
ගෙවතු වගාවක් ඵලදායි සහ ලාභදායි වෙන්නේ අඩු වියදමකින් වැඩි ඵලදාවක් ලබා ගතහොත් පමණයි. මේ සඳහා අඩු වියදම් ඉතාමත් සරල තාක්ෂණය ගෙවතු වගාවේදී භාවිතා කළ හැකියි. පවතින ඉඩකඩෙන් මනාව ප්‍රයෝජනයට ගන්නටත්, අඩු වියදමකින් වැඩි ඵලදාවක් ගන්නටත්, වස විසෙන් තොර ආහාර නිපදවා ගන්නටත් එවැනි තාක්ෂණික ක්‍රම අපට උපකාර වේ. කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් බැල්ලන්තුඩාව ගමේ සුජීවා මල්කාන්ති මහත්මිය එවැනි සරල හා ඵලදායි තාක්ෂණික ක්‍රමවලින් යුක්ත සාර්ථක ගෙවත්තක හිමිකාරියක්. ඇගේ ගෙවත්තේ සාර්ථකත්වයට හේතු වී ඇති සරල තාක්ෂණික ක්‍රම කිහිපයක් වෙත අපේ අවධානය යොමු කරමු.
• ඉල්මැසි උගුල
මල්කාන්ති මහත්මිය තම ගෙවත්තේ වගාකර ඇති වැටකොළු සහ වට්ටක්කා වගාවන් වල ඉල්මැසි උවදුර පාලනය කරන්නේ ඉල්මැසි උගුල යොදාගෙන.එය ඇයට ලැබී ඇත්තේ ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා. ඉල්මැස්සාගෙන් හානියට ලක්විය හැකි බෝග අතර කරවිල, පතෝල, පිපිඤ්ඤා, වැටකොළු, ගර්කින් සහ වට්ටක්කා ප්‍රධාන තැනක් ගන්නවා. එම බෝගවල මල් අවස්ථාවේ සිට ඵල අවස්ථාව දක්වාම සුහුඹුල් ගැහැණු මැස්සා විසින් ගෙඩි/කරල් විද බිත්තර දමනවා. එමඟින් කුඩා කරල් විකෘති වීමත් හැලීයාමත් සිදුවන අතර බිත්තර දැමූ ස්ථානවලින් යුෂ වැස්සීම සිදුවේ. මෙම උගුල මඟින් පිරිමි ඉල්මැස්සන්ගේ ගහනය අඩුවන අතර ඉල්මැස්සන් බෝවීම පාලනය වෙනවා. එය දිගුකාලීන වඩාත් ඵලදායි ක්‍රමයක් වන්නේ පළිබෝධනාශක භාවිතයෙන් තොරව අස්වනු ආරක්ෂා කරගත හැකි බැවිනි. මෙය වඩාත් සාර්ථක පළිබෝධ පාලන ක්‍රමයක් බව මල්කාන්ති මහත්මියද සඳහන් කළා.
• උණ බටයේ වගාව
මෙම ගෙවත්තේ දැකිය හැකි වූ තවත් සරල තාක්ෂණික ක්රකමයක් වූයේ උණ බටය භාවිතා කර කංකුං වගාවක් ඉතාමක් සාර්ථකව සිදු කරගෙන යාමයි. මේ සඳහා වගා මාධ්‍යය සාදා ගෙන ඇත්තේ වියළි ගොම, කොම්පෝස්ට් පොහොර, එළු පොහොර සහ කොළරොඩු පුළුස්සා ඉතිරි වන අළු සමඟ ඇති පස් කලවම් කර ගැනීමෙන්. රසායනික පොහොර භාවිතයෙන් ඈත්වී කාබනික පොහොර යොදා ගෙන වස විසෙන් තොර ගුණත්වය අතින් උසස් සෞඛ්‍ය සම්පන්න ඵලදාවක් ලබා ගැනීම උණ බටයේ වගාව කරන මල්කාන්ති මහත්මියගේ බලාපොරොත්තුවයි. තමන්ට ජලය දැමීමට හාවල් පැල ගැලවීමට හැකි අතේ උස මට්ටම අනුව ඇය උණ බටයේ උස තීරණය කර තිබුණා. උණ බටයේ තැනින් තැන රටාවකට කවුළු සාදා උණ බටය සම්පූර්ණයෙන්ම වගා මාධ්‍යයෙන් පුරවා තිබුණි. එම කවුළු වල බීජ ස්ථාපනය කර හොඳ වගාවක් ලබාගන්නට ඇය සමත්වී තිබුණා. මෙවැනි ක්‍රමයක් භාවිතා කර අඩු ඉඩකින් වගේම අඩු වියදමකින් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බව ඇයගේ අත්දැකීමයි.
