගෙන ගම් නියම් ගම් පීරනවා කියල ආරංචියක් ආවා. ඒ කියන්නේ සමාජ සේවයේ නියැලෙන්නේ ඉදිරියේ දී වෙන මොකක් හෝ අරමුණක් හිතේ තියාගෙන ද ?
මම 2005 වසරේ දී CUP නමින් රාජ්‍ය නොවන සංවිධානයක් මගේම යාළුවෝ පිරිසක් එක්ක ගොඩනඟා ගත්තා. මෙහි මූලික අරමුණ තමයි ළමයින්ට යම් සේවයක් කිරීම. ඒ අනුව ගම්මානවලට ගිහින්, ඒ ගම්මාන සම්බන්ධ කරගෙන ළමා පුස්තකාල ‘සිඟිති පොත්ගුල‘ නමින් පිහිටුවනවා. ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය පරිදි එවැනි පුස්තකාල 37 ක් මේ වෙන විට පිහිටුවලා තිබෙනවා. ප්‍රජාශාලා, දහම් පාසල් සහ පාසල් මූලික කරගෙන තමයි මෙය පිහිටුවල තිබෙන්නේ. මොකද අපිට ස්ථානයක් ලබාදීමේ හැකියාවක් නැහැ. අපි පොත්පත්. කබඩ්, අනෙකුත් අවශ්‍ය පහසුකම් ලබාදීම කරනවා. පුස්තකාලය පවත්වාගෙන යන්නේ. පොත් තෝර ගන්නේ දරුවන් විසින්මයි. මේ හැමදෙයක් පිටුපසම ගමේ වැඩිහිටියෝ ඉන්නවා. ඔවුගෙන් හොඳ සහයෝගයක් මේ සඳහා ලැබෙනවා. එහෙම නැතුව කිසිම යටි අරමුණක් මගේ තුන් හිතකවත් නැහැ. මේ හැම දෙයක්ම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. මෙහි ඉන්න කිසි කෙනකුට වෙනත් කිසිම ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. උත්සවයට එනව නම් ඒ වියදම් ඒ අයම දරාගන්න ඕන. අනික මේ සංවිධානයට කිසිදු විදෙස් රටකින් මුදල් එන්නේ නැහැ. මෙහි සම්පූර්ණ මුදල් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ. අපි කවුරුත් රජයේ හෝ පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඒ නිසා අපිට මේ වගේ දේවල් වලින් මුදල් හම්බ කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.
ඒ වගේම අපි මේ වෙන කොට වර්ණ අන්ධතා ඇති දරුවන් වෙනුවෙන් තවත් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ගාල්ල කාරාපිටියේ ජාතික රෝහලේ මේ සඳහා ඒකකයක් ස්ථාපිත කළා.
● එකතොට මේ පුස්තකාලවලට දරුවන් තෝරා ගන්නේ කුමන පදනමක් යටතේ ද ?
දහම් පාසලක නම් එහි අධ්‍යාපනය හදාරන දරුවන්, ප්‍රජා ශාලාවක් නම් එහි පොත් පත් කියවන දරුවන් පිරිසක් සිටිනවා, ඒ පිරිස. පාසලක් නම් එහි දරුවෝ. ප්‍රජා ශාලාවල්වල නම් අපි උපදෙස් ලබා දී තිබෙනවා ළමා සමාජයක් පිහිටුවලා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන්න කියලා.පුස්තකාලය පවත්වාගෙන යන අතර තුර දෙවැනි පියවර ලෙස ළමා චිත්‍ර ශිල්පියෝ, ලේඛකයෝ, නිර්මාණ ශිල්පියෝ වැනි පිරිස් බිහි කිරීමට අවශ්‍ය වැඩමුළු සකස් කර එවැනි දක්ෂතා ඇති දරුවන් තෝරා ගෙන ඔවුන් ඉදිරියට ගෙනයාම සිදුකරනවා.දක්ෂයින් අතරින් අති දක්ෂයෝ තෝරා ගෙන අවසානයේ ඒ දරුවන්ගේ සිතුවිලි පාදක කරගනිමින් කතා පොතක් නිර්මාණය කරනවා. එහි සිතුවිලි දරුවන්ගේ, කතාව දරුවන්ගේ, චිත්‍ර දරුවන්ගේ. අපිට ඕනේ මෙතැනින් එක දරුවෙක් හෝ කුමන හෝ කේෂේත්‍රයකට යොමු කරගන්න පුළුවන් නම් එය තමයි අපි ලබන ජයග්‍රහණය.
● බදු කොමසාරිස්වරියකගේ කාර්ය භාරය පහසු නැහැ. එවැනි වගකීමක් එක්ක මේ තරම් වැඩ කරන්නේ කොහොමද ?
ඒකට කියන්නේ කාල කළමනාකරණය කියළා. මම ගොඩක් වේලාවට වැඩ කිහිපයක් එක වේලාවට කරනවා. එය මම හිතන්නේ මට ලැබුණු සහජ හැකියාවක්. අනෙක් කාරණය තමයි මට හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබුණු නිසා නිදහසේ වැඩ ටික කරගෙන යන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. එහෙම ස්වාමිපුරුෂයෙක් නොලැබුණා නම් විවාහ නොවී ඉන්නත් තිබුණා.