BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

සනි ලියොන්ට යළි මවු පදවිය

විවිධාකාර දෝෂා‍රෝපණයන්ට මුහුණ දෙමින් බොලිවුඩයේ සෑහෙන දුරක් ගමන් කළ ජනප්‍රිය නිළි සනි ලියොන් දැන් තිදරු මවක් බවට පත්වෙලා.

පසුගිය සතියේ, ඇය සහ ඇගේ සැමියා වන ඩැනියල් වෙබර් නිවුන් පුතුන් දෙදෙනකුගේ මවුපියන් ලෙස කිරුළු පැළඳුවා. ඊට කලින් පසුගිය වසරේ ජූලි මාසයේදී ඔවුන් දෙදෙනා බිලිඳු දැරියක හදා වඩා ගන්නට භාර ගත්තා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලටූර් ප්‍රදේශයේ මවකගේ කුසෙන් උපන් ඒ දැරියගේ නම නිෂා. මෙවර ඩැනියල් - සනි යුවළ මවුපිය වරම් ලැබුවේ නම හෙළි නොකළ මවකගේ කුස තුළ ඔවුන් දෙදෙනාගේ ම ලෙයින් මසින් සුසැදුණු පුතුන් දෙදෙනකු මෙලොව එළිය දුටු නිසයි.

පුතුන් දෙදෙනා ලැබීම නිසා බෙහෙවින් ම සතුටට පත්වූ සනි ලියොන් ට්විටර් පිටුවෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේ මෙය දෙවියන්ගේ තීන්දුවක් බවයි. “අපි, අපේම පවුලක් විදිහට සම්පූර්ණ විය යුතුය කියන අදහස අවුරුදු කිහිපයක් තිස්සේ කල්පනා කළා. දැන් අපි අශර් සිං වෙබර් සහ නොආ සිං වෙබර් කියන මේ පුංචි පුතාලා දෙන්නාත් නිසා අපේ පවුල අංගසම්පූර්ණ එකක් බවට පත් වුණා.”

“පුතාලා ඉපදුණේ මීට සති කිහිපයකට කලින්. දෙවියන් හොඳින් සැලසුම් කරලා අපේ පවුල පරිපූර්ණත්වයට පත් කළා. අපි දැන් දුවකුගේ සහ පුතුන් දෙදෙනකුගේ ගෞරවනීය දෙමවුපියන් බවට පත්වෙලා. අපිට දැනෙන සතුට මෙතෙකැයි කියන්න බැහැ.” සනි ලියොන් එලෙස සටහන් කර තිබුණා.

උර්වශිට මරණ තර්ජන

උර්වශි රටුටෙලා වඩාත් ප්‍රසිද්ධව සිටින්නේ වැඩිහිටියන්ට සීමාවූ විකට චිත්‍රපට සහ අනුරාගික චිත්‍රපටවල රඟපෑමට යොමුවූ නිළියක් හැටියටයි. මේ යොවුන් නිළිය ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ‘හේට් ස්ටෝරි IV’ චිත්‍රපටය පසුගිය 26 දා ප්‍රදර්ශනයට නිකුත් වුණා. බොලිවුඩ් සිනමාවේ මෑතකදී නිර්මාණය කළ ‘හේට් ස්ටෝරි’ චිත්‍රපට මාලාවට එක්වූ මෙම සිවු වැනි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ප්‍රදර්ශනය වීමත් සමඟම උර්වශි බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණදී සිටිනවා.‍ ඇයට ඉන්දියාවේ විවිධ පාර්ශ්වයන් වෙතින් තර්ජන එල්ල වෙමින් තිබෙනවා. ඒ අතර ඇයට මරණ තර්ජන ද එල්ල වී ඇති බවයි, පැවසෙන්නේ.

උර්වශීට මෙවැනි කරදරයකට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ ‘හේට් ස්ටෝරි IV’ චිත්‍රපටයෙහි එන එක්තරා දර්ශනයක ඇතුළත් දෙබසක් හේතුවෙන්. එම දර්ශනයේ රඟන උර්වශි, මෙලෙස පවසනවා... ‘ද්‍රෞපදිට සැමියන් පස් දෙනෙක් ඉන්නවා. මෙතන ඉන්නෙ දෙන්නෙක් විතරයි.”

