
1969 ජූලි 04 වැනිදා හා හා පුරාකියා ‘තුනෙයිවන්‘ තිරගත වෙද්දී තම රුව විශාලව රිදී තිරයේ සිත්තම් වී තිබෙණු දැක පුංචි ශ්‍රී ගේ දෑස් ඝනඳුරු අහසක තරු කැට පරයමින් බැබළෙන්නට විය. ඇය තිරයේ චලනය වන රුව නැරඹීමෙන් ලැබුවේ සෙල්ලම් කිරීමෙන් ලබනවාට වැඩි ප්‍රීතියකි. ‘තුනෙයිවන්‘ (සහායකයා) කුඩා ස්කන්ධ දෙවියාගේ චරිතය තම ජීවිතය ම සිනමාවක් කර අවසන් බව පොඩිත්තියට වැටහුණේ නැත.
ශ්‍රීට ‘තුනෙයිවන්‘ අකුරු ටික ගළපා ගැනීමටවත් නොතේරිණි. එහෙත් ශ්‍රී ගේ පියා අයියප්පන්ට හා මව රාජේශ්වරීට එය සක්විති පදවිය ලැබීම හා සමාන විය. හැඩකාර දූ සිඟිත්තියගේ රුව මාපියන්ට සැබෑ අභිමානයක් විය. ඔවුනගේ සතුට දෙගුණ තෙගුණ වූයේ ‘තුනෙයිවන්‘ දින සියය ඉක්මවා ඉහළම ආදායමක් ලබමින් තිරගත වීම නිසාය.
අයියප්පන් ගීත රචක කන්නදාසන්ට සතුට ප්‍රකාශ කළේය. තම දේශපාලන ඥාතියාගේ උත්සවයේදී කන්නදාසන් මුණ නොගැසෙන්නට එම අවස්ථාව ගිලිහී යන්නට ඉඩ තිබිණි.
කුළුඳුල් සිනමා පටය දින සියය ඉක්මවා තිරගත වීමේ වටිනාකමක් පුංචි ශ්‍රීට දැනුණේ නැත. එහෙත් වෙනදාට වඩා අලුත් ගවුම්, කැවිලි පෙවිලි, බෝනික්කන්, සෙල්ලම් බඩු ලැබෙද්දී ශ්‍රී හිතපුරා සතුට විඳ ගත්තාය. දේව රුව හා ශ්‍රී ගේ රුවෙහි අසිරිමත් ගැළපීම සැමටම පුදුමයක් විය.
තිරුමුගම් කණ්ඩායම ම පුංචි ශ්‍රී සුරතල් කළේ, දැඩි සෙනෙහසක් පෑවේ ඇය අනාගත දමිළ සිනමාවට මහඟු සම්පතක් බව පැසුණු නුවණින් වටහා ගත් නිසයි. කුඩාවුවත් අධ්‍යක්ෂ පවසන දේ වටහා ගැනීමට ශ්‍රීට තිබුණේ පුදුම හැකියාවකි. තුනෙයිවන් සිනමා පටයේ ප්‍රධාන තාරකාව සෞව්කාර් ජානකී ( සන්කරමන්ජි ජානකී ) එවකට සමස්ත ඉන්දීය සිනමාවේම බැබළෙන තාරකාවක වූවාය. තෙළිඟු, දමිළ, කන්නඩ, හින්දි, මලයාලම් ආදී සියලුම භාෂාවලින් නිර්මිත සිනමා පටවලට රංගන දායකත්වය දුන් ඇය පුංචි ශ්‍රී ගේ දෙනෙතට වශී වූවාය.
ජානකී කෙතරම් රඟපා තිබණද එවන් හැඟීම්බර, මන මෝහනීය දෑසක් මින් පෙර දැක තිබුණේ නැත. ‘‘මගේ ආදරණීය කෙලි පැටික්කි‘‘ ඇය ශ්‍රී තිරයෙන් එපිටදී ඇමතුවේ එලෙසිනි. ‘තුනෙයිවන්‘ දර්ශන රූගත කරද්දී හඳුනාගත් ශ්‍රී ගේ මව රාජේශ්වරී ජානකීගේ හොඳම මිතුරියක වූවාය. සිනමාපටයේ අතිරේක නිළියක ලෙස රංගනයට රාජේශ්වරී පෙළඹවූයේ ජානකීය. මුලදී පැකුළුණ ද පසුව ඇය ද අතිරේක චරිතවලට දායක විය.
