මං ගෙද­රට ආව එක මිසිස් ජැෆ­ර්ජිට ප්‍රශ්න­යක් වේවිද මන්දා | සිළුමිණ

මං ගෙද­රට ආව එක මිසිස් ජැෆ­ර්ජිට ප්‍රශ්න­යක් වේවිද මන්දා

ලිපිගොනු කීපය ද රැගත් අසාර්ගේ ඥාතියා ගේට්ටුව අසළ නතර වී නැවතත් හැරී තමා දෙසත්, අරවින්ද් දෙසත් බලන අයුරු ෆියෝනා දුටුවාය. ඔහු අරවින්ද් පිළිබඳව කවර ලෙසකින් අසාර්ට වාර්තා කරනු ඇත්දැයි ඇය කල්පනා කළාය. අරවින්ද්ගේ දෙනෙත් ද තවමත් ගේට්ටුවෙන් පිටත නතර වී තිබිණ. නිවෙසට ඈතින් නතර කර තිබූ මෝටර් රථයක් සෙමෙන් පැමිණෙන අයුරුත් එහි රියැදුරාගේ විමසුම් දෙනෙත් තම නිවස දෙසට යොමු වන අයුරුත් ෆියෝනා බලා සිටියාය. ඇය රියැදුරා කවරෙක්දැයි හඳුනා ගත්තාය. ඒ අන් කිසිවෙක් නොව අසාර්ගේ ඥාතියා ෆෙරෝස් විය. අරවින්ද් ෆියෝනා දෙස බැලුවේ කුතුහලයෙනි.

“ඇයි ඒ මනුස්සයා ඈතින් කා එක නතර කරලා තිබුනෙ?‘‘

අරවින්ද් ඇසුවේය.

“ඒකම තමයි මමත් කල්පනා කළේ. එයා ආවෙ කා එකකින් කියලා මං දැක්කෙවත් නෑ.‘‘

“මං ගෙදරට ආව එක මිසිස් ජැෆර්ජිට ප්‍රශ්නයක් වේවිද මන්දා. ‘‘

“නෑ. එහෙම වෙන එකක් නෑ.‘‘යි පැවසුවද, ෆියෝනාගේ සිත ද අනියත බියකින් පිරිණි. අසාර් දැඩි ලෙස කෝපයට පත් වෙන්නෙකි. ෆෙරෝස් ඔහුට කවර අයුරකින් අරවින්ද් පිළිබඳව වාර්තා කරනු ඇත්දැයි ඇයට සිතා ගත නොහැකි විය.

“මිසිස් ජැෆර්ජි ප්‍රශ්නෙකද ඉන්නෙ? ‘‘

අසල වූ රතු පැහැති පත්‍ර සහිත මල් පෝච්චියකින් කොළයක් කඩාගෙන සිය අත්ලෙහි අතුල්ලන අරවින්ද් ප්‍රශ්න කළේය. ඔහුගේ අත්ල රතු පැහැ ගැන්වෙන අයුරු ෆියෝනා බලා සිටියාය.

“නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. ‘‘

“ඔයා නෑ කිව්වට මට මොකක් නමුත් වෙනසක් පේනවා. ඔය දෙන්නා ඉන්නෙ විරසක වෙලාද?‘‘

“නොගැළපෙන දෙන්නෙක් එක ගෙදරක ජීවත් වෙනකොට ඕනම ගෙදරක පොඩි පොඩි ගැටලු ඇති වෙනවා තමයි. ඒත් ඒක ඒ හැටි දෙයක් නෙමෙයි. ‘‘

“කියන්න අකැමැති නම් කමක් නෑ. එක අතකට මං ඔයගොල්ලන්ගෙ පෞද්ගලික දේවල් අහන එකත් වැරැදියි. මං ගිහින් එන්නම් මිසිස් ජැෆර්ජි. ‘‘

“ඉන්න තේ ටිකක් බීලා යන්න.‘‘

“එපා. මං දැන් තේ එකක් බීපු ගමන්. උවමනාවක් වුණොත් කතා කරන්න. මං යන්නම්. ‘‘

ෆියෝනා පිළිතුරක් නොදුන්නාය. නිවසින් පිටත ගලවා තබන ලද සිය සෙරෙප්පු කුට්ටම පය ලා ගත් අරවින්ද් යළිත් හැරී බැලුවේය.

