HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

 ජේ ‍ඉසෙඩ් බෙයොන්සෙ ප්‍රසංග රැල්ලක

ජේ. ඉසෙඩ් සහ බෙයොන්සෙ ගායක ගායිකා යුවළගේ ජනප්‍රිය ප්‍රසංගය නම් කෙරුණේ ‘‍ඔන් ද රන් ටුවර්’ යනුවෙන්. මේ ප්‍රසංගය මුල් වරට ගිගුම් දුන්නේ 2014 ජූනි මාසයේදීයි. උතුරු ඇමෙරිකාවේ ප්‍රදේශ 19 කදී සහ ය‍ුරෝපා රටවල් 2 කදී සංගීත රසකාමීන් පිනවූ මෙ ප්‍රසංග මාලාවෙන් ලද ආදායම ඩොලර් මිලියන 109 ක්.‍ නැරඹූ ප්‍රේක්ෂක පිරිස 9 ලක්ෂයකට අධිකයි.

දැන් මේ යුවළ ස‍ූදානම් වන්නේ ‘ඔන් ද රන්’ ප්‍රසංගයේ දෙවැනි අදියරට මුල පුරන්නයි. මේ ගැන විවිධ ආරංචි පසුගිය සති කිහිපය තුළ පැතිරුණත් ජේ. ‍ඉසෙඩ් හෝ බෙයොන්සෙගෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කෙරුණේ නැහැ. මඳක් නිහඬව සිටි ඔවුන් දෙදෙනා පසුගිය සතියේ ප්‍රකාශ කළේ ‘ඔන් ද රන් - 2’ ලෙසින් එහි දෙවැනි ප්‍රසංග මාලාව එංගලන්තයේ කාඩිෆ් නුවරින් ඇරැඹෙන බවයි. ඉන්පසුව එංගලන්තයේ ලන්ඩන්, මැන්චෙස්ටර් ඇතුළු නගර රැසක පැවැත්වෙන මේ ප්‍රසංගය ඩෙන්මාර්කය, ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවලට ද රැගෙන යාමට නියමිතයි. ඇමෙරිකාවේ නගර රැසක පැවැත්වීමට ද නියමිත ‘ඔන් ද රන් - 2’ ගීත චාරිකාව නිමාවට පත්වන්නේ මේ වසරේ ඔක්තෝබරයේදී කැනඩාවේ චැන්කුවර් නගරයේ පැවැත්වෙන ප්‍රසංගයෙන්.

‘ස්පයිස් ගර්ල්ස්’ යළිත් කරළියට...

‘ස්පයිස් ගර්ල්ස්’ ගැන නොදන්න සංගීත රසිකයකු රසිකාවියක නැතැයි පැවසීම නිවැරැදියි. ’90 දශකය තුළ අතිශය ජනප්‍රිය වූ මේ සංගීත කණ්ඩායමේ සිටි ගායිකාවක් තමයි, මෙල් බී. එනමින් ඇය ප්‍රචලිත වුණේ ඇගේ සැබෑ නම, මෙලනි ජැනින් බ්‍රවුන් නිසා. 2001 දී ඇය සංගීත ලෝකයෙන් ඉවත් වුණා. එතැන් සිට ඇගේ ගීත ප්‍රිය කළ රසික පිරිස් ඇගෙන් විමසන්නට පටන් ගත්තේ නැවතත් ගී ලොවට පිවිසෙන්නේ කවදාද කියලයි. දීර්ඝ කාලයකට පසුව ඇගෙන් ඊට පිළිතුරක් ලැබී තිබෙනවා. මෑතකදී ඇය වෙබ් අඩවියකට ප්‍රකාශ කළේ නැවතත් ‘ස්පයිස් ‍ගර්ල්ස්’ කණ්ඩායම සමඟ එක්වී ගී ලොවට පිවිසෙන්නට තමන් අදහස් කරන බවයි.

“මට තවම මේ ගැන වැඩි විස්තර කියන්න බැහැ.‍ නමුත් මේ අවුරැද්දෙ දි අපි පස් දෙනා ආපහු එකතු වෙලා ‘ස්පයිස් ගර්ල්ස්’ හැටියට ගීත ගායනා කරනවා.” මෙල් බී සතුටින් ප්‍රකාශ කළා. ඒ සමඟම එදා ‘ස්පයිස් ‍ගර්ල්ස්’ කණ්ඩායමේ ගායිකාවන් වූ වික්ටෝරියා බෙකම්, එමා බන්ටන්, ගෙරී හාලිවෙල් සහ මෙලනි චිස්හොම් ගැනත් සිහිපත් කරන්න ඇය අමතක කළේ නැහැ. ‘අපි හැමෝම දැන් ‍මවුවරු බවට පත්වෙලා. ඒත් මැයි 19 දා එංගලන්තයේ හැරී කුමරු සහ මෙගාන් මාක්ල් ගේ විවාහ මංගල උත්සවයේදී ගී ගයනවා.” මෙල් බී රහසක් හෙළි කළා.

