
උදයකාන්ත වර්ණසූරිය අප වර්තමානයේ සිංහල සිනමාවේ සිටින අධ්‍යක්ෂවරුන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. චිත්‍රශිල්පියකු ලෙස දැන්වීම් ප්‍රචාරක ක්ෂේත්‍රයට පිවිස ඉන්පසු චිත්‍රකතාකරණයට පිවිසෙමින් කරදිය වළල්ල, ගිනිවළල්ල, වැනි අතිශයින් ජනප්‍රිය චිත්‍රකතා නිර්මාණය කළේය. මැණික් කැටයම ඒකාංගික ටෙලි නාට්‍යය නිර්මාණය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසුණු උදය එකගෙයි කුරුල්ලෝ, දිය සුළිය, සාගරය පරදා, හුමාලය සහ සෙනෙහසේ ගීතය වැනි අතිශයින් ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක් තුළින් මේ රටේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රෙය් පෙරලිකාර අධ්‍යක්ෂවරයකු බවට පත්විය.
එතැනින් නොනැවතුණු ඔහු 1997 වසරේ මහමෙර උසට චිත්‍රපටය නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත්විය. අපේ රටේ සිනමාවේ පැවැති අර්බුධ මැද චිත්‍රපට නිර්මාණය කරමින් සාර්ථක අධ්‍යක්ෂවරයකු බවට පත්වුණු උදය මේ දක්වා ගිනි අවි සහ ගිනි කෙළි, බහුභාර්යා, රාජ්‍ය සේවය පිනිසයි, රෝස වසන්තේ, බහු භූතයෝ, ලේ කිරි කඳුළු, යකඩ පිහාටු, දියයට ගින්දර, රන්දිය දහර, හිරිපොද වැස්ස, රන්කෙවිට-1, 2, ආසයි මං පියාඹන්න, පායා එන්න හිරුසේ, චැලේන්ජර්ස්, සෙනසුරු මාරුව, කොස්තාපල් පුඤ්ඤසෝම, ගින්දරී යන චිත්‍රපට නිර්මාණය කරතිබේ. එදා මෙදා තුර ඔහු නිර්මාණය කළ චිත්‍රපට ගණන 20 ක් වන අතර රාජ්‍ය සේවය පිනිසයි චිත්‍රපටය 2000 වසරේ හොඳම අධ්‍යක්ෂණය , හොඳම තිර රචනය ඇතුළු සම්මාන 10 ක් දිනාගත් අතර,2004 වසරේ ජනාධිපති සහ සරසවි සිනමා සම්මාන උළෙල වලදී රන්දිය දහර සම්මාන කිහිපයක්ම දිනාගත්තේය.
එකිනෙකට වෙනස්ම තේමා ඔස්සේ විවිධ ශෛලියේ නිර්මාණ තුළින් සිනමා ප්‍රේක්ෂක මනස ඇද බැඳ තබාගන්නට සමත් උදය ‘මධුර චාරිකා‘ ඔහුගේ අලුත්ම නිර්මාණය ඉදිරිපත් කර තිබේ.
දශක හතක් තරම් පැරැණි අපේ සිනමා නිර්මාණ ක්ෂේත්‍රයේ අතිත මතක සැමරුම් යළි ආවර්ජනය කරමින් අපූර්ව වූ සිනමා චාරිකාවකට ප්‍රේක්ෂකයා කැඳවාගෙන යන ‘මධුර චාරිකා‘ පිළිබඳව උදය සමඟ කළ කතා බහයි මේ.
