නර්තනයට ගායනයට දක්ෂ උමන්දා | සිළුමිණ

නර්තනයට ගායනයට දක්ෂ උමන්දා

 

උමන්දා සඳනි අබේසේකර. ඇය වෘත්තියෙන් ගුරුවරියකි. නර්තනයට, ගායනයට මෙන් ම චිත්‍ර කලාවට ද ඇයට ඇත්තේ අපූරු හැකියාවකි. ගම්පහ J.M.C ජාත්‍යන්තර පාසලේ තාක්ෂණික විෂය හා සංගීතය පිළිබඳ ආචාර්යවරියක ලෙස සේවය කරන ඇය මිරිස්වත්ත කැප්පෙටිපොළ මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

පාසල් අවධියේදී ගායන හා නර්තන අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ හිමි කරගෙන ඇති උමන්දා මේ වනවිට ප්‍රසංග වේදිකාවේද සිය ගායන හැකියාවන් පෙන්වන්නීය. ඇය ගායනා කළ ගීත අතර ‘කිරි කවඩි’ කඳුළු නතර කළේ, පොඩි කාලේ, අවසන් දවසේ, ඔය හිතට ළංවෙලා, ‍ඔබ නමින්, හිත අස්සෙම දුක, හිත හංගලා වැනි ගීත රසිකයින් අතර වඩාත් ජනප්‍රිය විය. උමන්දා ගැයූ ගී You tube හරහා ද ප්‍රේක්ෂක ඔබට රස විඳීමට හැකියාව තිබේ. එසේම පුද්ගල මුහුණු සිතුවමට නැඟීමේ සුවිශේෂී හැකියාවක් ඇති ඇගේ නිර්මාණ ද Face book ඔස්සේ දැන් දැකගත හැකියි.

සංගීත ක්ෂේත්‍රයට වඩාත් ඇලුම් කරනා ඇය සංගීත විශාරද පිළිබඳ හැද‍ැරීම් කරමින් සිටියි. සිය මව හා පියා ද කලා පවුලකට ‍උරුමකම් කියන අතර සංගීත ක්ෂේත්‍රය තුළ ස්ථාවර වූ ගමනක් යෑම ඇගේ අරමුණයි.

 


කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග ඒ ඒ ආයතනවලට අදාළ සංස්කෘතික බල මණ්ඩල එක්ව සංවිධානය කළ කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය පසුගියදා කොළඹ ලුම්බිණි රඟහලේ දී පැවැත්විණි.

ඒ ඒ ආයතනවල බල ප්‍රදේශයන්හි පදිංචි විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කළ කලාකරුවන් රැසක් එහිදී උපහාර සම්මානයෙන් පිදුම්ලැබූ අතර නර්තනාංග, කාව්‍යමය ජවනිකා සහ කෙටි නාට්‍යයකින් එම උළෙල වර්ණවත්විය. සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ මාර්ටින් වික්‍රමසිංහ දායකත්වය නිමිතිකර ගනිමින් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය පැවැත්වු හරවත් දේශනයක්ද වු අතර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දිවි මඟ අලළා සැකසුණු කෙටි වාර්තා චිත්‍රපටයක් ද එහිදී ප්‍රදර්ශනය කෙරිණි.


14 වැනි රයිගම් ටෙලීස් සම්මාන උලෙළ

24 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී

විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනයන්හි දායකත්වය අගැයීමට ලක්කර සම්මාන පුද කිරීම සඳහා 14 වැනි වරටත් පවත්වන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ ලබන සෙනසුරාදා ( 24 වැනිදා) රාත්‍රියේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මෙහිදී සම්මානයට පාත්‍රවන නිර්දේශිත නම් ප්‍රකාශයට පත්කිරීම පසුගියදා හෙළයේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා සහ විශිෂ්ට රංගධර රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී සිදු කෙරුණා.

මෙවරත් ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, විශේෂ ප්‍රණාම සම්මාන, ජනප්‍රිය සම්මාන සහ වසරේ සම්මානනීය නාළිකාව යන අංශ යටතේ සම්මාන 57 ක් පිරිනැමෙනු ඇත. මෙවර ජනප්‍රිය සම්මාන සඳහා මනාපය පලකිරීමට Raigam Tele'es නමින් App එකක් හඳුන්වා දුන් අතර එයින් ජනප්‍රිය නළුවා, නිළිය සහ ටෙලිනාට්‍යය සඳහා මනාප පලකිරීමට දැන් අවස්ථාව තිබේ.

2017 වසරේ විකාශය වූ ටෙලිනාට්‍ය අතරින් මෙවර වසරේ විශිෂ්ටතම නළුවා ලෙස ශ්‍යාම් ප්‍රනාන්දු ( සී රජ), රොෂාන් රවීන්ද්‍ර ( බැද්දේ කුලවමිය) සහ මහේන්ද්‍ර පෙරේරා (බැද්දේ කුලවමිය) නිර්දේශ වුණු අතර, වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය ලෙස නදී කම්මැල්ලවීර (බැද්දේ කුලවමිය), චාන්දනී සෙනෙවිරත්න (බැද්දේ කුලවමිය) සහ හිමාලි සයුරංගි (ප්‍රාණ) නිර්දේශ විය. එසේම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ලෙස ජැක්සන් ඇත්තනී (සී රජ) සහ ආනන්ද අබේනායක ( බැද්දේ කුලවමිය) නිර්දේශ විය. වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස සී රජ සහ බැද්දේ කුලවමිය නිර්දේශ විය.

ඉඳුනිල්

ඡායාරූප ශාන් රඹුක්වැල්ල 

Comments