අද සමා­ජයේ නර්තන කලා­වට විශාල නැඹු­රු­වක් තිබෙ­නවා | සිළුමිණ

අද සමා­ජයේ නර්තන කලා­වට විශාල නැඹු­රු­වක් තිබෙ­නවා

භරත නාට්‍යම් මෙන්ම උඩරට නර්තනය ඔස්සේ නිර්මාණශීලී නැටුම් කලාවක නිරත වෙන ඇය නමින් අංජානි රාජපක්ෂයි. වැල්ලවත්ත ශාන්ත් ක්ලෙයාර් බාලිකා විදුහලෙන් සිප්සතර හැදෑරූ ඇය තමාගේ නර්තන දිවියේ ඇරැඹුම වගේම නර්තන නිර්මාණයන් පිළිබඳව අප සමඟ කතාබහ කළා.

' මම නර්තනය පිළිබඳව මූලික අත්පොත් තබන්නේ මගේ පාසල් මෑණියන්ගෙන්. විශේෂයෙන්ම උසස් පෙළ අවධියේ පාසලෙන් නර්තනය හැදෑරුවා. එහි දී චන්ද්‍රා ප්‍රතාපසිංහ නර්තනාචාරිණිය වගේම මාලා විජයසිංහ ගුරු මෑණිවරුන් යටතේ නර්තනය ප්‍රගුණ කළා. පසුව මහාචාර්ය මුදියන්සේ දිසානායක නර්තනාචාර්යවරයා යටතේ නර්තනය හැදෑරුවා. මාලා ගුරුතුමිය යටතේ වෙස් තිබ්බා. ඉන්පසුව ඉන්දියාවේ කලා ක්ෂේත්‍රා සෞන්දර්යය නිකේතනයට ඇතුළත් වුණා. එහි දී නර්තනය පිළිබඳව අවරුදු පහක් හදාරලා භරත නාට්‍යම් උපාධිය දිනා ගත්තා. එහිදී මට ගුරුවරුන් වූ නන්දනී නාගරාජන් වගේම ගංගාතම්බි මේ අවස්ථාවේ බැති පූර්වකව සිහිපත් කරනවා. නර්තනය පිළිබඳ බොහෝ අත්දැකීම් ලැබුණේ මේ කාලයේදියි.

ඔබ නර්තනය පිළිබඳ හැදෑරීමෙන් පසුව සිදු කළේ කුමක්ද?

මම උපාධිය සම්පූර්ණ කරලා ලංකාවට ඇවිත් මගේ කලායතනය 'අංජානා රාජපක්ෂ කලායතනය ' ආරම්භ කළා. ඒ රත්නපුරයේ. ළමයි අට දෙනෙකුගෙන් තමයි එය ආරම්භ කළේ. අද වන විට රත්නපුරය ඇතුළුව මහරගම, නුගේගොඩ නගරයන්හි මගේ කලායතනයේ පන්ති පැවැත්වෙනවා. ඒ වගේම දරුවන් තුන්සියයකට වැඩි පිරිසක් මගෙන් නර්තනය ගැන ඉගෙනුම ලබනවා.

ඔබ සම්මානනීය නර්තන ශිල්පිනියක්.?‍‍‍

ඔව් මේ වන විට නර්තනය ඔස්සේ සම්මාන පහක් පමණ මම ලබාගෙන තිබෙනවා. ඒ රාජ්‍ය නර්තන උ‍ළෙල නියෝජනය කරලා. ඒ වගේම මගෙන් නර්තනය හැදෑරූ දරුවන් කිහිපදෙනෙක්ම දෙරණ ලිට්ල් ස්ටාර්ස් තරු බවට පත් වුණා. ඒ වගේම මගේ ශිෂ්‍ය ශිෂාවන් 25 දෙනෙක් පසුගිය දා ඉන්දියාවේ දිල්ලියේ පැවැති නර්තන උළෙලක් වන 'උත්සව් උද්භාව්' උළෙල නියෝජනය කළා. එහි තරගාවලියක් තිබුණා. රටවල් නවයක් නියෝජනය කළා. ඉන්දියාවේ ප්‍රාන්ත 138ක් නියෝජනය කළා. දිල්ලිවල 'ගවලිය' ප්‍රාන්තයේ පැවැති මෙම උළෙලින් අපි ශ්‍රී ලංකාව නියෝජනය කර තුන්වැනි ස්ථානය ලබා ගත්තා. ඒ වගේම පසුගිය පෙබරවාරි 4 වැනිදා නිදහස් උත්සවය වෙනුවෙන් ඉන්දියාවේ හයි කමිෂන් එකෙන් නර්තනය සඳහා අපිට ආරාධනා ලැබුණා. එයට මගේ ශිෂාවන් 7 දෙනෙක් සහභාගි වුණා. ඒ වගේම ලංකාවේ දී මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් පවත්වන 'කයිලේශ්වරම් නාට්‍යාංජලී' උළෙල වාර්ෂීකව පවත්වනවා. එයටත් අපි වාර්ෂිකව දායක වෙනවා. ඉන්දියාවේ ලක්නව් විශාරද විභාගය දක්වාම අවශ්‍ය දැනුම මම මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවනට ලබා දෙනවා.

වර්තමානයේ දරුවන් වෙනුවෙන් පවත්වන රියැලිටි වැඩසටහන් ගැන මොකද හිතන්නේ?

මගෙන් නර්තනය හැදෑරූ දරු දැරියනුත් මේ වැඩසටහන් සඳහා සහභාගි වෙනවා. අද පවත්වන විවිධ රියැලිටි වැඩසටහන් ගත්තම සමාජයේ වෙනදට වඩා අද නර්තන කලාවට විශාල නැඹුරුවක් ඇතිව තිබෙන බව පෙනෙනවා. ඒත් මේ වායේ භාවිතාවන යම් යම් ඇඳුම් පැළැඳුම් නිසා නර්තනය විකෘතිවෙනවද කියලත් වෙලාවකට හිතෙනවා.

ඔබ ආ ගමන් මඟ ගැන තෘප්තිමත්ද?

ඇත්තටම. පුංචි කාලෙ ඉඳලම නර්තන ගුරුවරියක වෙන්න අශාව තිබුණා. එය අද ඉටුවී තිබෙනවා. යම් දෙයක් සමාජයට ලබා දීලා එහි අවසන් ප්‍රතිඵලය දැකීම මගේ ජීවිතයේ සතුට.අලුත් දේවල් සමඟ තමයි මගේ ජීවිතය ගෙවී යන්නේ.

ඔබේ කලා දිවියට උදව් උපකාර කළ පිරිසක් ඇති?

ඔව් මගේ ගුරුවරුන් ඉන් මුලික වෙනවා. ඒ වගේම මගේ මව්පියන් සහ මහත්තයා ජයනන්ද හේවාපතිරණ ආදරයෙන් මතක් කරනවා. මම මේ වන විට නර්තන ප්‍රසංග තුනක් පවත්වා තිබෙනවා. ඉදිරියේ දිත් එවැනි ප්‍රසංගයක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේ 'කලා ක්ෂේත්‍රම් වගේ

පදනමක් නිර්මාණය කරලා දරුවන්ට නර්තන ය පිළිබඳ හදාරන්න අවස්ථාව ලබා දීම මගේ බලාපොරොත්තුවක්.

 

Comments