මධුර චාරිකා මෙතෙක් ඔබ කළ නිර්මාණ සියල්ලටම වඩා වෙනස්
මම මේ දක්වා කළේ තරමක් විනෝදාත්මක චිත්‍රපට. එහෙත් මෙතැනදී මට ඕනවුණා මේ චිත්‍රපටය කලාත්මක පැත්තට බර කරන්න. එහෙත් මේ චිත්‍රපටය තුළත් විනෝදය කියනදේ තිබෙනවා. නමුත් මම පෙර නිර්මාණවලට වඩා බොහොම සියුම් සහ සංයමයකින් යුතුව තමයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ. මේ චිත්‍රපටය තුළ තිබෙන්නේ සරළ සංවේදිී කතාවක්. සුන්දර මතක සැමරුම් සහිත ආත්ම චාරිකාවක යෙදෙන වියපත් මිනිසෙක් පිළිබඳ කතාවක්. ඔහු පැරැණි චිත්‍රපට නළුවෙක්. අපේ අතීත සිනමාවේ අතිශය චමත්කාර ජනක ඒවගේම අපූර්ව සිද්ධි රැසක් අඩංගුවෙලා තිබෙනවා. චිත්‍රපටයේ කතාවට සහ ප්‍රේක්ෂක මනස අවුල් නොවන ලෙස සරළව සහ කලාත්මකව ඉදිරිපත් කිරීමට මම උත්සාහ ගත්තා. හොඳ සිනමා රීතියක් යටතේ මම මේ නිර්මාණය කරලා තිබෙනවා.
ඔබ උත්සාහ ගත්තේ සිනමාවේ වත්මන් අර්බුදය ගැන කතා කරන්නද?
අද සිනමාවේ වෙනස්ම අර්බුදයක් තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබෙනවා. අද නිර්මාණය වන ඇතැම් චිත්‍රපට ප්‍රේක්ෂකයන් වැඩිපුර වැළඳගන්නේ නැහැ. නමුත් ඒකට විසඳුම් මේ නිර්මාණය තුළින් ඉදිරිපත් කරන්නේ නැහැ. ඇත්තටම මම මෙයින් ඉදිරිපත් කිරීමට උත්සාහ කළේ කලාවේ නිරතවෙලා සිටි අපේ කලාකරුවෝ ගැන සහ ඔවුන්ව නිසි අගය කිරීමකට ලක්නොකිරීම පිළිබඳවයි. ඔවුන් අතීත මතක සමඟ ජීවත්වුණාට හම්බ කළ දෙයක් නැහැ කලාව පමණයි කළේ. රජයෙන් අගය කිරීීමක් කරනවා නම් ඒගැන සොයාබැලීමක් කරනවා නම් එය හරි උතුම් ක්‍රියාවක් ලෙස මම දකිනවා .මම අන්න ඒ කාරණය පොඩ්ඩක් බලධාරීන්ට මතක් කරලා දෙනවා. ජීවතුන් අතර ඉන්න විට කළ යුතුදේ මරණයෙන් පසු කරලා වැඩක් නැහැ කියනදේ මෙයින් පෙන්වනවා. ඒ අතර තමයි මම අතීත සිනමාවේ සුන්දරත්වය වර්තමානයේ ඩිජිටල් කරණය සහ ඒ හැල හැප්පීම් තමයි මම කියන්න උත්සහ ගත්තේ.
මෙය නිර්මාණය කරලා වසර කිහිපයකට පසුවයි ප්‍රදර්ශනයට එන්නේ ඊට හේතුව අද තිබෙන පෝළිමද?
මෙය නිර්මාණය කරලා වසර තුනක් පමණ වනවා. චිත්‍රපට පෝලිම කියන දේ මට බලපාන්නේ නැහැ. මොකද මම විනෝදාත්මක චිත්‍රපට රාශියක් කරලා සිනමා ශාලා හිමියන් සහ ප්‍රදර්ශන සමාගම් තෘප්තිමත් කරලා තිබෙන අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම මම නිර්මාණයක් කරනවිට එහි ගුණාත්මක බව සහ කලාත්මක බව යන දේ රැකගෙන තමයි එය කරන්නේ. ඉතින් ඒ නිසා ඔවුන්ගෙන් මගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න කිසිම ගැටලුවක් නැහැ. නමුත් මෙම චිත්‍රපටය මම ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් සඳහාම යොමු කිරීම නිසා තමයි මේතරම් කලක් හෝ මෙය ප්‍රදර්ශනය කිරීම ප්‍රමාද වුණේ.