ලීසා කරවටක් ගිලෙයි

පොප් ගී ලොව කිරුළු පැළඳි එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය, ජනප්‍රිය ගායිකා ලිසා මාරි ‍ප්‍රෙස්ලි දැන් ජීවිතය ගත කරමින් සිටින්නේ පීඩාකාරී වාතාවරණයකයි. ඇගේ විවාහ ජීවිතය බිඳ වැටිලා. ඒ අතර ඇයට මුදල් අගහිඟකම් මතුවෙලා. කිහිප අතකින් ම ණය කාරියක් බවට පත් වෙලා.‍

ලීසා විවාහ වුණේ ප්‍රවීණ ගිටාර් වාදකයෙකු වන මයිකල් ලොක්වුඩ් සමඟයි. දරුවන් සිවු දෙනෙකුගේ මවුපියන් වූ ඔවුන් දෙදෙනා පසුගියදා නීතියෙන් වෙන් වුණා. මේ දික්කසාද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය ලිසාට නියෝග කළේ මයිකල්ට වැය කරන්නට සිදුවූ නීතිඥ ගාස්තු ලෙස ඩොලර් ලක්ෂයක් ඔහුට ගෙවා දමන ලෙසයි.

කෙසේ වෙතත් ලිසා මේ වනවිට දැඩි ලෙස ණය බරින් මිරිකී සිටින නිසා ඇය මේ මුදල කෙලෙස ගෙවා දමන්නේ දැයි පැහැදිලි කර නැහැ. ලිසාට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඇය විසින් රජයට ගෙවිය යුතුව තිබෙන බදු මුදල් වසර කිහිපයකින් නොගෙවා ඇති බවයි. එය ඩොලර් මිලියන 10 ක් පමණ විය හැකියැයි පැවසෙනවා. ඒ විතරක් නොවෙයි. ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයෙන් ඇයට ඩොලර් මිලියන 47,800 කට වැඩි ණය මුදලක් ද ගෙවන්නට සිදුවෙලා.

ඩොලී පාට්න් ගේ පුස්තකාලය පියාගේ නමින්

දශක දෙකක් තිස්සේ වසරක් පාසා කුඩා ළමයින්ට පොත් පරිත්‍යාග කරන සුපිරි තාරකාවියක් තමයි, ඩොලී පාට්න්. දැනට 72 වැනි වියෙහි පසුවන මේ ප්‍රවීණ ගායිකාව මෙතෙක් ක්‍රියාත්මක කරමින් සිටින පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට අමතරව තවත් දැවැන්ත ව්‍යාපෘතියකට හිත යොමු කරලා. ඇය දැන් සැරසෙන්නේ ඇමෙරිකාවේ විශාලතම පුස්තකාලය ආරම්භ කරන්නයි. විශේෂයෙන් ම කුඩා දරුවන් කියවීමට යොමු කරවීමේ අරමුණෙන් යුතුව මේ පුස්තකාලය ගොඩ නැංවෙන්නේ තම පියාණන් සිහිපත් කිරීමට බවයි ඩොලී පාට්න් පවසන්නේ. “මම පුංචි කාලෙදි අපේ ගෙදර තිබුණෙ එකම එක පොතයි. ඒ තමයි, බයිබලය. අපේ අම්මා බයිබලය කියවමින් එහි ඇති කතන්දර මටත් අනෙක් සහෝදර සහෝදරියන් 11 දෙනාටත් කියලා දුන්නා. මගේ තාත්තා හරියට මහන්සිවෙලා වැඩ කළ කෙනෙක්. තාත්තාට අකුරු ලියන්නවත් කියවන්නවත් පුළුවන් කමක් තිබුණෙ නැහැ‍. පාසලක ඉගෙන ගෙනත් නැහැ. ඒ නිසයි, මේ පුස්තකාලය මගේ තාත්තා වෙනුවෙන් ඉදි කරන්නේ.” ඩොලී පාට්න් සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා. කුඩා කල පටන් කියවීම ප්‍රිය කළ ඇය තවමත් ‍පොත් පත් ඇසුරින් මිදී නැහැ. වසරකට පොත් 50 කට වැඩි ප්‍රමාණයක් කියවන බවයි ඇය පවසන්නේ.

Comments