ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට -15 | Page 3 | සිළුමිණ

ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට -15

වැනීසියේ ඇති ප්‍රධානම ඓතිහාසික ගොඩනැගිලි කිහිපය නැරඹීමෙන් පසු අපට තවත් අමරණීය අත්දැකීමක් විඳගන්නට අවස්ථාව ලැබුණි. ඒ ලෝකයේම ආකර්ශනය දිනාගත් වැනිසියේදී පමණක් දැකිය හැකි මුරානෝ දූපතේ පිහිටි අලංකාර මුරානෝ වීදුරු නිපදවන කර්මාන්ත ශාලාවක් නැරඹීමයි.

සෙන් මාක් බැසිලිකාවේ පසුපසින් ගොස් පාලමකින් එතෙරවී මෙම Vecchia Murano Glass Factory නම් වීදුරු කර්මාන්ත ශාලාවට පිවිසිය යුතුය. මෙම මුරානෝ වීදුරු නිපදවීම සියවස් ගණනක් අතීතයට දිවයන අතර වර්තමානයේ මෙය අතිශයින් ජනප්‍රිය කර්මාන්තයක්. මෙම අත්දැකීම අපේ කණ්ඩායමේ කිසිම කෙනකු මිට පෙර විඳ නොමැති නිසා සෑම කෙනකුම පාහේ සිටියේ කුතුහලය පිරුණු සිතින්.

අප පෙළට ගොස් ගොඩනැගිල්ලට ඇතුළු වීමු. අප පිළිගත් මහත්මා වැනීසියන් මුරානෝ වීදුරු පිළිබඳව පැහැදිලි කළේය. ඉන්පසු අප කැඳවාගෙන ගියේ මේවා නිපදවන ස්ථානයටයි. එය කුඩා කාමරයකි. එහි මෙම වීදුරු නිපදවීමට ගන්නා සිලිකා වැලි උණු කරන උඳුන තිබිණි. මෙහි උෂ්ණත්වය අංශක දහසක් පමණ වෙයි. කාමරයේ කවාකාර හැඩයට ආසන පනවා තිබුණු අතර අප ඒවායෙහි ඉඳ ගතිමු.

මැක් අලිසන්ද්‍රෝ නම් ශිල්පියා මුලින්ම දිගු බටයක් වැනි උපකරණයක්ගෙන උඳුන තුළට කෙළවරක් දමා කරකවා එළියට ගත්විට එහි ගිනියම් වුණු ගුලියක් ලෙස රත්පැහැ සිලිකා දැක ගත හැකිවිය. ඉන්පසු කටින් පිඹිමින් බැලුමක් අකාරයට තරමක් විශාල ගෝලයක් නිර්මාණය කළේය. ඉන්පසු දිගු අඬුවක ආධාරයෙන් එහි විවිධ හැඩ තල මවමින් විනාඩි දහයක පමණ කාලයකදී අපූරු වීදුරු පෝච්චියක් නිර්මාණය කළේ අප සැම විශ්මයට පත්කරමිනි.

මෙම වීදුරු නිපදවීම සඳහා ගන්නා ප්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ සිලිකා වැලි වන අතර එය 70% ක ප්‍රතිශතයකි. එයට ‘fluxes ‘ සහ ‘stabilizers‘ ( සෝඩා සහ ලයිම් ) යොදා ගනිමින් මෙම නිෂ්පාදන සිදුකරයි. එසේම භාවිතා කරන අමුද්‍රව්‍ය අනුව මෙම වීදුරු නිෂ්පාදන විවිධාකාර වෙයි.

පොසිලේන් එනැමල් නම් අමුද්‍රව්‍ය යොදා එමරල්ඩ් විදුරු භාණ්ඩත්, ගෝල්ඩ්ස්ටෝන් නම් අමුද්‍රව්‍ය යොදා ‘ගෝල්ඩන් ග්ලාස්‘ වීදුරු භාණ්ඩත් නිර්මාණය කරයි. ඉන්පසු අප කැඳවාගෙන ගියේ මෙලෙස නිර්මාණය කළ ඔවුනගේ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය වෙතයි. අපගේ නෙත් විස්මයට පත්වූයේ එහි ඇති නිෂ්පාදන දැකීමෙනි. එක් කොටසක විවිධ හැඩයේ විවිධ වර්ණයේ විසිතුරු පහන්, වතුර බොන වීදුරුය.