ඔබ අද සාර්ථක සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්. එහි අඩිතාලම චිත්‍රශිල්පියකු වීම යැයි පැවසුවහොත් එකඟවනවාද?
කුඩාකාලයේ සිටම මගේ ආශාව තිබුණේ සිනමාවට සම්බන්ධ වෙන්න. මා තුළ තිබුණු චිත්‍ර ඇඳීමේ හැකියාව නිසා මම චිත්‍ර කතා නිර්මාණ ශිල්පියකු බවට පත්වුණා. චිත්‍රය කියන්නෙත් සිනමාවේ සමීපතම කොටසක්. ඒ නිසා මම චිත්‍රකතාවක් අඳින කොට පවා කැමරා කෝණ පිළිබඳව සිතමින් ඒවා නිර්මාණය කළා කියනදේ බොරුවක් නොවෙයි. සිනමාවේ රූපය සකස්කරීමේ මූල ධර්ම වලට අනුව තමයි මම චිත්‍රතකා නිර්මාණය කළේ. ඒ වගේම චිත්‍රපටයක් නිර්මාණය කරන කොට ප්‍රෙක්ෂකයා අවසන් මොහොත දක්වා රඳවා තබා ගන්න කුතුහලයත් එක්ක තමයි කතාව ගොඩ නගන්නේ ඉතින් මම එදා චිත්‍ර කතා අඳින විට ඒ විදියට තමයි කළේ . අදත් මම චිත්‍රපටයක් නිර්මාණය කරන විට කතාව සහ තිර රචනය කරමින් ඒ කාර්යයම තමයි කරන්නේ. චිත්‍රකතාවක දෙබස් තමයි ප්‍රබල වෙන්නේ. ඉතින් චිත්‍රපටයකත් දෙබස් ප්‍රාණවත් වෙන්න ඕන ගැටුම් සහිත වෙන්න ඕන නිතම් ඕලාරික අනවශ්‍ය දෙබස් මම චිත්‍රකතාවලට යොදාගත්තෙත් නැහැ මගේ චිත්‍රපටවලත් නැහැ. ඒනිසා චිත්‍රකතා ඇඳීමෙන් ලබපු අත්දැකීම් සහ පුහුණුව ඔස්සේ චිත්‍රපටවලට අවශ්‍ය දෙබස් සහ රූප රාමු නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. මේ හැම දෙයක්ම කරන්න ඕන ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්න. එතැනින් බැහැර වුණොත් ඔවුන් අපිව මඟ හරිනවා. අපිව අතහරිනවා. චිත්‍ර කතාවකින් පාඨකයා ග්‍රහණය කරගන්නවා වගේ තමයි චිත්‍රපටයකට ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගැනීම. අද දවසේ ගොඩක් චිත්‍රපට ප්‍රතික්ෂේප වෙන්නේ ඔය කාරණාව නොදැන නිර්මාණය කිරීමයි.
ඔබ අතිශයින් ජනප්‍රිය ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයක්ම කළ අධ්‍යක්ෂවරයෙක්. කුඩා කාලයේ ලැබූ අත්දැකීම් මේ නිර්මාණ තුළින් කියන්නට උත්සාහ ගත්තා යැයි පැවසුවොත්.
