අරාබි ජාති­ක­යන් දුන් බයෝ­බැබ් ගස් අනා­ගත පර­පු­ර­ටත් ලබා දෙන්නට නම්.... | සිළුමිණ

අරාබි ජාති­ක­යන් දුන් බයෝ­බැබ් ගස් අනා­ගත පර­පු­ර­ටත් ලබා දෙන්නට නම්....

අපේ රටට ආවේණික ශාක වර්ග රැසක් තිබෙනවා වගේම ලෝකයේ එක් එක් රටවලට ආවේණික වූ ශාක වර්ගත් තිබෙනවා. එහෙත් ආවේණික බවට සීමා නොකර මේ වන විට අන්තර්ජාතික සබඳතා මත එම ශාක වර්ග අනෙකුත් රටවලට ලබා දී රෝපණය කිරීම අරඹා තිබෙනවා. මේ කාර්යය අද අපට අලුත් දෙයක් ලෙස පෙනුණත් 15 සහ 16 සියවස්වල පවා මේ ආකාරයෙන් ශාක වර්ග අනෙකුත් රටවල රෝපණය කර තිබෙන බව පැහැදිලියි.

විශේෂයෙන්ම අපේ රට යටත්විජිතවාසීන්ට යටත්ව තිබුණු සමයේදී මෙරට රෝපණය කරන ලද ශාක අද වන විට අපට අලුත් අත්දැකීමක් ලෙස පෙනෙන්නට පුළුවන්.

තේ වැනි වෙළෙඳ භෝග නොව නිවර්තන කලාපයන්ට අයත් වන්නා වූ ශාක වර් ග අප රටට හුරු කරන්නට පෘතුගීසි ජාතිකයන් කටයුතු කර තිබුණා. ඔවුන්ටත් වඩා වරින් වර වෙළෙඳාමේ පැමිණි අරාබි ජාතිකයන් විසින් දැවැන්ත වෘක්ෂ බීජ රෝපණය කරා. එයින් මුල් තැනක් ගන්නේ බයෝබැබ් ශාකයයි. විශේෂයෙන්ම දැඩි නියඟයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බයෝබැබ් ශාකයේ විශේෂත්වයක් වන්නේ එම ශාක අධික වටප්‍රමාණයන්ගෙන් යුක්ත දැවැන්ත ශාක වීමත් උසින් අඩු අඩි 25ක් 30ක් පමණ උපරිම උසකින් වැවෙන ශාක වීමත්ය.

අරාබි ජාතිකයන් විසින් මෙරට උතුරු ප්‍රදේශය ඇතුළු මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක බයෝබැබ් ශාක රෝපණය කර තිබුනත් කාලයාගේ ඇවෑමෙන් මේ ශාක වඳ වී ගොස් ඇති බව පෙනේ.

එසේ වුවත් ප්‍රදේශ කිහිපයක මනාව වැවුණු බයෝබැබ් ශාක අදත් ඉතා හොඳින් දැකගත හැකි වෙනවා. එයින් ප්‍රධානම ශාක තුනක්ම පිහිටා ඇත්තේ උතුරු ප්‍රදේශයේය. පසුගිය කාලයේ උතුරේ තිබුණු යුද වාතාවරණය නිසා මේ ශාක දැක බලා ගැනීමේ හැකියාව බොහෝ දෙනකුට උරුම වුණේ නැහැ.

ඒත් දැන් රටේ සාමය උදා වෙලා නිසා ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම තැනක යන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

බයෝබැබ් ශාකය නියං සමයන්හිදී පත්‍ර හැළීම සිදු කරන අතර නියං සමයන්ට අවශ්‍ය පරිදි ජලය ශාකය තුළ ගබඩා කර ගන්නා බව උද්භිද විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා.

බයෝබැබ් ශාකයේ අඟල් 7ක් පමණ වන අලංකාර එමෙන්ම සුවඳවත් මල් හට ගන්නවා. බයෝබැබ් ශාකයේ ඵල නෙළා ගෙන ඒවා ආහාරයට ගැනීමට නිවර්තන කලාපීය වාසීන් බලා සිටියත් අපට එවන් වාසනාවක් නැහැ. අපේ රටේ ඇති සීමිත වෘක්ෂ සංඛ්‍යාවෙන් අපට එසේ ඵල ලබා ගැනීමක් කරන්න බැහැ.

අප්‍රිකානු සහ අරාබි නිවර්තන කලාපයට අයත් බයෝබැබ් ශාක දිර්ඝ ආයු කාලයක් ඇති ශාක විශේෂයක් ලෙස ලෝක ප්‍රසිද්ධව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මන්නාරමේ නගරයට කිලෝමීටරයක් පමණ දුරින් එක් බයෝබැබ් ශාකයක් පිහිටා ඇති අතර තවත් ශාකයක් පිහිටා ඇත්තේ ඩෙල්ෆ්ට් දූපතේ. එමෙන්ම පුන්ගුඩුතිව් දූපතේත් මේ බයෝබැබ් ශාකයක් පිහිටා තිබෙනවා. හැඩහුරුකමින් මේ බයෝබැබ් ශාක සියල්ල එක වගේ. මේ ශාක තුනම පිහිටලා තියෙන්නෙ දූපත්වල වීමත් මෙහි විශේෂත්වයක්. එයින් මන්නාරම් දූපතේ වගේම පුන්ගුඩුතිව් දූපතේත් ඇති බයෝබැබ් ශාක දෙකට බලන්න ගොඩබිමින් යන්න පුළුවන් වුණත් ඩෙල්ෆ්ට් දූපතට නම් බෝට්ටුවක නැත්නම් නැවක යන්න වෙනවා.

මන්නාරමේ ශාකයේ වට ප්‍රමාණය මීටර් 20කට කිට්ටුයි. හරියට කියනවා නම් මීටර් 19.51ක් උස මීටර් 7.5ක්.

ඒත් මේ දුර්ලභ ශාක රැකගන්න නම් වැඩ පිළිවෙළක් නැති බවයි අපට පෙනෙන්නේ. අපට අරාබි ජාතිකයන්ගෙන් ලැබුණු මේ ශාක ටික රැක ගන්න ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන එක අදාළ ප්‍රාදේශීය සභාවන් වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත් ඒ වගේම සංචාරක මණ්ඩලය වැනි ආයතනවලත් වගකීමක් බවයි අපට නම් පෙනෙන්නේ.

ඒ වගකීම කර හැරියහොත් අපට ඉතාම කනගාටුදායක තත්ත්වයකට මුහුණ පාන්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පුන්ගුඩුතිව් ඇති ශාකයට අවම වශයෙන් සත්ව හානි වළක්වන්වත් පියවර අරගෙන නැහැ.

මේ සම්බන්ධයෙන් අදම අවධානය යොමු විය යුතු බවයි අපට නම් පවසන්නට ඇත්තේ.

තාරක වික්‍රමසේකර

ඡායාරූප- විමල් කරුණාතිලක

 

Comments