තවත් කොටසක මාකෝ ගියුමන් ශිල්පියා නිර්මාණය කළ අලංකාරයට තබන විවිධ සත්ව රූපය. තවත් තැනක මානව රූප වැනි කලාත්මක නිර්මාණය.මේවා නිර්මාණය කර ඇත්තේ ෆ්‍රැන්සිස්කෝ රගාසි ශිල්පියා විසිනි. එසේම විශාල විසිතුරු මල් බඳුන් සාගියෝ කොන්ස්තන්තීනි ශිල්පියා කළ නිර්මාණය. තවත් කොටසක ඇත්තේ අතිශයින් සිත් ඇද ගන්නා කරාබු , මාල, වළලු වැනි කාන්තා සිරුරු අලංකාර කරන කෘත්‍රිම මැණික් නිර්මාණයන්ය. මේවා සැබැවින්ම මෙලෙස නිර්මාණය කරන බව අදහාගන්නට නොහැකි තරමට සියුම් සහ වර්ණවත්ය.

මුරානෝ කර්මාන්ත ශාලාවෙන් පිටතට පැමිණි අපට පැය කිහිපයක් වැනීසිය පුරා නිදහසේ ඇවිදින්නට, අවශ්‍ය දෙයක් මිලදී ගන්නට අවස්ථාව ලැබිණි. වැනීසිය වෙළෙඳ නගරයක් නිසා එහි වීදි පුරා විවිධ වර්ගයේ වෙළෙඳ සල් දැකගත හැකිය. සෑම වෙළෙඳ සලකම එහි ඇතුළත ඇති දෑ විශාල වීදුරු තුළින් ප්‍රදර්ශනයට තබා ඇත. මේ නිසා පටු විදි වල සැරි සරමින් මේවා නරඹන්නට කිසිදු බාධාවක් නැත. විවිධ රටවල සංචාරකයෝ ඔබ මොබ සැරිසරමින් මේවා නරඹති.

තමන්ට මිලදී ගන්නට සිතුණු විට ඇතුළට ගොස් මිලදී ගනිති. ඇඳුම් පැළඳුම්, සිහිවටන, මුරානෝ වීදුරු නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ, විදේශීය සාම්ප්‍රදායික මත්පැන්, වයින් වැනි මේ ඕනෑම දෙයක් මෙහි තිබේ. එසේම දුටු පමණින් කුසගිනි දනවන විවිධාකාරයේ යුරෝපියන් බර්ගර් වර්ග වැනීසියට ආවේනික ආහාර ඇති ආපන ශාලා බොහෝය. මෙලෙස ඇවිදිද්දී ගත වෙහෙස නිවා ගන්නට කෝපි කෝප්පයක රස බලන්නට නොසිතුණොත් එය පුදුමයකි.

ඒ යුරෝ දෙකකට පමණ කැපුචිනෝ එකක් පානය කළ හැකි බැවිනි. එසේම තවත් වීදියක එක එක ආකාරයේ අයිස් ක්‍රීම් වෙළෙඳසල් ගණනාවකි. මේවායෙහි ඇති විවිධ වර්ණයේ අයිස් ක්‍රීම් ඒ ඒ වෙළෙඳසලට ආවේනිකය. හේතුව ඒවා නිපදවන්නේ ඔවුන්ගේම වට්ටෝරු වලට අනුව නිසාය. යුරෝ එකකට එක හැන්දක් බැගින් විවිධ වර්ගයේ හැඳි කිහිපයක් යෙදූ අයිස් ක්‍රීම් එකක් කෑවොත් එය පිපාසය නිවාගන්නවාට අමතරව කිසිදා අමතක නොවන රසවත් අත්දැකීමක්ම වනු ඇති.