මම අධ්‍යාපන කටයුතු නිසා කොළඹට ඇවිත් නගරයේ හැදී වැඩුනත් මට ගම ගැන හොඳ සුන්දර අත්දැකීම් ඇති ළමා කාලයක් තිබෙනවා. මගේ ගම දොඩන්දූව . එය ධීවර ගමක්. අම්මාගේ ගම අලුත්ගම. ඒක ගොවිතැන් සහිත ගම්මානයක්. ඒ නිසා මේ සැමතැනකම අත්දැකීම් මට තිබෙනවා. ඒ අත්දැකීම් මගේ නිර්මාණවලදි බලපෑවා. මේ ගැමි පරිසරවල බොහෝ දේ මගේ ටෙලි සහ සිනමා නිර්මාණ වලට ඇතුළත් වෙලා තිබෙනවා. නමුත් මෙහෙමයි . හුමාලය වගේ නිර්මාණයක් ගත්තම එහි තිබෙන පරිසරයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් ගිනි අවි සහ ගිනිකෙළි වල තිබෙන්නේ. ඒ සඳහා මට අත් දැකීම් නැහැ නමුත් අපි සමාජයෙන් උකහා ගන්නා බොහෝ දේ නිර්මාණ තුළට යොදාගන්නට තරම් අපි නිර්මාණශීලී සහ දක්ෂ විය යුතුයි.. පොත්පත්, පත්තර තුළින් ලබාගන්නා මේ දේවල් නිර්මාණයකට කොහොමද යොදා ගන්නේ කියන එක මගේ හිතේ මැවෙනනවා. මධුර චාරිකා චිත්‍රපටයේ දකින මේ සිනමා චාරිකාව මම මනසින් නිර්මාණය කර ගත් දෙයක්. ඉන්පස්සේ මම කලා අධ්‍යක්ෂවරයා සහ කාර්මික ශිල්පීන් සමඟ එකතුවෙලා ඒවා නිර්මාණයට ඇතුළත් කරගන්නවා.
ඔබේ සිනමා නිර්මාණ දෙස බැලීමේදී ඒවා එකකට එකක් වෙනස්. ඒ කියන්නේ ඔබ අත්හදා බැලිම් කරන සිනමාකරුවෙක්ද?
ඇත්තටම මම එක ධාරාවකට යොමු වෙන්න කැමැති නැහැ. මට ආසයි සිනමාවේ තිබෙන විවිධ තේමාවන් යටතේ විවිධ ආකාරයෙන් නිර්මාණ කරන්න. මම නිරතුරුවම උත්සාහ කරන්නේ අලුත් දෙයක් කරන්න. ඒ කියන්නේ එක තැනකට කොටුවෙන්න මම කැමැති නැහැ. පාතාලය, ප්‍රේමය, වැනි සමාජයේ විවිධ සිදුවීම් පුද්ගල චරිත ආශ්‍රයෙන් මම විවිධ කතා සිනමාවට ගෙනැවිත් තිබෙනවා.මෙයින් ගිනි අවි සහ ගිනිකෙළි පාතාලය ඇසුරු කරගත් කතාවක්, හිරිපොද වැස්ස දඟකාර යෞවනයන්ගේ සුන්දර ප්‍රේම කතාවක්, මේ වාගේ විවිධ ආකාරයේ මම නිර්මාණ කර තිබෙනවා. විශේෂයෙන් බන්ධනය වගේ චිත්‍රපටයක් ගත්තම එය වෙනස්ම වූ තේමාවකින් යුතු නිර්මාණයක්. ඒ වගේම රන්කෙවිට ළමා චිත්‍රපටයක්. බහුභාර්යා වැඩිහිටි තේමාවක් ඇතුළත් තවත් වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්. දැන් අපි මේ කතාකරන මධුර චාරිකා කියන්නේ මම මෙතෙක් කළ සියලුම චිත්‍රපට වලට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මම මේ සිනමාත්මක බව රැකගෙන තමයි විවිධ තේමාවේ නිර්මාණ කරන්නේ. එතැනින් ගිලිහුණොත් ඒක චිත්‍රපටයක් වෙන්නෙ නැහැ.
මෙහි ප්‍රවීණ දැවැන්ත චරිත ඉතා සුළු චරිතවලින් මධුර චාරිකා සඳහා දායකවී තිබෙනවා.
