
ඉංග්‍රීසි චිත්‍රපට නරඹන පුද්ගලයකු නම් ‘ලෝඩ් ඔෆ් ද රිං’ (Lord of the Ring) චිත්‍රපට ත්‍රිත්වය ගැන අඩු තරමින් අසා තිබෙනවා හෝ විය හැකියි. ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ මෙම චිත්‍රපට කතා මාලාවෙන් පසුව එම කතාවටම තරමක් ඈතින් සම්බන්ධ වන තවත් චිත්‍රපට ත්‍රිත්වයකින් යුත් ‘හොබිට්’ (Hobbit) නම් කතා මාලාවක් තිරගත වූවා.
නවසීලන්තයේ රූගත කරනු ලැබූ මෙම චිත්‍රපට ද්විත්වයට ලැබුණු ඉතා ඉහළ ප්‍රතිචාර වලින් පසුව රසිකයින් විසින් විනෝදාංශයක් ලෙස මෙහි රූගතකිරීම් සිදු කරන ලද ස්ථාන නැරඹීමට පෙළඹුණා.ඒ එම බොහෝමයක් ස්ථාන පරිගණකයෙන් නිර්මාණය කරන ලද ඒවා නොව සැබෑ ලෙසින්ම නවසීලන්තයේ දකින්නට ලැබෙන ඉතාමත් සුන්දර ස්ථාන නිසායි.
හොබිටොන් (Hobbiton) යන නමින් හැඳින්වෙන ගම්මානය චිත්‍රපටයේ සිටින අඟුටුමිටිවරුන් පිරිසකගේ නිවහන වන අතර චිත්‍රපටය සඳහා සාදන ලද හොබිට් ගම්මානය අදටත් නැරඹීමට හැකියාව තිබේ.
මෙය ඉදිකර ඇත්තේ ‘ඇලෙක්සැන්ඩර් ‘ නම් ගොවිපොළ භූමියේ. මෙම චිත්‍රපට දෙකෙහිම තිර රචකයා, අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයා වන නවසීලන්ත ජාතික පීටර් ජැක්සන් (Peter Jackson) විසින් 1999 වසරේ ලෝඩ් ඔෆ් ද රිං චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට ප්‍රථම රූගත කිරීම් සඳහා සුදුසු ස්ථාන සොයමින් ගුවනින් ගමන් කරන අතරතුර ‘ඇලෙක්සැන්ඩර්’ ගොවිපළ ඔහුගේ නෙත ගැටී තිබෙනවා. ඉන්පසුව ගොවිපළෙහි අයිතිකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව හොබිට් ගම්මානය සඳහා සුදුසු ප්‍රදේශයේ රූගත කිරීම් වර්ෂ 1999 දී ආරම්භ කර තිබෙනවා.
නැවතත් හොබිට් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා හොබිට් ගම්මානය නිර්මාණය කිරීමට අවශ්‍ය වී තිබෙන අතර 2011 වසරේදී ස්ථිර ගොඩනැගිලි ලෙසින් මෙම හොබිට් ගම්මානය හෙවත් හොබිටොන් ඉදිකර තිබෙනවා.
කන්ද තුළට සාදනු ලැබූ කුඩා නිවාස හඳුන්වන්නේ ‘හොබිට් ගුල්‘ ලෙසින්. වර්තමානයේ මෙම සංචාරක ආකර්ෂණය හිමි හොබිටොන් හි හොබිට් ගුල් 44ක්, උද්‍යාන, ආරුක්කු ගල් පාලමක්, හොබිට් ගම්මානයේ මෝල සහ තානායම (Green Dragon Inn) චිත්‍රපටයේ තිබූ ලෙසින්ම දකින්නට ලැබෙනවා.
මෙම හොබිට් ගම්මානය තිබෙන ගොවිපළ පිහිටා තිබෙන්නේ වෛකටෝ ප්‍රදේශයේ (Waikato) මටාමටා (Matamata) නම් කුඩා නගරයකයි. මෙම ස්ථානයට ඔක්ලන්ඩ් (Auckland) සිට පැය 2ක් පමණ ගමන් කළ පසු ළඟා වන්නට පුළුවන. ඇලෙක්සැන්ඩර් සහෝදරයන් මෙම අක්කර 1250ක ගොවිපළ වෙත 1978 වසරේ පැමිණ තිබෙන අතර මෙහි බැටළුවන් 13000ක් හා ගවයන් 300ක් පමණ සිටිනවා. චිත්‍රපටයේ දකින්නට ලැබෙන විශාල ඕක් ගස (Party tree) මෙම හොබිට් ගම්මානයේ දක්නට ලැබුණත් එය මෙම ගොවිපළෙහි තිබුණ ගසක් නම් නොවේ. ටොන් 26ක් බරැති මෙම ඕක් ගස වෙනත් ස්ථානයකින් කපාගෙන ගෙනවිත් මෙම හොබිට් ගම්මානයේදී කෘතිම පත්‍ර සවිකර නිර්මාණය කරන ලද්දක් වනවා.
මෙම ගම්මානය සැබෑ ලෙසින්ම දිස්වීමට මෙය රූගත කිරීමට වසරකට පෙර සාදා වසරක් පුරාවට මෙහි ගස් වැල් හා වල් පැළෑටි වැඩීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ නිසා මෙම ස්ථානය නිකම්ම දර්ශන තළයක් නොව සැබෑ පැරැණි ගම්මානයක් ලෙසින්ම අදටත් දිස් වෙනවා. නමුත් මෙම හොබිට් ගුල් ඇතුළත නම් චිත්‍රපටයේ මෙන් නිමාවකින් දිස් නොවන්නේ හොබිට් ගුල් තුළ කරන ලද රූගත කිරීම් සියල්ලම පාහේ චිත්‍රාගාරයක සිදු කර තිබෙන නිසායි.