සමීප රූප | සිළුමිණ

සමීප රූප

ඉන්ද්‍රචාපගේ සමීපරූපාවලියෙහි පසුගිය දිනෙක ඇඳුණු චිත්‍රපට තුනකි. තුන්දෙනෙක් නම් වූ චිත්‍රපට ත්‍රිත්වය සමග මෙරට ප්‍රෙක්ෂකයන් හොඳින් හඳුනන, ඔවුන් ආදරය කරන අධ්‍යක්ෂවරුන් තිදෙනකුගේ මුහුණු ද ඉන්ද්‍රචාප දකී. ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර හා අසෝක හඳගම ගේ මුහුණුය සමීප රූපයෙහි වූයේ.

ඔවුන් තිදෙනාම තම නවතම නිර්මාණ මගින් කියන්නට උත්සාහ ගත් පශ්චාත් යුද සමය පසුබිම් කොටගත් අත්දැකීම් මෙරට ජනජීවිතයට කෙතරම් සමීප ද යන්න ඉන්ද්‍රචාපට කල්පනා වූයේ පසුගිය සති කීපය තුළ දිගන, තෙල්දෙණිය ආදී මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගම් හා නගර වැසියන් මුහුණ දුන් අවාසනාවන්ත සිද්ධි දාමය පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මගින් දුටු කල්හිය.

තිස් වසරක අවාසනාවන්ත කුරිරු යුද්ධයක් නිමා වූව ද, ජාතීන් අතර එකිනෙකා තුළ ගොඩනැගිය යුතු විශ්වාසය, සහජීවනය, සංහිඳියාව වෙනුවට අළු යට සැඟවුණු ගිනි පුපුරු සේ ජාතීන් අතර ඇවුළුණු වෛරී සිතුවිලි ගමක්, නගරයක්, පළාතක් නොව රටම ගිලගැනීමේ අවදානමක වූ බව ඉන්ද්‍රචාප දුටුවේය.

සිංහල දෙමළ වේවා, සිංහල මුස්ලිම් වේවා ජාතීන් අතර වන විරසකයකින් සිදු වූ මිනිස් ජීවිත හා දේපළ හානිය ශ්‍රී ලංකාව වැනි රටකට දරා ගැනීමට නොහැකි තරම්ය. රටක ජන ජීවිතය අස්ථාවර වූ කල්හි එරටට අත් විඳින්නට සිදුවන දේශපාලන හා ආර්ථික ප්‍රශ්න දිගුකාලීන ප්‍රශ්නාවලියක තවත් ඇරැඹුමක් බව ඉන්ද්‍රචාප දකී.

තුන්දෙනෙක් සිනමාපට මගින් ප්‍රසන්න, විමුක්ති හා අසෝක තුන්කල් දක්නා නුවණින් යුතුව එවන් තත්වයක නිස්සාරත්වය අප ඉදිරියේ තබනු ඉන්ද්‍රචාපගේ සමීප රූපාවලියෙහි සටහන් වී ඇත. කල් නොඉක්මවා, මෙම අත්දැකීම මෙරට සියලු ජනකොටස් කරා රැගෙන යෑමේ අවශ්‍යතාව ඉන්ද්‍රචාප අවධාරණය කරයි.

තුන්දෙනෙක් නිර්මාණත්‍රයෙහි අප දකින්නේ එකිනෙකාට අනන්‍ය වූ සිනමා රීතියක පිහිටා කාලීන ප්‍රශ්න තම නිර්මාණ සඳහා විෂය කර ගැනීමට, ඒවා පිළිබඳ කලාකරුවකුගේ ඇසින් දැකීමට රුචියක් දක්වන තිදෙනකුගේ මාහැඟි උත්සාහයකි.චිත්‍රපට ත්‍රිත්වයෙහි ප්‍රධාන විෂය හා තේමාව ඔස්සේ ඔවුනට පැවසීමට අවශ්‍ය පණිවුඩය නිරූපණය වන්නට ඉඩහරිනු විනා නිර්මාණකරුවා සෘජුව මැදිහත් වී ප්‍රචාරකයකුගේ තත්වයට පත් නොවීම මේ නිර්මාණ ප්‍රකට කරන ප්‍රධාන සාධනීය ලක්ෂණයයි.

චිත්‍රපට ත්‍රිත්වය සඳහා වූ නළුවරණයෙහි (Casting) දී ඔවුන් දක්වා තිබූ නිර්භීතභාවය අගය කළ යුතු යැයි ඉන්ද්‍රචාප සටහන් කිරීමට කැමැතිය.මල්කාන්ති ජයසිංහ නිළි භූමිකාව හැරුණු කොට අන් සියලු ප්‍රධාන භූමිකා සඳහා අඩු වැඩි වශයෙන් අධ්‍යක්ෂවරුන් තෝරාගෙන තිබූ නළු නිළියෝ අප මීට පෙර සිනමාවෙහි දැක පුරුදු මුහුණු නොවිණ. මෙහි ලා විශේෂයෙන්ම ඉන්ද්‍රචාපගේ සිත් ගත්තේ ප්‍රසන්න විතානගේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව සඳහා තෝරාගෙන තිබූ නළුවාය.

චරිතය, චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ චරිතයක් වූ බැවින් ප්‍රසන්න ඒ සඳහා වෘත්තීය නළුවකු සොයනු වෙනුවට සිනමා රංගනය මතු නොව, වේදිකා හා රූපවාහිනී නාට්‍ය රංගනය කුමක් ද කියා දත්, ඒ පිළිබඳ ප්‍රායෝගික දැනුමින් යුත් තම මිතුරාටම ඊට ඇරැයුම් කිරීම ඔහුගේ අධ්‍යක්ෂණයෙහි නිර්භීත තීරණයක් සේ ඉන්ද්‍රචාප දකී. අසෝක හඳගම අධ්‍යක්ෂ භූමිකාව ආයාසයෙන් , වෙහෙසකින් තොරව (effortless) රඟපාමින් අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ වුවමනාව සපුරා ලයි.

හඳගමගේ රංගනය තුළ චරිතය ඉල්ලා සිටිනු ලබන රූපණය මැනැවින් ප්‍රේක්ෂකයන් වෙත සමීපකරවීමට සමත් ගුණය නොඅඩුව රැඳී තිබිණ. හඳගමගේ රංගන කුසලතාවෙහි මෙන්ම ප්‍රසන්නගේ අධ්‍යක්ෂ භූමිකාවෙහි මනා සුසංයෝගය ප්‍රේක්ෂකයෝ දකිති. අසෝක හඳගම අධ්‍යක්ෂ භූමිකාවෙන් නළු භූමිකාවට කැඳ වූ ප්‍රසන්නට ඉන්ද්‍රචාපගේ තුතිය. එලෙසින්ම, මේ නිර්මාණ ත්‍රිත්වයෙහි රඟපාන වෘත්තීය නොවන සෙසු නළු නිළියන් සියල්ලන්ගෙන්ම තම කෘතියට අවශ්‍ය දායකත්වය උපරිම ලෙස ලබා ගැනීමට ප්‍රසන්න, විමුක්ති හා අසෝක සමත්ව සිටින බව කිවයුතුය.

 

Comments