තාත්තා සින­මාවේ විකට රජා වුණත් අපිව කලා­වට සම්බන්ධ කළේ නෑ | සිළුමිණ

තාත්තා සින­මාවේ විකට රජා වුණත් අපිව කලා­වට සම්බන්ධ කළේ නෑ

රිදී තිරයේ විකට රජා නමින් විරුදාවලිය ලත් ෆ්‍රෙඩී සිල්වා අප අතරින් වියෝ වී වසර දාහතක් ගතවෙලා.ඔහුගේ වියෝව සිංහල සිනමාවට අදටත් බෙහෙවින්ම දැනෙන්නේ එම හිස්තැන පිරවිය හැකි රංගන ශිල්පියකු තවමත් බිහි වී නොමැති නිසාවෙන්. ෆ්‍රෙඩීගේ රුව සහ හඬ නැති සිනමාව පාළුවට ගොසිනි.ෆ්‍රෙඩී තුළ පැවැති තවත් සුවිශේෂිත්වයක් වන්නේ ඔහු රඟපෑ බොහෝ චරිතවලට ගීත ගායනා කර ඇත්තේද ඔහුම වීමයි.එම හඬ නැවතත් අපට අසන්නට වාසනාව උදාවී තිබේ. ඒ ඔහුගේ ආදරණීය දියණිය චාන්දනී සිල්වා‍ගේ හඬින්.පියාගේ හැකියාවන් බොහොමයක් චාන්දනීට පිහිටා තිබීම නිසා මේ වනවිට ඇය සිනමාවට මෙන්ම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ශිල්පිනියකි.කොතරම් කාර්යබහුල වුවත් මෙවර සඳවට රන්තරු විශේෂාංගයට චාන්දනී අප සමග එක්වුයේ සතුටෙන්.

මේ දවස්වල කාර්ය බහුලයි වගේ..

මේ දවස්වල සමර් බ්‍රිස් සංගීත කණ්ඩායමත් සමග ටිකක් කාර්ය බහුලයි. අපි වැඩිහරියක්ම සහභාගිවෙන්නේ විවිධ උත්සව අවස්ථාවලට සංගීතය සැපයීමට. එයට අමතරව විවිධ ප්‍රදේශවල පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සඳහාත් සහභාගි වෙනවා. එම වැඩ තමයි මේ දවස්වල කෙරෙන්නේ.

සංදර්ශනවලදී වැඩිපුරම ගායනාකරන්නේ පියාගේ ගීතද..

ඔව්. මගේ ගීත කියන්න ආසාවෙන් සිටියත් සංවිධායකවරු ඉල්ලන්නේ තාත්තාගේ ගීත. ඉතින් මම තාත්තාගේ ගීත ගායනාකරනවා.

පියාගේ ගී පමණක් ගායනා කිරීමේදී ඔබට අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට නොහැකිවීම ගැන දුකක් සිතෙන්නේ නැද්ද.?

මම පියාගේ ගීත ගායනාකරන්නේ බොහොම කැමැත්තෙන්. පියාගේ ගීත දරුවන් කියන්නේ නැත්නම් කවුද කියන්නේ. චාන්දනී නම රසිකයන් දැන නොගත්තාට කිසිම දුකක් නෑ. ෆ්‍රෙඩීගේ දුව කියල රසිකයන් දැනගත්තාම හොඳටම ඇති. මම‍ ෆ්‍රෙඩීගේ දුව ලෙස හඳුන්වනවාට කැමැතියි.

ඒ කියන්නෙ චාන්දනී හැමදාම තාත්තගේ ගීත කියන්නද හිතාගෙන ඉන්නෙ..

අපෝ නෑ. දැනටමත් මම ගායනාකළ ගීත ගණනාවක් තිබෙනවා. ඒ අතරින් බයිලා ගීත තමයි වැඩි.

පසුගිය කාලයේ මා ගායනාකළ

සුපෙම් හැඟුම් හාද වෙලා- රෑ සඳ පානේ

කෝඩු සිනා ලාභ වෙලා- මල් මදිරාවේ

නුරා හැඟුමු ගලා හැලී- දෝරෙ ගියාවේ

මේ ගීතය රසිකයන් අතර ජනප්‍රියයි. මා ගායනාකළ අනෙක් ගීත යූ ටියුබ් එකෙන් අසන්න පුළුවන්.

පියාගෙ ගීත ගායනාකරන්න ඇති කැමැත්ත නිසාද එම ගීත වෙනත් ශිල්පීන් ගායනා කරනවාට අකැමැති..

තාත්තට දරුවන්ට ඉන්නේ අයියා ජනේෂ් සිල්වා සහ මම පමණයි. අයියා පිළිකා රෝගය වැළදී මියගියා. අම්මත් දැනට අවුරුදු දෙකකට පෙර මිය ගියා. දැන් ෆ්‍රෙඩී සිල්වා කියන කලාකරුවාට ජීවතුන් අතර සිටින එකම ඥාතියා මම. ඒ නිසා තාත්තාගේ නිර්මාණ රැකගැනීම මා සතුවගකීමක්. තාත්තා චිත්‍රපට රාශියක රඟපෑවා. ගීත එක්දහස් පන්සියයක් පමණ ගායනා කළා. එම ගීත ගුවන් විදුලි සංස්ථාවේ සංරක්ෂණය කිරීමට බාර දී තිබෙනවා. ඇතැමුන් මගේ පියා ගායනා කළ ගීත අරයගේ මෙයාගේ කියමින් ගායනාකරමින් කෝටි ගණන් මුදල් උපයනවා. අම්මා මැරෙන්න කලින් තාත්තාගේ ගීත කියන එක ගායකයකුට කීවා තාත්තාගේ ගීත කියා කෝටි ගණන් හම්බකරගන්න නිසා කීයක් හරි දෙන්න කියා. ඒත් ඔහු කීයක්වත් දුන්නෙ නැහැ. ඒ ගැන අම්මා බොහොම හිතේ අමාරුවෙන් සිටියේ. ඒවා ගැන හිතලා අම්මා මියගියා. අද කෝ එම ගායකයන්. එහෙම අයට පැවැත්මක් නැහැ.මම තිනිවෙලා කියා තාත්තාගේ නිර්මාණ එක එක්කෙනාට බාර දෙන්නේ නැහැ. මමත් මැරෙනතුරාම ඒවා රැකගන්නවා.

ඔබ මෙතරම් පියාගේ නිර්මාණ රැකගන්න වෙහෙසුනත් ඔබේ පියා ඔබව කලාවටවත් සම්බන්ධකළේ නැහැ නේද..

ඔව්. තාත්තා සිනමාවේ විකට රජා වුණත් ඔහු නෙමෙයි අයියාවත්, මාවත් කලාවට සම්න්ධ කළේ. අයියා ගියේ කේරි කොලේජ්. මම ගියේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලට. තාත්තා අපිව කලාවට සම්බන්ධ නොකළාට අප දෙදෙනාවම කුඩා කාලයේදි සංගීතයට යොමුකළා. එහෙත් පාසල් අධ්‍යාපනයෙන් පසුව අයියා රඟපෑමට යොමුවුණා. මට රඟපාන්න අවස්ථාව දුන්නේ සෝනියා දිසා මහත්මිය. පල්ලියේ සහ පාසලේ ගීතිකා කණ්ඩායමේ සිටි නිසා ගීත ගායනයට කුඩා කාලයේ සිටම හැකියාවක් තිබෙනවා. නමුත් කලාවට අවතීර්ණ වුණාට පස්සෙ ‍ෆ්‍රෙඩීගේ දරුවන් වීම නිසා කලාවේ රැදී සිටින්න පහසුවක් වුණා.

ඔබගේ ගායනය පියාට බොහෝම සමානයි. පියා මෙන්ම ඔබ හාස්‍ය චරිත රංගනයටත් දක්ෂයිද..

ජය පිට ජය, කවුද බොලේ ඇලිස්, සන්සුන් නොසන්සුන්, රෝද තුනේ මනමාලයා, මොහොතින් මොහොත ආදි චිත්‍රපටවල මම රඟපෑවේ කමඩි චරිත. ඒ හැම එකකම මාත් සමග අයියාත් රඟපෑවා. ඔහුගේ වියෝවෙන් පසුව රඟපෑම මට එපාවුණා. ඔහු නැතිව මහා පාළුවක් දැනෙන්නේ.

අයියා ඒ තරමටම ඔබත් සමග සමීපව සිටියා..

මමත්, අයියාත්, අම්මාත් බොහොම සමීපයි. වැඩිපුරම අයියා සහ මම ඉතාම සමීපයි. අපි ප්‍රසංගයකට සහභාගි වුනත් යන්නේ එන්නේ එකට. රඟපාන්න යන්නේත් එකට. ඔහු මට වඩා අවුරුදු දහයක් වැඩිමහල්. මගේ සියලු අවශ්‍යතා සොයා බැලුවේ ඔහුයි. අවසාන කාලයේදී අයියට සින්දු කියන්න බැරිව ගියා. එහෙත් එයා එනවා ප්‍රසංගවලට මගේ තනියට . මම සින්දු කියල එනතුරු වාහනයට වෙලා ඉන්නවා. ඒවා මතක්වෙනකොට බොහොම දුකක් සිතට නැගෙනවා.

ඔබ කලක් විදේශගතව සිටියා..

අවුරුදු දහතුනක් විදේශගතව සිටියා. එහෙ වෙස්ටන් බෑන්ඩ් එකක ගීත ගායනා කළා. එංගලන්තය, ඩුබායි, ඕමාන්, සිංගප්පුරු, ආදි රටවල් දහතුනක සිටියා. දැනට වසර තුනක සිට නොකඩවා මෙහි සිටිනවා. දැනටත් අවුරුද්ද අවසානයේ විදේශ ප්‍රසංගවලට සහභාගි වෙනවා.ලංකාවේ නම් මාව හදුනන බොහෝ පිරිසක් බටහිර සංගීත ලෝලීන්. සංගීතයට ඇති ඇල්ම නිසාම නැවතත් විදේශගතවෙන්න අදහසක් නෑ.

චාන්දනී ඉස්සරහටත් දිගටම පියාගේ ගීත ගායනා කරන්නද බලාපොරොත්තුව..

තාත්තාගේ ගීත මෙන්ම මගේම ගීත ගායනාකිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. තාත්ත නැතිවෙලා ඔක්තොම්බර 29දාට අවුරුදු දාහතක් වෙනවා. එදාට තාත්තාගේ රසිකයන් එකතුකරගෙන ගී ප්‍රසංගයක් පවත්වනවා. එදින තවත් වැඩ සටහන් රැසක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයට අමතරව ක්‍රිස්තියානි ආයතනවල පෙන්වන ඉංග්‍රිසි චිත්‍රපට සිංහලයට පරිවර්තනය කරනවා. අලුත් ගීත දාහතරක් කළා. තාත්තාගේ නමත් රැකගෙන ලැබෙන පරදි කලාකටයුතුවල නියැළෙමින් කලාවේ හෙමින් ගමනක් යනවා.

Comments