
ක්ෂේත්‍ර තවානකට සුදුසු බිම් කඩක් තෝරා ගැනීම ඇතුළු තවාන් පාලනයේ මූලික කරුණු ගිය සතියේ ලිපියෙන් අපි සාකච්ඡා කළෙමු. අද එතැන් සිට ඉදිරියට ….
• තවාන් බිම සැකසීම
තවාන සඳහා සුදුසු බිම් කඩක් තෝරා ගත් පසු තවාන් සැකසීම ආරම්භ කෙරේ. පළමුවෙන් කළ යුත්තේ බිම් කඩෙහි වල් පැළ ගලවා ඉවත් කර භූමිය පිරිසිදු කිරීමයි. පසුව සෙන්ටිමීටර තිහක් පමණ ගැඹුරට පස පෙරළා පස් කැට පොඩි කරමින් වගා කිරීමට ගැළපෙන පරිදි සියුම් පසක් නිර්මාණය කෙරේ.
• සුදුසු තවාන් පාත්ති වර්ගය තෝරා ගැනීම
මෙහිදී වගාව සඳහා සුදුසු පාත්ති වර්ගය තීරණය කරනුයේ පාත්ති පිහිටි ප්‍රදේශයට ගැළපෙන පරිදිය. පාත්ති සැකසීමේදී ගිල්වුනු පාත්ති හෝ උස් වූ පාත්ති සැකසීම සිදු කළ හැකිය.
• උස් තවාන් පාත්ති
වර්ෂාව අධික හා ජල වහනය දුර්වල වූ ප්‍රදේශයන් සඳහා උස් තවාන් පාත්ති නිර්දේශ කෙරේ.මන්ද මෙවැනි ප්‍රදේශන්හී වගාවට ඇති ප්‍රධාන ගැටලුවක් නම් ජල සීරාව පසේ රැඳීමයි.මෙලෙස උස් වූ පාත්ති සාදා ඒ වටා කාණු කැපීමෙන් ජලය රැඳීම වළක්වා ගත හැකිය. පාත්තියේ උස තීරණය කළ යුත්තේ ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය,ජල සම්පාදනය කිරිමට ඇති හැකියාව මෙන්ම පසේ ජලවහන හැකියාව යන කාරණා සැලකිල්ලට ගනිමිනි.පළල සෙන්ටිමීටර අනුවක්ද උස සෙන්ටිමීටර පහළොවක්ද වන සේ තවාන් පාත්ති සැකසනු ලබයි.පාත්තියේ දිග තම අභිමතය පරිදි අවශ්‍ය ප්‍රමාණයට සකසා ගත හැකිය.මෙලෙස නිර්මාණය කළ පාත්ති වටා සෙන්ටිමීටර් තිහක පමණ පළලැති කාණු කපනු ලැබේ.අවසානයේදී පාත්තියේ බැමි වල පැති තද කළ යුතුය.
• ගිල්වුණු තවාන් පාත්ති
ගිල්වුනු පාත්ති යෝග්‍ය වනුයේ ජලය හිඟ වියළි දේශගුණයක් පවතින ප්‍රදේශ සඳහාය. එමෙන්ම වැලි සහිත පසටද යෝග්‍ය වනුයේ මෙම පාත්ති විශේෂයයි.මෙමඟින් ජලය අපතේ යාම වලක්වා අඩු ජල ප්‍රමාණයකින් මනා කාර්යක්ෂමතාවයකින් යුතුව බෝග සඳහා ජල සම්පාදනය කල හැකිය.එබැවින් ජලය හිඟ වියළි ප්‍රදේශයන් සඳහා මෙම ක්‍රමයට පාත්ති සැකසීම අත්‍යවශ්‍ය වේ.පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර පහළොවක් ගැඹුරට සිටින සේ පාත්තිය සකසනු ලැබේ.පෙර සේම සෙන්ටිමීටර අනූවක් පළල හා අභිමත දිගක් පාත්ති සෑදීම සඳහා යොදා ගනු ලැබේ.සෙන්ටිමීටර දහයක් ගැඹුරට ඇති මැද පස් ඉවත් කර පාත්තිය වටා එයින් වැටියක් නිර්මාණය කෙරේ.මෙම වැටියක පළල සෙන්ටිමීටර හතලිස් පහක් පමණ වීම සුදුසුය.
• තවාන් පාත්ති මිශ්‍රණය.