මෙවැනි සරල ක්‍රමයක් කුඩා ඉඩක් ඇති ගෙවත්තකට හොඳින් ගැළපේ. උණ බටයේ වගා කිරීම ඇය අත්හදා බලා තිබෙන්නේ කුඩා කල සිට ඇය ලත් වගාව පිළිබඳ අත්දැකීම් වලින් බවද ඇය සඳහන් කළා. කංකුං, මුකුණුවැන්න, ගොටුකොළ වැනි පළා වර්ග මේ ක්‍රමය භාවිතයෙන් ඉතාමත් සාර්ථකව වගා කළ හැකි බව ඇය සඳහන් කළාය.
• වගා කුළුණු
මල්කාන්ති මහත්මිය ඇගේ ගෙවත්තේ ඉඩකඩ කළමනාකරණය කිරීමට මෙන්ම සශ්‍රීක බව හා අලංකාරයද වැඩි කර ගැනීමට යොදා ගෙන ඇති තවත් එක් සරල තාක්ෂණික ක්‍රමයක් තමයි වගා කුලුන. වැරණිය මිරිස්, කැවුම් කොච්චි යන බෝග ඇය වගා කුලුණු වල වගා කර තිබුණා. පෝර බෑග් එකක් මැදට තැනින් තැන කුඩා සිදුරු විදින ලද උණ බටයක් ඇතුළු කර ඉතිරි ඉඩ වගා මාධ්‍ය යෙන් පුරවා තිබිණි. මේ වගා මාධ්‍ය වියළි ගොම, එළු පොහොර, කොම්පෝස්ට් සහ කොළරොඩු දහනය කළ පසු ඉතිරි වන අළු සමඟ පස් කළවම් කරගෙන සාදා ගන්නා ලද්දකි. පොහොර උරයේ තැනින් තැන ඇතුලු කළ උණ බට කැබලි වල පැළ සිටුවා තිබුණා. දින දෙකකට වරක් ජලය උණ බටයට පිරවීම ප්‍රමාණවත් බව ඇගේ අත්දැකීමයි. උණ බටය හරහා පුරවන ලද ජලය වගා මාධ්‍යයට සෙමින් කාන්දු වී මාධ්‍යය යේ ඇති පෝෂක ද්‍රව්‍ය. පැළයට ලබා ගැනීමට උපකාරී වේ. ඉතා කුඩා ඉඩක් ඇති ගෙවත්තකට වගා කුළුණු යොදා ගැනීමෙන් මුළුතැන්ගෙට අවශ්‍ය එළවළු අමුමිරිස් ටික වගා කරගන්නට හැකි වේ.
• ගස් බෙනයේ මීමැසි පෙට්ටිය
මී මැසි පාලනය අමතර ආදායම් ලැබිය හැකි මාර්ගයක්. මී මැස්සාගෙන් මිනිසාට ලැබෙන ප්රායෝජන විවිධ වන අතර භෝග පරාගනය, මී මැසි, මී ඉටි, රාජ ජල්ලි, මී මැසි විෂ සහ පරාග ආදිය ඒ අතර වේ. මල්කාන්ති මහත්මියද තම ගෙවත්තේ මී මැසි පාලනය සිදු කරගෙන යයි. මී මැසි පෙට්ටි වලට අමතරව ඇය විසින් ගස් බෙනයක් ලෙස සාදා ගන්නා ලද මීමැසි නිවහන් ගෙවත්තේ ස්ථාපනය කර තිබුණා. මෙමඟින් ස්වාභාවික ගස් බෙනයක මෙන් මීමැසි ජනපද ඇති කර ගැනීම අරමුණු වේ. ගසක මුල කොටස ආසන්නයෙන් කොටයක් කපා ගෙන එය ඇතුළත හාරා කුහරයක් සාදා ගෙන එහි පැත්තක් ලී කැබැල්ලකින් වසා අනෙක් පැත්තේ මී මැස්සන්ට ඇතුළු වීමට සහ පිට වීමට කුඩා සිදුරක් තබා තවත් ලී කැබලි වලින් ආවරණය කරයි. මෙලෙස ඉතා සරලව ස්වාභාවික ගස් බෙනයක මෙන් අවශ්‍ය තත්ත්ව ලබා දීම මඟින් මී මැස්සන් හට ජනපද පිහිටුවීමට අවස්ථාව ලබාදේ. තවද එමඟින් ජනපද පැතිරීමද වැඩි කරගත හැකිය.
මල්කාන්ති මහත්මියගේ ගෙවත්ත මෙවැනි සරල එමෙන්ම ලාභදායී වූ තාක්ෂණික ක්‍රමෝපායන් යොදාගෙන සශ්‍රීක කරගත් ආදර්ශමත් ගෙවත්තකි. මෙවැනි සරල ක්‍රම භාවිතා කර ඔබගේ ගෙවත්තත් සරු කරගන්න.
තුෂාරා ධර්මවර්ධන
පර්යේෂණ නිලධාරිනී
කෘෂිසම්පත් කළමනාකරණ අංශය
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටුයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය