රුං රුං බඹර නදේ | සිළුමිණ

රුං රුං බඹර නදේ

" අම්මාපල්ලා බඹරුන් අත වරද නැතී

කැලේ තියෙන මල් බීලා උන් රැකතී

අනුන් කරන ගොවිපොළකට පාලු නැතී

බඹර කපන අය නරකාදියේ යතී"

බඹර කැපීම, ඈත අතිතයේ සිටම ලාංකික ගැමි සමාජයේ සුලබ මෙන්ම ඉතා අවදානම් කටයුත්තක් ලෙසයි සැලකුවේ. ඉහත කවියෙන්, බඹර කැපීමේ ආදීනව මෙන්ම, බඹරුන්ගෙන් පරිසරයට ඇති ප්‍රයෝජන ගැනද හොඳින් කියවේ. ඇත්තෙන්ම, භෝග පරාගණයට මෙන්ම, පැණි නිෂ්පාදනය සහ ඉටි නිෂ්පාදනය සඳහා බඹරු ඉතා වැදගත්. එහෙත්, වන විනාශය ඇතුළු අනෙකුත් අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ක්‍රමයෙන් අප පරිසරයෙන් බඹරුන් නෂ්ට වෙමින් පවී

Apis dorsata යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බඹරු, ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි වන්නේ, දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් වල. ඒ කියන්නේ, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය වැනි රටවල් හා මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල් වල බඹරුන් අපිට දැකිය හැකිය. එසේම, යුරෝපීය හා අප්‍රිකානු රටවල්වල, බඹරු දකින්න ලැබෙන්නේ නෑ.

එහෙත්, ශ්‍රීලාංකීය පරිසර පද්ධතිය තුළ බඹරු කියන්නේ අපට ඉතා සමීප හා ඉතා සුලබ බිගු විශේෂයක්. එමනිසා මොවුන් සමාජයීය බිගු විශේෂයක් (Social bees) ලෙස හඳුන්වන්නත් පුළුවන්.

පරිසරයේ දක්නට ලැබෙන බිඟු විශේෂ අතුරින් ශරීර ප්‍රමාණයෙන් විශාලම මෙන්ම සාපේක්ෂව විශාලතම ජනපදයක් සෑදීම කරන්නෙත් මේ බිඟු විශේෂය මගින්. බඹරකුගේ ශරීර ප්‍රමණය සාමාන්‍යයෙන් 17 මිමී සිට 20 මිමී දක්වා වන අතර උදරය කහ, තැඹිලි පැහැයකින් යුක්තයි.

එසේම, මීමැස්සන්ගේ මෙන්ම උදරයේ කළු පැහැති පටි පිහිටීමක් දකින්නත් පුළුවන්. කෙසේ නමුත්, බඹරකුගේ ශරීර ප්‍රමාණය, මීමැස්සකුගේ ශරීර ප්‍රමාණයෙන් පැහැදිලි ලෙසම වෙනස්වනවා මෙන්ම මොවුන්ගේ කැදලි ස්වාභාවයද අනෙකුත් බිඟු විශේෂ වලින් පැහැදිලි ලෙසම වෙනස්වේ. බඹරු, තම කැදැල්ල සෑදීම සිදුකරනුයේ විවෘත, එළිමහන්, පොළොව මට්ටමේ සිට ඉතා ඉහළින්. එය බොහෝවිට, රූස්ස ගස් අතු මත, උස ගොඩනැඟිලි මත හෝ උස පාලම් යට වන්නට පුළුවනි.

බඹරුන් විසින් සාදන මේ කැදැල්ල, තනි වදයකින් යුක්තවන අතර, මේ වදය බඹරුන් විසින්ම ස්ථර කිහිපයක් වන ලෙස ආවරණය කරනවා. එය සාමාන්‍යයෙන් කේතු ආකාර හැඩයක් ගන්නා අතර, එහි පළල මීටර එකක් දක්වා පමණ වෙනස් විය හැකිය. එසේම, මීමැස්සන් වාගෙම මොවුන් විසිනුත් තම වදයේ පැණි ගබඩාකිරීම සිදුකරන අතර, මෙහිදීද මීමැස්සන්ගෙන් මොවුන් වෙනස් වන විශේෂ කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්.

මීමැස්සන් විසින් පැණි ගබඩා කිරීමේදී, එක් එක් වදයේ ඉහළ සම්පූර්ණ තීරුවම ඒ සඳහා භාවිතා කරන අතර, බඹරු ඒ සඳහා භාවිතා කරනුයේ, තම වදයේ ඉහළම දකුණු හෝ වම් කෙළවරයි.