වැනීසියේ ඇති විවෘත එළිමහන් ස්ථාන වල වෙළෙඳසල් තිබේ. මේවායෙහි ඇඳුම්, සෙරෙප්පු සපත්තු, විසිතුරු භාණ්ඩ කුඩ බෑග් කැප් තොප්පි මෙන්ම විශේෂයෙන් වැනීසිය සිහිවන්නට සිහිවටන මිලදී ගත හැකිය. වැනීසියේ වීදිවල ඇති වෙළෙඳසල් වලට වඩාමේවායෙහි මිල අඩුය.

මෙම වෙළෙඳන්දන්ට අමතරව ජංගම වෙළෙන්දෝද වැනීසියේ දැකගත හැකිය. මොවුන් බොහෝ දෙනෙක් කළු ජාතිකයන් වන අතර බොහෝවිට ඔවුන් මෙහි වෙළෙඳාම් කරන්නේ අනවසරයෙනි. වැනීසියේ පොලිස් නිලධාරීන් නිරන්තරයෙන්ම මෙහි සැරිසරන නිසා ඔවුහු හොඳ සෝදිසියෙන් වෙළෙඳාමේ යෙදෙති. ඇතැම් අවස්ථාවල පොලීසිය ඔවුන් අල්ලාගෙන යනු දැකිය හැකිය. මේ නිසා ඔවුන්ගෙන් කේවෙල් කර ඉතා අඩු මිලට ඒවා මිලදී ගන්නට හැකිය.

වැනීසියේ කොතෙක් ඇවිද ගියත් ගතට එතරම් වෙහෙසක් දැනෙන්නේ නැති තරම්ය. ඒ මෙහි මුහුදෙන් හමා එන සිසිල් සුළඟ නිසයි. මේ නිසා අප කණ්ඩායමේ පිරිස නිදහසේ වැනිසිය පුරා ඇවිද්දෙමු. වැනීසියේ වීදි දිගේ ඇවිද යද්දී කුඩා පාලම් උඩින් යාමට සිදුවෙයි. මේ පාලම් මතින් ගමන් කිරීමද අපූරු අත්දැකීමකි. ඒ වැනීසියේ ගොඩනැගිලි අතරින් තනා ඇති පටු ඇළ මාර්ග වල නිරන්තරයෙන් යන එන ගොන්ඩෝලා දැකීම අපූරු දසුනක් බැවිනි.

බොහෝ දෙනෙක් මෙම පාලමක් මත හිඳ ඈතින් පෙනෙන සංචාරකයන් පිරුණු ගොන්ඩෝලාවක් අසුවෙන ආකාරයට ඡායාරූප ගනිති. සෙල්ෆි ගනිති. සැබැවින්ම වැනීසි ගමනේ එය කදිම සිහිවටනයකි. වැනීසියට මෙම ගොන්ඩෝලාව ආවේනිකය. ගොන්ඩෝලාව යනු ඔරුවකි. එය කළුපැහැතිය. අතීතයේ මෙහි පිරිස ප්‍රධාන ගොඩබිමට යන්නට භාවිතා කර ඇති මෙම ගොන්ඩෝලාව අද වන විට සංචාරකයින් මෙම ඇළ මාර්ග ඔස්සේ ගෙන යමින් ආදායම් උපයා ගන්නා ප්‍රධාන ආදායම් මාර්ගයකි.

ගොන්ඩෝලා පදවන්නන්ට සුවිශේෂී ඇඳුමක් තිබේ. කළු පැහැති කලිසම සහ කළු සුදු ඉරි වැටුණු ටී ෂර්ට් එක එම නිල ඇඳුමයි. ගොන්ඩෝලාවක හය දෙනකුට ගමන් කළ හැකි අතර වැනීසියේ දූපත් අතර ඇළ මාර්ග වල පමණක් ගමන් කරන්නට එක් ගමන් වාරයකට එක් අයකුගෙන් යුරෝ 10 බැගින් යුරෝ 60 ක් අය කරයි. විනාඩි 45 ක් පමණ ගතවන මෙම ගමනට අයකරන මේ මුදල රුපියල් දස දහසක් පමණය.