කුඩා ශ්‍රී ප්‍රධාන චරිතයකින් කැමරාවට මුහුණ දුන්නේ තුනෙයිවන් සිනමා පටයෙන් වුවද ඇයට ඊට පෙරද කැමරාව නුහුරු නුපුරුදු අද්දැකීමක් නොවීය. ඇය 1967 ජනවාරි 14 වැනිදා තිරගත වූ ‘කන්දන් කරුණෙයි‘ සිනමා පටයේද කුඩා ස්කන්ද දේවියට පණ පෙව්වාය. එහි රඟපෑවේද ජෙමිනි ගනේෂන්, සිවාජි ගනේෂන්, ජයලලිතා වැනි දමිළ සිනමාවේ පතාක යෝධයන්ය.
දැරියක වුවත් ශ්‍රී, පිරිමි දරුවකුගේ චරිතයට කදිමට ගැළපුණි. දෙව් රූ සමාන රුව කැමරාවට උචිත බව මුලින්ම හඳුනාගෙන තිබුණේ සිනමා කැමරා ශිල්පියකු නොවේ. ශ්‍රී ට වයස අවුරුදු දෙකක් හෝ තුනක් පමණ කාලයේදී ද ඇය පුංචි ක්‍රිෂ්ණා ලෙස සැරසී කැමරාවට මුහුණ දුන්නාය. ඒ චන්ද්‍රිකා සබන් නිෂ්පාදන සමාගමේ දින දසුනකටය.
කන්ද කරුණෙයි (1967), තුනෙයිවන් (1969) සිනමා පටවලට රංගනයෙන් දායක වූ පසු ශ්‍රීට දර්ශන තලයෙන් තොර ජීවිතයක් නොවීය. ගෙවත්තේ දුව පැන්න ඇය දර්ශන තලය කෙළි බිමක් කරගත්තාය. තුනෙයිවන් දර්ශන තලයේදී මහා නළු එම්.ජී රාමචන්ද්‍රන් (එම්.ජී.ආර්) දුරදක්නා නුවණින් ශ්‍රී ගේ අනාගතය දුටුවේය. ඔහු නාම් නාදු (අපගේ දේශය) සිනමා පටයට ශ්‍රී තෝරා ගත්තේ ද කුඩා පිරිමි දරුවකුගේ චරිතය නිරූපණය කිරීමටය.
නාම් නාදු සිනමා පටයේ රාමචන්ද්‍රන්. ජයලලිතා, නාගේෂ් වැනි ප්‍රවීණ තරු සමඟ ‘රාජා‘ ළමා චරිතය නිරූපණය කළාය. ඒ එම්. ජී .ආර් හා ජයලලිතාගේ කුඩා බෑණා ලෙසයි. නාම් නාදු 1969 නොවැම්බර් 07 වන දින තිරගත විණි.
නවක ළමා තරුවේ අපූර්ව රංගන හැකියාව ප්‍රේක්ෂක, විචාරක අවධානයටත්, ප්‍රශංසාවටත් ලක්විය. බේබි ශ්‍රී දේව් සිනමා රංගන නාමාවලියේ කාගේත් බලාපොරොත්තුවක් විය. පුංචි ශ්‍රීට ඉසුඹුවක් ලැබුණේ නැත. එහෙත් මේ කාලයේ දී ආයියප්පන් හා රාජේශ්වරී අතර ගැටුම් ද ඇතිවිය. වෘත්තියෙන් නීතිඥයකු වූ ශ්‍රී ගේ පියාට අවශ්‍ය වූයේ දියණියට හොඳින් සිප්සතර ලබාදීමටය. එහෙත් රාජේශ්වරීට ඕනෑ කර තිබුණේ දියණියගේ ආශාවට ශක්තියක් වීමටය. ශ්‍රීට හැකි වූයේ පළමු වැනි පංතියට පා තැබීමට පමණි.