වදයේ අනික් සියලුම කොටස ඔවුන් විසින් තම පැටවුන් රැක්කවීම සඳහා යොදාගන්නවා. එබැවින්, බඹර කැපීමේදී, බඹර කපන්නන් විසින් මේ පිළිබඳවත් අවධානය යොමුකළයුතු අතර එමගින් නිරපරාදේ සම්පූර්ණ බඹර වදයම විනාශවීම වළක්වාගන්න පුළුවන්. මොවුන්ගේ කැඳලි තැනීමේ අනික් ඉතා වැදගත්, නිරීක්ෂණය කල හැකි තවත් එක් චර්‍යාවක් වන්නේ, එක ළඟ බඹර ජනපද කිහිපයක් සෑදීමයි. මෙය, අනික් බිඟු විශේෂ වල දක්නට නොලැබෙන, බඹරුන් සඳහා පමණක් ආවේණික ලක්ෂණයක්. ඇතැම්විට, එකිනෙකට ඉතා ආසන්නව සාදාඇති බඹර වද සිය ගණනක් වුවත් අපට දැකගැනීමට හැකිය. එසේම, පැණි වාරයත් සමඟ ඒ ඒ ප්‍රදේශ වලට එන බඹරු, පැණි වාරය ඉවර වෙනවාත් එක්කම ඒ ප්‍රදේශ අත්හැර යනවා. ඒ කියන්නේ, පැනි සදහා ඇති තරගයෙන්, පරිසරයෙන් මුලින්ම ඉවත් වන්නෙත් බඹරු. ඒවාගෙම, ඊළඟ වාරයේදී නැවත කලින් හිටිය ස්ථානයටම පැමිණීමත් බඹරුන් සඳහා පමණක් ආවේණික තවත් එක් ලක්ෂණයක්.

වෘත්තීය බඹර ඉවත්කරන්නන්, බඹරයක් ඉවත් කිරීමෙන් පසුව, බඹරු නැවත පැමිණීම වැළැක්වීමට ඇතැම් රසායනික ද්‍රව්‍ය භාවිතා කළද, ඔවුන්ගේ එම චර්යාව වැළෑක්වීමට ඇතැම්විට අපොහොසත්.

බඹර ජනපදයක්, බඹරුන් 100,000 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විතයි. මීමැසි ජනපදයක මෙන්ම, එහිද රැජනක්, වැඩකාර ගැහැනු මැස්සන් හා පිරිමි මැස්සන් දකින්න පුළුවනි.

නමුත්, මෙහිදී පිරිමි මැස්සන්ගේ හා ගැහැණු මැස්සන්ගේ පිලා කෝෂ වෙන් වෙන්ව පිහිටීමක් දක්නට ලැබෙන්නේ නෑ. එනම්, එය මිශ්‍ර ලෙස වදය පුරා විහිදී තිබෙනවා.

කෙසේ නමුත්, එක් ජනපදයක ගැහැනු කෝෂ වැඩි ප්‍රමාණයක් දැකිය හැකි අතර, පිරිමි කෝෂ පිහිටා තිබෙන්නේ සුළු ප්‍රමාණයක් පමණයි.

සාමාන්‍යයෙන් නොවැම්බර්, ඔක්තෝබර් කාලසීමාව තුළදී මේ බඹර ජනපදවල රංචු බෙදීයාම දක්නට ලැබෙන අතර, එහිදී ජනපදයේ සිටින පරණ රැජන, ජනපදයේ මැස්සන් කොටසකුත් සමඟ, ජනපදයෙන් ඉවත්වී, වෙනත් වාසස්ථානයක් කරා යාම සිදුවනවා. ජනපදයේ ඉතිරිවන බඹරුන් විසින් නව රැජිනක් සාදාගන්නා අතර, බඹරුන්ගේ මේ ප්‍රජනක ක්‍රියාවලිය බොහෝදුරට මීමැස්සන්ගේ ප්‍රජනක ක්‍රියාවලියට සමානයි.

මෙසේ බෙදීයන ඇතැම් කුඩා රංචු, පොළොවට ඉතා ආසන්න පඳුරු හෝ අතු වල තාවකාලික කැදලි සෑදීමද සිදුකරනවා.

තේ වතුවල සුලබ, වතු කම්කරුවන් වෙත නිරන්තරයෙන් එල්ලවන බඹර ප්‍රහාර බොහෝවිට සිදුවන්නේ මෙම රංචු මඟිනි. බඹරුන් තම විලෝපිකයන්ට එරෙහිව දැඩි ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් දක්වනවා. මීමැස්සන් හෝ අනිකුත් බිඟු විශේෂ මෙන් නොව, බඹරු රාශී ආක්‍රමණයක් මඟින් සතුරන්ව පන්නා දැමීමද සිදුකරති. මීමැස්සන්, ඇතැම්විට මේ රාශි ආක්‍රමණයට යොමුවුවත්, ඔවුන් පන්න පන්නා පහරදීමක් සිදුකරන්නේ නෑ. දෙබරුන්, උකුස්සන් හා බඹර පැණි දඩයම්කරුවන් බඹරුන්ගේ ප්‍රධානතම සතුරන් වේ.

 

 ඉදිරි සතියට

 

ඉසුරු ලක්මාල් හේරත්
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

Comments