
පිටසක්වල ජීවයක් ඇත්තටම පවතිනවාද? අපේ රට තුළත් විවිධ අවස්ථාවන් වලදී හඳුනා නොගත් පියාසර වස්තූන් දුටු බවට වාර්තා වූවත් මතභේදයට තුඩුදෙන තරම් විශාල සිදුවීම් කිසිවක් තවමත් වාර්තා වී නෑ. සුප්‍රසිද්ධ X-Files කතා මාලාව නිසා පිටසක්වල ජීවීන් හා යානා පිළිබඳව අපිට තිබූ උනන්දුව වැඩි වූවා කිවහොත් එහි එතරම් වරදක් නෑ. ලෝකය පුරාම විටින් විට පිටසක්වල ජීවීන් පිළිබඳව පුවත් මැවෙනවා. මීට දින කිහිපයකට පෙර විද්‍යාත්මක ලෝකය කැළඹීමක් ඇති කළ පුවතක් තමයි මෙවර ‘අතැඹුලෙන්’ ඔබ වෙත ගෙන එන්නේ.
පේරු රටෙහි නස්කා ප්‍රදේශයේ ගල් ගුහාවක තිබී හමුවුණු මමියක් එනම් සංරක්ෂණය වුණු මළසිරුරක් නිසා තමයි මෙලෙස විද්‍යාත්මක ලෝකයේ ආන්දෝලනයක් ඇතිවී තිබෙන්නේ. ‘මාරියා’ යන නමින් හඳුන්වන මෙම ගැහැනු මමිය මීට පෙර මෙම ප්‍රදේශයෙන්ම සොයාගත් කුඩා දරුවකුට අයත් මමියෙහි මව විය හැකි බව මෙය සොයාගත් පුද්ගලයින් පවසනවා.
සියලුම මිනිසුන්ට තිබෙන ලෙස ක්‍රෝමසෝම 23ක් මෙම මමිය සතු වූවද මිනිසකු සතු නොවන ලක්ෂණ කිහිපයක්ද මෙහි දැකගත හැකි බව රුසියානු ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොන්ස්තන්තින් කොරොට්කොව් (Konstantin Korotkov) පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ මීට පෙර පේරු රටෙන් හමුවූ වසර 6500ක් පැරැණි පිරිමි මමි සිරුර 4ද ඔහු දුටු බවයි.
මෙම මාරියාගේ මමිය මෙන්ම එම පිරිමි මමි වලද අත්පා යුගලක්, ඇස් හා කටක් සහිත හිසක් තිබෙන අතර ජීවවිද්‍යාත්මක හා රසායනික සංඝටක සාමාන්‍ය මිනිසුන්ට සමාන බව ඔහු පවසනවා. නමුත් බාහිර ව්‍යහාත්මක සැකැස්ම අපිට වඩා වෙනස් බව පසුගිය වසරේ සිට මාරියාගේ මමිය අධ්‍යයනය කරනු ලැබූ පිරිස පවසා තිබෙනවා. පර්ශු හා පර්ශු කූඩුවේ බොහෝ අසමානකම් තිබෙන අතර නාස්කුහරයේ සහ යටි හනුවද වෙනස් බව ඔවුන් පෙන්වා දෙනවා. නමුත් ලෝකයේම අවධානය ලැබුණු ලක්ෂණය වූයේ මෙහි අත් හා පාද වල ඇඟිලි තුනක් පමණක් වීමයි. මහාචාර්ය කොරොට්කොව් පවසන්නේ මෙම මමි අයත් ජන කොට්ඨාසය පිටස්තරින් පැමිණි ජීවයක් විය හැකි අතර අපිට වඩා වසර දහස් ගණනක් ඉදිරියෙන් සිටිනා ජීවී කොට්ඨාසයකට මෙම සිරුරු අයත් විය හැකි බවයි.
www.Gaia.com නම් වෙබ් අඩවිය විසින් නිකුත් කරනු ලැබූ වීඩියෝවක් නිසා තමයි මාරියාගේ මමියට මෙලෙස ලෝකයේ අවධානය යොමු වූයේ.
ලොවපුරා සිටින පිටසක්වල ජීවීන් පිළිබඳව අධ්‍යනය කරන බොහෝදෙනා පවසන්නේ මෙම මමිය ව්‍යාජ එකක් විය හැකි බවයි. ඔවුන් එසේ පවසන්නට හේතු වී තිබෙන්නේ මෙම මමියේ විස්තර පිළිබඳව විද්‍යාත්මක ලෙසින් ලියැවුණු විද්‍යාත්මක ප්‍රකාශනයක් තවමත් ප්‍රකාශ වී නොමැති නිසායි.
මීට අමතරව මහාචාර්ය කොරොට්කොව් මීට පෙර සිදු කර තිබෙන ව්‍යාජ සොයාගැනීමක් නිසා ඔහු අපකීර්තියට ලක්වී තිබෙන අතර මෙම මමිය සොයාගත් කණ්ඩායමේ සිටින එක් මාධ්‍යවේදියකුද මීට පෙර ව්‍යාජ ඡායාරූපයක් පිටසක්වල ජීවියෙකුට අයත් සිරුරක ඡායාරූපයක් ලෙසින් ප්‍රසිද්ධ කර විදු ලොවේ අපකීර්තියට ලක් වී තිබෙන නිසායි. මාරියාගේ මමිය පිළිබඳව මෙලෙසින් මතභේදයක් තිබුනද පිටසක්වල ජීවයක් තිබෙනවාද නැද්ද යන්න දැනගැනීමට තිබෙන අපිට තිබෙන කුතුහලයේ නම් කිසිම අඩුවක් වන්නේ නැත.