අතොරක් නැතුව ලැබෙන රංගන ආරාධනා නිසා පාසල් බිම වෙනුවට ඇය දර්ශන තලය තෝරා ගත්තාය. පුංචි ශ්‍රීට සිනමා කැමරාව ආදරය කරනවාද කැමරාවට ශ්‍රී සෙනෙහෙබර ද යන්න මාපියන්ට, අධ්‍යක්ෂකවරුන්ට, ප්‍රවීණ රංගනවේදීන්ට තෝරා ගත නොහැකි විය. කෙසේ වුවද පුංචි ශ්‍රීත් සිනමාවත් ගසට පොත්තක් , පොත්තට ගසක් මෙන් ඒකාබද්ධ වී ඇති බව පමණක් ඔවුහු වටහා ගත්හ. පළමු වැනි පන්තියේ දොළොස් මසක අධ්‍යාපනයවත් කරගෙන යාමට දියණියට ඉඩ නොලැබුණු තැන අයියප්පන් නිවෙසටත් දර්ශන තලයටත් ගුරුවරියක ගෙන්වා අධ්‍යාපනය ලබා දීමට මුල පිරීය.
1969 සිටම ජනප්‍රිය වැඩිහිටි තාරකාවකට මෙන් ශ්‍රීට සේවා මුර දෙක තුනකටම දායක වීමට සිදුවිය. දමිළ සිනමාවෙන් සිනමාවේ ‘ආනා‘ හෙවත් අයන්න කී ඇය මලයාලම් සිනමාවට දායක වූයේ ‘කුමාර සම්භවම්‘ සිනමා පටයෙනි. එය දමිළ බසින්ද නිර්මාණය වූ ද්වි භාෂික සිනමා පටයකි. එහි ඇය රැඟුවේ කුඩා සුබ්‍රමනියම්ගේ චරිතයයි.
ජෙම්නි ගනේෂන්, පද්මිණී ප්‍රධාන සුපිරි තරු යුවළ සමඟ පුංචි ශ්‍රී ද රඟ පෑවාය. ස්වභාවයෙන්ම ලජ්ජාශීලී කුඩා දැරියක වුවද ශ්‍රී ඩිරෙක්ටර් සර්ගේ උපදෙස් අකුරට ම පිළිපදිමින් කැමරාව ඉදිරියේ ලජ්ජාකාරියක නොවූයේ මව රාජේශ්වරීට අදහාගත නොහැකි විලසින්ය. එහිදී ශ්‍රීට රඟපෑමට සිදුවූයේ දේව පුරාවෘත්තයක කුඩා සුබ්‍රමන්‍ය චරිතයයි.
කන්දන් කරුණෙයි සාර්ථක වූ නිසාදෝ ජී සුබ්‍රමනියම් 1969 දී කුමාරසම්භවම් මලයාලම් සිනමාපටය නිර්මාණය කිරීමට තීරණය කරන ලදි. ජී සුබ්‍රමනියම් කේරලයේ දක්ෂ ජනප්‍රිය සිනමා අදියුරුවරයෙකි. ළමා තාරකාවක ලෙසින් වුවද ශ්‍රී රඟූ සෑම සිනමා පටයක්ම ජනප්‍රියතාවට පත්විය. 1969 දෙසැම්බර් 26 වැනිදා මලයාලම් සිනමාපටය තිරගත වූ අතර දමිළ හඬ කැවූ සිනමාපටය 1970 මාර්තු 14 තිරගත විය.
කුමාර සම්භවම් මලයාලම් ඉන්දියානු සිනමා පටය පළමු කේරළ රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම සිනමා පටය වූයේ එය මලයාලම් සිනමා ඉතිහාසයේ මං සලකුණක් වෙමිනි. එලෙසම විශිෂ්ට සංගීතය නිසා මෙන්ම පුංචි ශ්‍රී ගේ මංගල මලයාලම් සිනමා රංගනය ලෙසද එය ඉතිහාසයට එක්විය.
තව කොටසක් ලබන සතියේ