ඉන්දිකගේ 'සඳ දියරගලා' ඒක පුද්ගල ප්‍රසංගය 29දා | සිළුමිණ

ඉන්දිකගේ 'සඳ දියරගලා' ඒක පුද්ගල ප්‍රසංගය 29දා

 

ජනප්‍රිය ගායක ඉන්දික ලියනගේ ඉදිරිපත් කරන 'සඳ දියරගලා' නැවුම් ගී විස්සක සංයුක්ත තැටිය එළි දැක්වීමේ ඒක පුද්ගල ප්‍රසංගය මේ මස 29දින සවස 4.00ට ශ්‍රි ජයවර්ධනපුර මහරෝහල් හෙද විදුහල් ප්‍රධාන ශාලාවේදි පැවැත්වේ. ප්‍රසංගය මෙහෙයවීම ප්‍රවීණ රූපවාහිනි නිවේදක මහේෂ් නිශ්ශංක මෙහෙයවන අතර සුවිශේෂි ගීත විචාරය ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ ආනන්ද පෙරේරා පවත්වයි. සංගීතය වජිර ඩී රත්නායක ප්‍රමුඛ වාද්‍ය වෘන්දය ඉදිරිපත්කරයි. ගායක ඉන්දික ලියනගේ ගායන ක්ෂේත්‍රයට පිවිස වසර පහළොවක් පමණ ගතවෙන අතර මේ වන විට ගීත පණහක් පමණ ගායනාකර ඇත.පැරැණි ගීත ගායනයට බෙහෙවින් ප්‍රිය කරන ඔහු ප්‍රසංගයේදි නව ගීත මෙන්ම පැරණි ගීත ගායනා කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.


මිනිස්සු වගේද සත්තු -2

ජනගත කිරීම 29 වැනිදා

රසඳුන පුවත්පතේ සිනාකතා විශේෂාංගය රචනා කරන එඩ්වඩ් චන්ද්‍රසිරි ලියූ නවතම ග්‍රන්ථය ‘මිනිස්සු වගේද සත්තු -2‘ ලබන 29 වැනි බ්‍රහස්පතින්දා සවස 4. 00 ට කොටිකාවත්ත, සණස ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ. සතුන්ගේ කැපීපෙනෙන චර්යා රටා, ක්‍රියාකාරකම්, ඔවුන් හා බැඳුණු ආප්තෝපදේශ, උපමා කතා හා ප්‍රස්ථාව පිරුළු ඉස්මතු කර දක්වමින් ඒවා වත්මන් සමාජය, එහි වෙසෙන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සමඟ සන්සන්දනය කර දක්වමින් රචිත මෙම ග්‍රන්ථය කතුවරයා 2016 වසරේ නිකුත් කරන ලද ‘මිනිස්සු වගේද සත්තු ‘ කෘතියේ දෙවැන්නයි. එදින හරවත් දෙසුමකින් සහ රසාලිප්ත ජවනිකා ද්විත්වයකින් හෝරා දෙකක් ගත කරන්නට සාහිත්‍යකාමී රසිකයින්ට කතුවරයා ආරාධනා කරයි.


දෙරණ මතක තුළින් මෙවර චරිතා

ඔබේ මතකය අවදි කරන මියුරු ගී රැසකින් සමන්විත 'දෙරණ ගී මතක 'සංගීතමය වැඩසටහන ලබන 29 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 8.00- 9.30 දක්වා ටීවී දෙරණ තුළින් විකාශය වේ. මෙවර විශාරද චරිතා පි‍්‍රයදර්ශනීගේ ගායනයෙන් ඔපවත් වන මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදත් සෝමසුන්දරගෙනි. කථනය - ලංකා පෙරේරාගෙනි. රජිත ක්‍රිෂාන්ත සහ සූධීර පීරිස්ගේ නිෂ්පාදනයකි.


මාරිම්බරී 100 ප්‍රසංගය ඉරිදා 1.00ට දෙරණ නාළිකාවේ

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ 'මාරිම්බරී' 100 වැනි සංගීත ප්‍රසංගය 25 වැනි ඉරිදා(අද ) සවස 1.00ට දෙරණ නාළිකාවේ විකාශය වේ. එම ප්‍රසංගයේ විශාරද එඩ්වඩ් සහ විශාරද චරිතා, පුතු චන්දුප සහ දියණිය ශාරණ්‍යා ගීත ගායනයෙන් එක්විණි.

Comments