(ද්‍රෞපදි යනුවෙන් හඳුන්වන්නේ සුප්‍රකට භාරත වීර කාව්‍යයක් වන මහා භාරත හි එන අතිශය රූමත් කාන්තා චරිතයක්. හින්දු ජාතිකයන් ඇය දේවත්වයෙහි සළකනවා.) උර්වශීට තර්ජන එල්ල කරන කණ්ඩායම් පවසන්නේ ඇගේ මුවින් පැවසෙන පෙර සඳහන් දෙබසින් ද්‍රෞපදි දෙවඟනට අපහාසයක් සිදුවී ඇති බවයි. ‘හේට් ස්ටෝරි IV’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් එක්කම එල්ල වූ මේ මරණ තර්ජන නිසා උර්වශි දැන් කාලය ගත කරන්නෙ දැඩි බියකින්.” ඉන්දීය පුවත් සේවයකට අදහස් දැක්වූ උර්වශිගේ සමීපතමයකු ‍එලෙස පැවසුවා. මෙම චිත්‍රපටයත් සමඟම ‘හේට් ස්ටෝරි’ චිත්‍රපට මාලාවට චිත්‍රපට 4 ක් එක් වී තිබෙනවා. මේ සියලුම ‘හේට් ස්ටෝරි’ චිත්‍රපට ශෘංගාරාත්මක නිර්මාණයන් හැටියටයි හැඳින්වෙන්නේ.

ඉර්ෆාන්ට දුලබ රෝගයක්?

ඉර්ෆාන් ඛාන් ඔබට මතකද? ‘ස්ලම් ‍ඩෝග් මිලියනර්’, ‘පිකු’, ‘මක් බූල්’ වැනි චිත්‍රපට ඇතුළු තවත් නිර්මාණ 100 කට පමණ සිය රංගන ප්‍රතිභාව එක් කළ මේ දක්ෂ රංගන ශිල්පියා අසනීපව සිටින බවයි, බොලිවුඩ් පුරයෙන් ලැබුණු ආරංචියක සටහන් වුණේ. පසුගිය සතියේ ට්විටර් පිටුවෙහි සටහනක් තැබූ ඔහු පැවසුවේ තමන්ට වැළඳී ඇත්තේ දුර්ලභ ‍රෝගයක් බවයි.

“සමහර වෙලාවට අපි අවදිවන්නේ තිගැස්මකට ලක් වෙලා. පසුගිය සති දෙකක කාලය තුළ මගේ ජීවිතය ගත වුණේ සැක සංකාවලින් පිරුණු කතන්දරයක් වගෙයි. මට වැළදී තියෙන්නේ දුර්ලභ රෝගයක්. මම ඒ නිසා ජීවිතයෙන් පලා යන්නෙ නැහැ. මගේ පවුලේ අයයි, හිතවත් පිරිසයි මාත් එක්ක ඉන්නවා. මේ හැමෝම එකතු වෙලා මේ ‍රෝගය සුව කරගන්න උත්සාහ ගන්නවා. මේ රෝග තත්ත්වය සතියකින් දෙකකින් හොයා ගන්න බැරි වේවි. තවදුරටත් පරීක්ෂණ කරලා හොයාගන්න පුළුවන් වේවි. එතෙක් මා වෙනුවෙන් ආශිර්වාද කරන්න.”

මේ වනවිට 51 වැනි වියෙහි පසුවන ඉර්ෆාන් එලෙස ට්විට්කර තිබුණා. මේ සටහන තැබීමෙන් පසුව පළවූ දූෂමාන ආරංචියක් පැවසුවේ ඉර්ෆාන්ට සෙංගමාලය වැළඳී ඇති බවයි. එහෙත් එය අසත්‍ය පුවතකැයි පසුව වාර්තා වුණා. අන්තිමේදී ඉර්ෆාන් පිළිබඳව පළවී තිබුණේ සිත් කම්පා කරවන පුවතක්. ඔහුගේ රෝගී තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍යවරු ප්‍රකාශ කළේ දුර්ලභ ව වැළඳිය හැකි මොලයේ පිළිකා තත්ත්වයකට ඔහු ගොදුරු වී ඇති බවයි. ඒ බව එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවකින් පසුව තහවුරු වී ඇතැයි ද වෛද්‍යවරු ප්‍රකාශ කළා.

Comments