“ගේට්ටුව ඇතුළින් ලොක් කරලා තියා ගන්න. ආව මනුස්සයා ෆයිල් එකක් ගෙනියන්න ආවා කිව්වට ආව අරමුණ වෙන එකක් වෙන්න පුළුවන්.‘‘

“ඒ කිව්වෙ? ‘‘

“මම හිතන දේවල් කියලා මිසිස් ජැෆර්ජිව බය කරන්න මට ඕන කමක් නෑ. කොහොම වුණත් පරෙස්සමින් ඉන්න. එච්චරයි. මම යනවා.‘‘

අරවින්ද් නිවසින් පිටව ගියේය. ගේට්ටුව අගුළු දැමූ ෆියෝනා නිවස තුළට ඇතුළුවී දොර වසා ගත්තාය. තමා තුළ දැඩි කැළඹීමක් ඇති වෙමින් පවතින බව දැනුණද, එයට නිශ්චිත හේතුවක් ඇයට සිතා ගත නොහැකි විය.

“මං ජීවත් වුණේ කුරුල්ලෙක් වගේ. සමනළයෙක් වගේ සැහැල්ලුවෙන්. සතුටෙන්. මගේ ජීවිතේ මේ වගේ වේවි කියලා කවුද දැනගෙන හිටියෙ. ‘‘

පහසු ලෙස සෝෆාව මත වැතිරුණු ඇය තමාටම පවසා ගත්තාය.

“අසාර් මගෙන් ඈත් වෙනවා. එහෙමත් නැත්නම් එයාගෙ අම්මයි, තාත්තයි සහෝදරයොයි එයාව මගෙන් ඈත් කරන්න සැලසුම් කරනවා. ‘‘

පොතක් ලිවීමට තොරතුරු රැස් කිරීමට මුලින්ම ඔහුගේ පියා සතු බිස්කට් ෆැක්ටරියට ගිය ගමන ෆියෝනාගේ මතකයට නැගිණ. එදින තම තනියට සජීවා ද පැමිණියාය. තමා සමගත්, සජීවා සමගත් හොඳින් කතා බහ කළද, අසාර්ගේ පියා කෙතරම් තද ගති ඇති පුද්ගලයකු ද යන්න ඇය අවබෝධ කර ගත්තේද එදිනය. පමා වී සේවයට පැමිණි ෆැක්ටරියේ සේවකයකු කිසිදු අනුකම්පාවකින් තොරව ආපසු හරවා යැවීමට තරම් ඔහු අකාරුණික පුද්ගලයකු විය.

“ඔහොම නොකළා නම් අද මට මේ තැනට එන්න වෙන්නෙ නෑ ළමයි.‘‘

සිය සේවකයා නෙරපීම සාධාරණීකරණය කරන්නට ඔහු උත්සාහ දැරූ අන්දමත්, ෆැක්ටරියේ සිට ආපසු එන ගමනේදී සජීවා ඔහු පිළිබඳව දැක්වූ අදහසුත් ෆියෝනාට සිහිපත් විය.

“අසාර් නළුවා වගේ හිටියට ලොක්කා නම් ලේසි පාසු කෙනෙක් නෙමෙයි පුතෝ.‘‘

බසයට නැග ගත් පසු තමා අසළින් හිඳ ගත් සජීවා පැවසූ අයුරු ෆියෝනා සිහිපත් කළාය.

“ඇයි?’‘

“ඒක නිකම් අනතුරු ඇඟවීමක් කියලා උඹට දැනුණෙ නැද්ද අශ්විනී?‘‘

“ඒ කිව්වෙ?‘‘

“ඒ කිව්වෙ ඉංග්‍රීසි හෝඩියේ මුල් අකුර. මෝඩි. පොත් ලිව්වට සාමාන්‍ය දැනුම නම් නිල්. එයා එයාගෙ තද ගතිය ප්‍රදර්ශනය කරන්න ඇත්තෙ මගේ පුතාගෙ ඇඟේ බලෙන් එල්ලෙන කෙල්ලන්ට මම සලකන්නෙත් මෙන්න මේ විදියට කියලා පෙන්නන්න වෙන්නැති. ‘‘

සජීවාගේ වදන් වලට හඬ නගා සිනාපහළ වූ අන්දමත් ඉදිරි අසුන් වල හිඳගෙන සිටි කිහිප දෙනකුම පසුපස හැරී තමා හා සජීවා දෙස බැලූ අන්දමත් ෆියෝනාගේ මතකයට නැගිණ.

