
“අඩුවෙන් භාවිත කිරීම යනු බලාපොරොත්තුවෙන් සිටීමයි. බලාපොරොත්තුවෙන් සිටීම යනු සූදානමෙන් සිටීමයි, ශක්තිමත් වීමයි. සූදානමෙන් සිටීම සහ ශක්තිමත් වීම යනු හැමවිටම ජයග්‍රාහී වීමයි” - තාඕ තේ චිං
අවට පරිසරය හා සමාදානයෙන් වෘත්තීමය ජීවිතයක් ගත කරන වස විස නැති වී ගොවීන්ගේ “ජාතික ගොවි සමුළුව” කන්තලේදී පසුගිය දා පැවැත්විණ. මුස්ලිම්, දමිළ සහ සිංහල ගොවි ජනතාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වස විස නැති ගොවිතැනට දැක්වූ ඇල්ම, රටට ගෙනාවේ දුප්පත්කම දුරුලීමේ අධිෂ්ඨානය දරා ගත් ජාතික සමඟියේ පණිවිඩයයි. ඉර, හඳ, ගහකොළ සොබාදහම හා බැඳුණු වස විස නැති වෘත්තීය ගොවීන් ජාතියක කුසගින්න නිවාලන රජුන් බවය. එමෙන්ම තිරසර යුගයක නියමුවන් ඔවුන් බව ඉතා ආඩම්බරයෙන් ගොවි සමුළුවේදී ඔවුන් ලෝකයට හඩනඟා කියාපෑවෝය.
අද ලෝකයේ ආහාර නිෂ්පාදනය ප්‍රමාණාත්මකව ඉතා ඉහළ බව වාර්තා වේ. නමුත් ඒ විවිධත්වයෙන් සහ වර්ණයෙන් රසයෙන් පිරි “ආහාර” මිනිස් සංහතිය පෝෂණය කරනවා වෙනුවට රෝගී කරමින් සිටී.
ඊට සමගාමීව සොබාදහම, ජෛව ලෝකය ක්‍රමාණුකූලව රෝගී කරයි. මෙවැනි භයානක අන්තයකට ගමන් කරන ලෝකය සුවපත් කිරීමේ අටියෙන් “පස” සුවපත් කිරීම මුල් පියවර බව වටහාගත්තෝ මහපොළවට වස විස දැමීමෙන් වැළකී සිටීමට කටයුතු ආරම්භ කළහ. නව ආකාරයේ ගොවිතැන ක්‍රමයක් හඳුන්වා දීමෙන් තිරසර යුගයක් වෙනුවෙන් පැතූ පැතුමන් ඉටු කරගැනීමට ක්‍රියාකාරී අඩිතාලම ඉන් වැටුණි.
දහ දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිතවලට නීරෝගීභාවය නැවත ලබාදීමත්, පරිසර විද්‍යාවේ මූලික වටහාගැනීම් සමඟ මානවයාගේ සංස්කෘතිකමය වටිනාකම් ගැළැප්පවීම සඳහාත් අද ගොවීන්, වස විස නැති ගොවිතැනට සිතින් හා ක්‍රියාවෙන් බැඳෙමින් තිබේ.
මුළු ලෝකයම රසායනික කාල බෝම්බයේ ගොදුරු බවට පත්ව තිබෙන අවධියක ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි කලින් අවදි වී තිබේ.
රසායනික ගොවිතැනේ දී නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංවන බවට ලබා දෙන සහතිකයට ගොදුරු වූ ගොවීන් දුප්පත්කමේ අන්තයට අද තල්ලු වී නොතිබෙන්නේද? එහෙයින් වස විස නැති ගොවිතැන වනාහී මිලියන ගණනාවක ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනාවන් පමණක් නොව, නව පෙරමුණක් ලෙසබිහිවීම තුළ මිලියන ගණනක ජනතාවගේ අපේක්‍ෂා දමල් පල ගැන්වීමක් ද වේ.
නැවත මානවයාත්, භූමියත්, ස්වභාව ධර්මයාත් එක් කරන කෘෂි සංස්කෘතියක් බිහිවීමටසැබෑ අඩිතාලම ඉන් වැටෙනු ඇත.
මිනිසා සොබාදහමේම කොටසකි. ඔවුන්ගේ ජීවිතාශාව වැඩුණේ සොබාදහමේ නියමයන් පරාජය කරමින් නොවේ. අස්වැන්න ප්‍රමාණාත්මකව නොව ගුණාත්මකව මනින්නට පුරුදු පුහුණු වූ උරුමයක් තිබෙන අපේ ගොවි දරුවන්ට “ඉහළ අස්වැන්නක්” යන පාඨය ආගන්තුක විය.
නමුත් වෙළඳපල බලවත් වූ ආර්ථික මාදිලිය ගොවිජීවිත වලටත් මුළුමහත් මානව සංහතියටත්, සොබාදහමටත් ඉතාමත් භයානක ආරංචියක් ගෙනාවේය. ඒ ජෛව ලෝකය කුඩුපට්ටම් කරන්නට ඔවුනට ගතවන්නේ ක්ෂණයක් බව, රසායනික කෘෂි විස පැතිරවීමෙන් ඔප්පු කරවීමෙනි.
ඒත් කලින් අවදිව සිටින අපට අපේ ගොවි පුතුනට රසායනික කාල බෝම්බයේ මාරාන්තක ඔත්තුව කලින්ම ලැබුණි. රසායනික පොහොර එපා, යන්නත් මාරාන්තික විස අඩංගු වල්නාශක එපා යන්නත් කියමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවීන් තුන් දහසකගේ මැදිහත් වීමෙන් පැවැත්වූ වස විස නැති ගොවි සමුළුවේදී ඔවුන් රටට දුන් පණිවිඩය වනාහී තිරසර යුගයක් සඳහා සංක්‍රාන්තියේ සිටින අද්විතීය මිනිසුන් ඔවුන් බවය.
පවිත්‍රා රූපසිංහ