එදා හේෂාන් මාමා කියූ දේ මෙදා ජය­ග්‍ර­හ­ණ­යට පාර හදා දුන්නා | Page 4 | සිළුමිණ

එදා හේෂාන් මාමා කියූ දේ මෙදා ජය­ග්‍ර­හ­ණ­යට පාර හදා දුන්නා

අපේ රටේ රියැලිටි වංශකතාවේ පුරෝගාමියා වුණු සිරස ආයතනය ගෙවුණු මාස කිහිපය පුරා වෙනස්ම වූ රියැලිටි අත්දැකීමක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නට කටයුතු කළා. ඒ 'Sirasa Junior Super Star' තරගය. පසුගියදා එහි අවසන් මහා රාත්‍රිය නිමාවට පත් වුණා. එහිදී ප්‍රථම Sirasa Junior Super Star කිරුළ හිමි කර ගැනීමට හැකියාව ලැබුණේ රෝවෙන්ට යි. අද රසඳුන තුන්වැනි පිටුව හැඩ වෙන්නේ මේ පුංචි තරුව සමඟයි.

සම්පුර්ණ නම

රෝවෙන් අර්ල් පීරිස්

පාසල

ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලය

වයස

අවුරුදු 17

පවුලේ විස්තර

අම්මා, තාත්තා සහ අක්කා

අධ්‍යාපන කටයුතු

ලබන වසරේ උ.පෙළ විභාගයට පෙනී සිටිනවා.

ගම

පිළියන්දල

දැනෙන සතුට මොනවගේද ?

කියාගන්න බැරි සතුටක් තියෙන්නේ. පළවෙනි දවසේ විශ්වාසයක් ඇතිවුණා කිරුළ හිමි කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ දේ කොහොමහරි වුණා.

Junior Super Star වේදිකාවේ අවසන් 4 දෙනා අතරට තේරීපත් වෙද්දී කිරුළ හිමි වෙයි කියලා රෝවෙන්ට බලාපොරොත්තුවක් තිබුණද?

ඔව්. බලාපොරොත්තුවක් තිබුණා. ජයග්‍රහණය කෙසේ වෙතත් හොඳ තරගයක් දෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. කොහොමහරි ජයග්‍රහණය ලැබුණා.

මේ තරගයට අයදුම්පත් යැව්වේ කවුද?

අක්කා. එයා අයදුම්පත් යැව්වට පස්සේ තමයි මට කිව්වේ. ඒ වෙනතුරු මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.

Junior Super Star වේදිකාවේ තරගකරුවන් අතර ලොකුම අභියෝගයක් වුණේ කවුද?

අවසන් මහා තරගයේ තරග කරපු තුන්දෙනාම ලොකු අභියෝගයක් වගේම හොඳ තරගයක් දුන්නා. ඒ අතරින් තව ජීවක සහ තීක්ෂණ මට අභියෝගයක් වුණා.

පුංචි කාලේදීම රෝවෙන්ට සංගීත හැකියාව පිහිටලා තිබුණද ?

පොඩි කාලේ ඉඳන්ම තිබුණා. මම මුලින්ම දහම් පාසලේ තෑගි උත්සවයකදී තමා ගීත ගයනා කළේ. මගේ ගීත ගායනයේ ආරම්භය එතැනයි.

රෝවෙන් සංගීත පරිසරයක හැදුණු කෙනෙක් ?

ඔව්. ඒක ඇත්ත. අම්මයි තාත්තයි දෙන්නම සංගීතය හදාරලා තියෙනවා. අක්කත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ. මම උසස් පෙළ සඳහා සංගීතය විෂයක් විදියට හදාරනවා. මට ගායනයට වඩා වාදනය තමා හොඳටම පුළුවන්. මම මේ වනවිට සංගීත විශාරද දක්වා ඉගෙනගෙන තියෙනවා. ඉදිරියේදී සංගීත් නිපුන් සඳහා ඉන්දියාවේ යන්න අදහසක් තියෙනවා. කොහොමත් මාගේ අධ්‍යාපන කටයතු අවසන් වුණාට පස්සේ අපේ රටේ සංගීත කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කිරීම තමයි මගේ බලාපොරොත්තුව.

කොහොමද පාසලෙන් ලැබුණු සහයෝගය?

මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට ගිය වසරේ සිට කටයුතු කරනවා. ලොකු සහයෝගයක් ලැබුණා. හැම ගුරුවරයෙක්ම මුණ ගැසුණු හැම මොහොතකම මාව දිරිමත් කළා, උපදෙස් දුන්නා. පාසලේ විනය පද්ධතියක් තියෙනවා නේ.මම තරගයට යද්දී ඊට ගැලපෙන්න කොණ්ඩේ කපන්න සිදුවුණා. එතැනදී පාසල මට ඒ නිදහස ලබා දුන්නා. ඒ වගේ මට උපරිම නිදහස දීලා තිබුණා මේ කාලය තුළදී.

Junior Super Star වේදිකාවේදී රෝවෙන්ට එක් අවස්ථාවකදී විනිසුරු මණ්ඩලයේ සිටි හේෂාන් දැඩි තීරණයක් ලබා දෙනවා?

ඔව්. අවසන් 16 දෙනා ගේ තරග වටයේදී මම ගයනා කරපු ගීතය හොඳටම ගායනා වුණේ නැහැ. ඒ වේලාවේදී හේෂාන් මාමා කිව්වා 'ඔබ මේ තරගය අතහැරලා යායුතුයි, ඔබ සුදුසු නැහැ මේ වේදිකාවේ ඉන්න' කියලා. එදා ඉතින් පොඩි දුකක් ඇති වුණා. ඊට පස්සේ හේෂාන් මාමා බැක් ස්ටේජ් ඇවිත් කිව්වා ඔයාට මම එහෙම කිව්වා තමයි ඒ ඔයාව දිරිමත් කරන්න, ඊළඟ පාර හොඳටම කරන්න කියලා කිව්වා. ඉතින් මම හිතා ගත්තා ඉදිරි තරග වටවලදී උපරිමයෙන් මම ගයනා කරනවා කියලා. මම හිතන්නේ එදා හේෂාන් මාමා කියූ දේ මාගේ ජීවිතේ තීරණාත්මක සන්ධිස්ථානයක් වුණා. එය මගේ ජීවිතයේ සාර්ථකත්වය බවට පත්වුණා. ඊට පස්සේ පැමිණි සියලු තරග වටවලදී මම හොඳටම ගීත ගයනා කළා.

ඔබ ඇතුළු තරගකරුවන් මේ තැනට ගෙන එන්න විනිසුරු මණ්ඩලය ලබා දුන් සහය මොනවා වගේද?

ඇත්තටම ඒ විනිසුරු මඩුල්ල ගොඩක් වෙනස්. සින්දුවක් කියලා ස්ටේජ් එකෙන් බහිනවට වැඩිය ලොකු දෙයක් ලබා ගත්තා අපේ ගායනය අවසන් වුණාට පස්සේ. ඔවුන් නිසා අපි ගොඩක් දේවල් ජිවිතයට එකතු කර ගත්තා. උදාහරණයක් විදියට අපි ගීතයක් ගත්තොත්, ඒ ගීතයේ මුලාශ්‍ර වෙන්නේ මොකද්ද, සංගීතමය මුලාශ්‍රය, ඒක ලියැවෙන්න හේතුව කියන ඒවගේ ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. ඒ නිසා අපේ දක්ෂතාවයන් මේ විදියට පෙන්වන්න පුළුවන් වුණේ.

ඔබව මේ තැනට ගෙන එන්න විශාල පිරිසක් ඔබේ පසුපස ඉන්න ඇති?

ඔව්. මුලින්ම අම්මයි තාත්තයි,අක්කයි මතක් කරන්න ඕන. ඒ තුන්දෙනා තමා මුලික. ඊට පස්සේ මාගේ සංගීත ගුරුතුමා වුණු වසන්ත සර්. සර් නිසා තමයි මට ජයග්‍රහණය හිමිකරගන්න පුළුවන් වුණේ. ඒවගේම මාගේ යාළුවෝ ටික. මට වචනයකින් හරි උදවු කරපු කට්ටිය ගොඩක් හිටියා. මේ මොහොතේදී මම ඒ හැම කෙනකුටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මට කෙටි පණිවිඩ එවපු සියලු දෙනාටම සහ අපේ තැන හදපු සිරස මාධ්‍ය ජාලයේ නැන්දලා මාමලා සියලු දෙනාටම සහ මාගේ පාසලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

 

Comments