මෙම තවාන් පාත්ති මිශ්‍රණය බෝගවල යහපත් වර්ධනයට බලපාන ප්‍රධාන සාධකයකි.සිටුවන බෝගය හා තමාට ඇති සම්පත් අනුව සුදුසුම තවාන් මිශ්‍රණය සාදා ගත හැකිය. හලාගත් මතුපිට පස් කොටස් එකකට කොම්පෝස්ට් හා වියළි කුඩු කරගත් ගොම කොටස් එක බැඟින් එකතු කර හොඳින් මිශ්‍ර කිරීමෙන් අනතුරුව එය පාත්ති මිශ්‍රණය ලෙස පොදුවේ සියලු බෝග සඳහා භාවිත කළ හැකිය.
• තවාන් ජීවාණුහරණය කිරීම
තවාන් පාත්ති වල වගා මිශ්‍රණය බෝග වල මනා වර්ධනයක් සඳහා වැදගත් වේ.පස වගාව සඳහා ප්‍රධාන වගා මාධ්‍ය ලෙස යොදා ගනියි.එහෙත් පසෙහි මිලියන ගණනක් විශාල ක්ෂූද්‍ර ජීවීහු වාසය කරති.මේ අතරින් බොහෝමයක් දෙනා වගාව සඳහා හිතකරය.එහෙත් ඒ අතරින් සමහරක් වගාව සඳහා අහිතකර පාංශු ව්‍යාධිජනක ජීවීන්‍ය .එම ජීවීන් මගින් පසුකාලීනව වගාව සඳහා රෝග වැළඳිය හැකිය .එහෙත් තවාන් ජීවාණුහරනය කිරීම මඟින් එම රෝග ඇතිවීම වළක්වා ගත හැකිය.
තවාන් ජීවාණුහරණය කළ හැකි ආකාර කිහිපයකි.තවාන් පිළිස්සීම ,පොලිතින් වසුනක් යොදා පස රත් කිරීම මෙන්ම දිලීර නාශක යෙදීම ඒ අතර ප්‍රධාන වේ.
• තවාන් පිලිස්සීම මඟින් ජීවාණුහරණය
තවාන් පිලිස්සීම මඟින් ජීවාණුහරනය කිරීමේදී සකසා ගත් තවාන් පාත්ති ජලය යොදා තෙත් කර ගනියි.පසුව මාරුවෙන් මාරුවට සෙන්ටිමීටර පහක් පමණ ඝනකම ඇති පිදුරු හා දහයියා තට්ටු කිහිපයක් තවාන මතුපිට අතුරනු ලබයි.දහයියා තට්ටුවක් මතුපිටම ස්තරය ලෙස යෙදීමෙන් දැවීමේ වේගය පාලනය කළ හැකිය. ඉන්පසු මෙම තට්ටුවලට ගිනි තැඹිය යුතු අතර එය කළ යුත්තේ සුළං හමන දිශාවට ප්‍රතිවිරුද්ධවය.ගිනිගත් පසු ඉතුරු වන අළු පාත්තියේ මතුපිට ඇති පස් සමඟ හොඳින් මිශ්‍ර කිරීම කල යුතු වේ.මෙම ක්‍රමයෙන් පාත්ති මතුපිට වන ව්‍යධිජනක ක්ෂූද්‍ර ජීවින් මෙන්ම වල් පැළෑටි බීජද විනාශ වී යයි.එහෙත් මෙම ක්‍රමයේ යම් යම් අවාසිද දැකිය හැකිය.මෙය කළ හැක්කේ ජීවාණුහරනය කළ හැක්කේ වියළි කාළගුණයක් යටතේදී පමණි.මෙහිදී පසේ නයිට්‍රජන් ඇමෝනියා වායුව බවට පසෙන් ඉවත් වීමද සිදු විය හැකිය.එහෙයින්ම එම වායුව පසෙන් ඉවත් වන තෙක් ජීවාණුහරනය කිරීමෙන් පසු දින තුනක් පමණ තැබීමෙන් පසු බීජ රෝපණය කිරීම සිදු කරයි.
