'ලිහි­ණින් රෑන ගේය කාව්‍යය වර්ණනා' | Page 2 | සිළුමිණ

'ලිහි­ණින් රෑන ගේය කාව්‍යය වර්ණනා'

එදා මෙදා තුර ගීත 400ක් පමණ රචනා කළා

ප්‍රවීණ ගී පද රචක ධර්මරත්න පෙරේරා

 

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

රතු රෝස මලක පෙති හැලී තියේ

මට නපුරු වුණේ ඇයි දයාවියේ

මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ..

සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ මුවෙන් ගැයෙන ධර්මරත්න පෙරේරා පද රචනය කළ නිමල් ජයකොඩි සංගීතවත්කළ මෙම ගීතය කලක් මෙරට ගීත කලාව වෙනස්ම මාවතකට ගෙනගිය ගීතයක් බවට පත්වුණා.එයට හේතුව මේ ගීතය ගායනය වගේම පද මාලාවේ ඇති අලංකරණයයි.මෙහි පදරචක ධර්මරත්න පෙරේරා පුවත්පත් සංස්කාරකවරයකු, ගී පද රචකයකු ලෙස නිර්මාණකරණයට පිවිස වසර තිස් හතක් ගත වෙලා. ඒ නිමිත්තෙන් මේ මස 23දින ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි සවස 4.00ට 'ලිහිණින් රෑන ගේය කාව්‍යය වර්ණනා' නමින් විචාරක ග්‍රන්ථයක් එළි දැක්වීමට නියමිතයි. රසඳුන පාඨකයන්ට මේ ගැන වැඩිදුර තොරතුරු කියන්නට ධර්මරත්න පෙරේරා අමතක කළේ නෑ.

ලිහිණින් රෑන ගේය කාව්‍යය වර්ණනා ප්‍රසංගයට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වන්නේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, අචාර්ය ප්‍රනීත් අබේසුන්දර, විශාරද එඩ්වඩ් ජයකොඩි යන මහත්වරු. සමන් අතාවුදහෙට්ටි සහ මහින්ද බණ්ඩාරයන් එදින කථනයෙන් සහ සංගීතයෙන් උත්සවය වර්ණවත් කරනවා.'

1981 දී පළමු ගීතය ලියමින් ගී පද රචනයට යොමු වී ඇති ධර්මරත්න පෙරේරා පුවත්පත් සංස්කාරකවරයකු ලෙසින් කුමරි, යුවති, රන්ළිය, පෙරමුණ, තිළිණ පුවත්පත්වල සංස්කාරකවරයකු ලෙසද කටයුතු කළේය.

'මම එදා මෙදා තුර ගීත හාරසියයක් පමණ රචනාකර තිබෙනවා. ඒ අතරින් නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, කම්මලේ පියස , ලිහිණින් රෑන පියාසලන්නේ, වෙස්සන්තර බිසෝ, අප හමුවීම වෙන්වීම, බිත්ති පත්තරේ, පමා වැඩී ආදී ගීත රසිකයන් වඩාත් හදබැඳගත් නිර්මාණ. ටී.එම් ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, මල්කාන්ති නන්දසිරි, සමිතා මුදුන්කොටුව, කීර්ති පැස්කුවෙල්, ප්‍රියා සූරියසේන, නාමල් උඩුගම, ලක්ෂ්මන් හේවාවිතාරණ යන ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් එදින මා පද රචනය කළ ගීත ගායනා කරනවා. ලිහිණින් රෑන ගේය කාව්‍යය වර්ණනා පොතෙහි ඇතුළත් වන්නේ මගේ නිර්මාණ දිවිය පිළිබඳව පුවත්පත් කලාවේදීන් සහ ගීත රචකයන් විසින් ලියනලද විචාර. මේ පොත සංස්කරණය කළේ මේදාවිණි පෙරේරා සහ තාරකා අතාවුදහෙට්ටි. සරසවි ප්‍රකාශනයක් ලෙසින් දොරට වඩිනවා. එදිනම නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ නමින් ජනප්‍රිය ගීත ඇතුළත් සංයුක්ත තැටියක්ද එළිදක්වනවා.

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරෙන 'කොන්කළ දෝණි' ටෙලිනාටයේ තේමාගීතය ඔහු ලියූ තවත් සුන්දර ගී පදරචනාවකි. දශක හතරකට ආසන්න කාලයක් සිය නිර්මාණ කාර්යයෙහි යෙදෙන මේ නිර්මාණකරුවාට සුබ පතන්න කැමැති ඕනෑම රසිකයකුට එදින උත්සවයට සහභාගිවන ලෙසද ධර්මරත්න පෙරේරා ආරාධනා කරයි.

 

Comments