ඇත්තටම මේ චිත්‍රපටය දිවයන්නේ ප්‍රධාන චරිත දෙකක් වටා. සීයා කෙනෙක්ගේ සහ මුණු බුරෙක් අතර. ඔවුන් තමයි මෙහි සියයට අසූවක් පමණ මෙහි රඟපාන්නේ. සියාගේ චරිතය හේමසිරිි ලියනගේ සහ කුඩා දරුවා සුදම් කටුකිතුලේ තමයි එම චරිත නිරූපණය කරන්නේ. අනෙක් චරිත විශාල ප්‍රමාණයක් තිබුණත් ඒ සියල්ල පාහේ ප්‍රධාන චරිත දෙක වටා තමයි ගැටෙන්නේ. ඒ චරිත සඳහා මම යොදාගත්තේ ලංකාවේ ප්‍රවිණ නළු නිළියෝ. මම ඔවුන්ට කිව්වා මම මේවගේ චිත්‍රපටයක් කරනවා. මෙය වාණිජ නිර්මාණයක් නොවේ. මම ආසාවෙන් කරන මේ නිර්මාණයට ඔය ගොල්ලන්ගේ දායකත්වය මට වටිනවා. ඇත්තටම බොහෝ පිරිසක් නොමිලයේම මෙහි රඟපෑමට එකඟවුණා. කාර්මික ශිල්පීන් පවා එහෙමයි. මම ඔවුන්ට කිව්වා මෙය කලාත්මක නිර්මාණයක් නිසා පොඩි අවධානමක් තිබෙනවා.එය අවම කරගන්න මට සහයෝගය දෙන්න කිව්වාම ඔවුන් මට ඒ සහයෝගය දුන්නා. ඒ නිසා මට ලංකාවේ අතිශයින් ජනප්‍රිය නළු නිළියන් කාර්මික ශිල්පීන් රැසක් මෙයට දායක කරගන්න පුළුවන් වුණා. ඊට අමතරව ගරු රඟපෑම් විදියටත් රවීන්ද්‍ර රන්දෙණිය වැනි ප්‍රවීණයන් පවා මෙයට දායක කරගන්න පුළුවන් වුණා.
අවසාන වශයෙන් මෙම නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව කතා කරමු.
මේ චිත්‍රපටය තවම තිරගතවීම ආරම්භවී දින කිහිපයයි ගතවෙලා තිබෙන්නේ. තවම මෙය කොයිතරම් මුදල් අතින් සාර්ථකද කියන එක කියන්න අපහසුයි. නමුත් මෙය නැරඹූ බොහෝ දෙනෙක් මට කියන්නේ අපි මේ තුළින් ආශ්වාදයක් ලැබුවා. අපේ හිත් අතීතයට ගියා වගේ දේවල්. ඒ වගේම මේ චිත්‍රපටයට හැමෝම වගේ ආදරය කරනවා. ඒ ආදරය මට මුදල්වලට වඩා වටිනවා. මොකද මම මේ චිත්‍රපටය කළේ මුදල් බලාගෙන නෙමෙයි. මෙහි අධ්‍යක්ෂවරයා වගේම නිෂ්පාදකවරයා ලෙසත් කටයුතු කරන්නනේ මම. ඒකට හේතුව මෙය කිසියම් අවදානමක් සහිත නිර්මාණයක්. ඉතින් ඒ අවදානම මම වෙනත් නිෂ්පාදකවරයකුට දෙන්නේ නැතුව මම ම බාරගන්නවා කියන අදහසින් තමයි නිෂ්පාදනය කළේ. මෙම මේ සඳහා යෙදෙව්වේ මෙතෙක් මම කළ චිත්‍රපට වලින් මම ලැබූ අමතර ලාභයෙන්. ඒකට හේතුව මෙහි කතාව මාව කම්පනයට පත්කළා.ඉතින් මම මෙය කරන්න ඕන කියන දේ මගේ හිතට ආවා. එහෙත් කියන්න ඕන දයාවංශ ජයකොඩි සහ කුමාර වඳුරැස්ස මහත්වරුන් සම නිෂ්පාදකවරුන් ලෙස මෙයට දායක වනවා. ඉතින් සිනමාවට ආදරය කරන හැමෝටම මම ආරාධනය කරනවා එන්න අතීත මතක සැමරුම් සමඟ ‘මධුර චාරිකා‘වක යන්න.