• සූර්යතාපය යොදා ජීවාණුහරණය කිරීම
මෙහිදී සූර්ය ශක්තිය භාවිතයෙන් තවාන් මිශ්‍රණයේ සිටින ව්‍යාධිජනක ක්ෂූද්‍ර ජීවින් විනාශ කිරීම සිදු වේ.පළමුව සකසා ගත් පාත්තිය ජලයෙන් තෙමා ගැනේ.ඉන්පසු විනිවිද පෙනෙන ඝන පොලිතින් වලින් පාත්තිය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.මේ සඳහා යොදා ගන්නා පොලිතින් ඇතිරිල්ලේ කුඩා හෝ සිදුරක් රහිත වීම ඉතාමත් වැදගත් ය.එහෙත් පොලිතීන් ඇතිරිල්ල හා පස අතර සෙන්ටිමීටර දෙක තුනක පරතරයක් තබා ගැනීම අවශ්‍ය වේ.මෙලෙස පරතරය තබා ගැනීම සඳහා පොලිතීන් ඇතිරිල්ල හා පස් අතර ලී හෝ පස් කුට්ටි රැඳවිය හැකිය. පොලිතින් ඇතිරිල්ලේ වාටිය පසට යට කිරීමද සිදු කෙරේ. තවාන් පස ජීවාණුහරනය වනුයේ පොලිතීන් ආවරණයෙන් පහළ ඇති වාත ස්ථරය රත් වීමෙනි. මෙලෙස තවාන සති දෙකක් පමණ තැබිය යුතුය.
• දිලීර නාශක යොදා ජීවාණුහරණය
දිලීර නාශක යොදා ද තවාන් පස ජීවාණුහරනය කල හැකිය.එහෙත් මෙම ක්‍රමයේදී පෙර ක්‍රමවලදී මෙන් බීජ සිටුවීමට සති කිහිපයකට පෙර නොව බීජ සිටුවීමට සූදානම් වන අවස්ථාවේදී ජීවාණුහරණය සිදු කරයි.කෙසේ නමුත් බීජ සිටුවන අවස්ථාවේදී පස වියළිව තිබිය යුතුය.මේ සඳහා නිර්දේශිත දිලීර නාශකයකින් නියමිත පරිමාව ගෙන ජලය හා මිශ්‍ර කිරීමෙන් අනතුරුව ජීවාණුහරනය සඳහා යොදා ගැනේ.උදාහරණයක් ලෙස කැප්ටාන් 80% WP යොදා ගන්නේ නම් එයින් ග්‍රෑම් හතරක් ජලය ලීටර පහක දිය කොට පාත්තියට යොදනු ලැබේ.
• බඳුන් තවාන්
ගෙවත්තේ පරිභෝජනයට මෙන්ම අතිරික්තය වෙෙළඳපොළට යැවීමේද අරමුණ ඇතිව තරමක් විශාල ප්‍රමාණයෙන් ගෙවතු වගාව කරන්නේ නම් ඉහත සඳහන් කළ පරිදි කේෂ්ත්‍ර තවාන් සකසා ගත හැකිය .එහෙත් වර්තමානයේ නාගරික ප්‍රදේශයන්හී ගෙවතු වල ඇත්තේ ඉතා සීමිත ඉඩකඩ ප්‍රමාණයකි.එහෙයින්ම නිවසේ පරිභෝජනයට පමණක් එළවළු බෝග සුළු වශයෙන් හෝ වැවීම උගහටය.එයට පිළියමක් ලෙස අඩු ඉඩකඩක අඩු පැළ සංඛ්‍යාවක් සාර්ථකව තවාන් කළ හැකි තවානක් ලෙස බඳුන් තවාන හැඳින්විය හැකිය.
මෙහිදී නිවසෙන් ඉවතලන අයිස්ක්‍රීම් බඳුන් වැනි පහසුවෙන් සොයා ගත හැකි බඳුන් යොදා ගත හැකිය.පළමුවෙන්ම බඳුනේ පතුල මත ජල වහනය වීම සඳහා සිදුරු සාදා ගැනේ.පසුව එහි පත්ලටම බඳුනේ පරිමාවෙන් පහෙන් එකක් පමණ වන තෙක් කුඩා ගඩොල් කැට දමනු ලැබේ.ඉන්පසු එය මතට ඒ හා සමාන පරිමාවකින් යුත් කොළ රොඩු එක් කරයි.අවසානයේ තවාන් බඳුනේ මුදුනින් සෙන්ටිමීටර තුනක් පමණ ඉතුරු වනසේ ඉතිරි අවකාශය පුරාවටම තවාන් මිශ්‍රණය දමනු ලැබේ.මෙහිදී බඳුනේ පත්ලේ වූ ජල වහන් සිදුරු අවහිර නොවන සේ පිරවුම්කාරක එක් කිරීම ඉතා වැදගත් ය.
මෙලෙස තවාන් සකසා ගත් පසු ඊළඟ පියවර බීජ රෝපණය කිරීමයි.
උමයංගනා