“ඔච්චර හයියෙන් හිනා වෙන්න එපා. අර... මිනිස්සු බලනවත් එක්ක.‘‘

“හිනා යන්නෙ නැද්ද මෝඩි? කවුද එයාගෙ පුතාගෙ ඇඟේ එල්ලෙන මෝඩයා? හැටි විතරක්. ඔය විදියෙ ජේත්තු කාරයින්ට කෙල්ලො කැමැති වෙන්නෙ නෑ. ‘‘

“අශ්විනී... හිතට එකඟවමද ඔය කියන්නෙ? ‘‘

“නැත්නම්?‘‘

“හිතන්න එපා මගේ ඇස් පේන්නෙ නෑ කියලා. ක්ලාස් එකේදි සමහරුන්ගෙ ඇස් හැමතිස්සෙම නතර වෙලා තියෙන්නෙ කොහෙද කියන එක මම දැනටමත් හොයාගෙන තියෙන්නෙ. ‘‘

“පිස්සු. ‘‘ යි පැවසුවද සැබැවින්ම ඒවනවිට පන්තියේ අනෙක් පිරිමි ළමයින් අතරින් කැපී පෙනුණ අසාර් දෙසට තම දෙනෙත් නිතර නිතරම යොමු වූ බව අමතක කළ නොහැකිය. පොඩි නොවූ නා නා වර්ණයන්ගෙන් යුත් කමිස හඳින, ඔප දැමූ සපත්තු හා වටිනා අත් ඔරලෝසුවක් පළඳින, අපූරු ආකාරයට හිසකෙස් පීරන අසාර් තමාගේ පමණක් නොව දැනටමත් පන්තියේ බොහෝ සිසුවියන්ගේ අවධානය දිනාගෙන ඇති බව ඇය දැන සිටියාය.

තම ජංගම දුරකතනය නාද වන්නට වූයෙන් කල්පනා ලොවින් මිදුණු ෆියෝනා එය අතට ගත්තාය. දුරකතන තිරය මත සටහන් වූ අසාර්ගේ මුහුණ දුටු ඇගේ සිත තුළ ඇති වූයේ බියකි.

“කොහෙද ළමයො ඔයා ඉන්නෙ?‘‘

අසාර් තමාට බැන වැදෙනු ඇතැයි සිතුවද ඔහුගේ කටහඬ වෙනදාටත් වඩා ආදරණීය විය.

“ගේ ඇතුළෙ. ‘‘

“ගේට් එකයි දොරයි ලොක් කරගෙන ඉන්න. ‘‘

“ලොක් කරලා තමයි තියෙන්නෙ.‘‘

“හොඳටම විශ්වාසද?‘‘

“ඇයි එහෙම අහන්නෙ? ‘‘

අසාර් සැහැල්ලු ලෙසින් සිනාසෙන හඬ ඇසිණ. කිසිවකු රහස් හඬින් කිසිවක් පවසන හඬ ඇසුණ මුත් ඒ හඬ කවරකුගේදැයි හඳුනා ගැනීමට නොහැකි විය.

“ෆියෝනා... අපි දැන් ඉන්නෙ වරකාපොළ. ‘‘

“හොඳයි. ‘‘

අරමුණකින් තොරවම ෆියෝනා පිළිතුරු දුන්නාය.

“හොඳයි කිව්වෙ මම වරකාපොළ ඉන්න එකද? එහෙමත් නැත්නම් මම ගෙදරින් ආව එකද? ‘‘

අසාර් ප්‍රශ්න කළේය. ෆියෝනා නිහඬව සිටියාය.

“මොකද කතා නැත්තෙ? කවුද ෆියෝනා අද ගෙදරට ආවෙ? ‘‘

මේවනවිට අසාර්ගේ ඥාතියා අරවින්ද් නිවසට පැමිණ සිටීම පිළිබඳව අසාර්ට වාර්තා කරන්නට ඇතැයි තමා සිතූ සිතිවිල්ල නිවැරැදි විය. අසාර් වටින් ගොඩින් පැමිණ අසන්නට සැරසෙන පැනය ෆියෝනා හඳුනාගෙන සිටියාය.

“අඳුනන්නෙ නැති කෙනෙක් ඇවිත් හිටිය නිසා එහා පැත්තෙ ගෙදර මාස්ටර් ආවා. ̃

“කවුද මිස්ට නිසලවිලද? ̃

“හ්ම්.‘‘

“ආ...? ඔයාගෙ ෆෝන් එකේ අරවින්ද් කියලා නම තියෙන්නෙ එයාගෙ වෙන්න ඇති.‘‘

තම ඉහමොළ රත්වන්නාක් මෙන් ෆියෝනාට දැනිණ. ෆියෝනා කිසිවක් පවසන්නට තැත් කළද, අසාර්ගේ දුරකතනය ඒ හා සමගම විසන්ධි විය.

ලබන සතියට

Comments