 එසේම මෙම සංචාරයේ ප්‍රධාන ඇළ මාර්ගයෙන් ඔස්සේ ඈත මුහුදට ගොස් වැනීසියේ සුන්දරත්වය විවිධ කෝණයන්ගෙන් නරඹන්නට යන ගමනට අය කරන ගාස්තුව මීටත් වඩා වැඩිය. සැබැවින්ම ගොන්ඩෝලාවක නැගී වැනීසියේ ගොඩනැගිලි අතරින් යන ගමන අතිශයින් සොඳුරු අත්දැකීමකි. වැනීසියේ විශාලතම ඇළ මාර්ගය ( Grand Canal) ඔස්සේ ගමන් කරද්දි පසුකර යන රියල්ටෝ පාලම ( Rialto Bridge ) ද වැනීසියේ සුවිශේෂි ස්ථානයකි.

මෙය සැන් මාකෝ සහ සැන් පෝලෝ දූපත් යාකරමින් ඉදිකර ඇති ආරුක්කු හැඩයේ පාලමකි. ක්‍රි.ව.1181 දී මුලින්ම මෙය ඉදිකර ඇත්තේ ලීවලිනි. ඉන්පසු වරින් වර මෙය විනාශවි යාම නිසා යළි යළිත් ඉදිකර තිබේ. 1255 දී උස නැව් ගමන් කළ හැකි ලෙස ලීවලින් ඉදිකර ඇති අතර 1503 දී මෙය ස්ථිර ලෙස ගල්වලින් තැනීමට යෝජනා වී තිබේ. මේ අනුව ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් වන ජැකොපෝ සැන්සොවිනෝ, පලාඩියෝ සහ විග්නෝලා යන ශිල්පීන් සැලසුම් ඉදිරිපත් කර ඇත.

මයිකල් ආන්ජෙලෝ ගෙන් පවා උපදෙස් ලබාගත් බව සඳහන් වන අතර ඔවුන් සියලු දෙනාම පාහේ ඉදිරිපත් කර ඇත්තේ ආරුක්කු කිහිපයක් යොදා මෙය තැනීමටයි. වර්තමානයේ දැකිය හැකි ගලින් කරන ලද මෙම තනි ආරුක්කුවේ පාලම සැලසුම් කර ඇත්තේ ඇන්ටෝනියෝ ඩා පොන්ටේ ශිල්පියා විසිනි. 1508 ආරම්භ කර ඇති මෙහි ඉදිකිරීම් අවසන් කර ඇත්තේ 1591 දී වන අතර මෙහි උස මිටර් 7.32 ( අඩි 24) ක් සහ දිග මීටර් 31.80 ( අඩි 104) කි.

වැනීසියේ ගත කළ අවසන් මිනිත්තු කිහිපයේදී මම මෙහි සිටින වීදි චිත්‍ර ශිල්පීන් කිහිප දෙනකුගේම නිර්මාණ දැක ගත්තෙමි. වැනීසියේ පදික වේදිකාවේ පුටුවක් මත හිඳ ඔවුහු සියුම් ලෙස තෙලිතුඩ හසුරුවමින් සිටිති. ජීවිතයේ සැඳෑසමයේ පසුවන මොවුන් විවිධ ශෛලියෙන් සිතුවම් ඇඳ තිබේ. එක් නිර්මාණ ශිල්පියකු කැන්වසය මත සිතුවම් කර ඇත්තේ වැනීසියේ ඇළ මාර්ග ඔස්සේ ගොන්ඩෝලාවේ යද්දී නෙත ගැටෙන දසුන් වන අතර තවත් ශිල්පියකු වැනිසියේ ගොඩනැගිලි සිතුවම් කර තිබේ.

තවත් ශිල්පියකු කැමැති ඕනෑම කෙනකුගේ මුහුණ කාටූන් ශෛලියෙන් නිර්මාණය කර දීමට හපනෙකි. අඟල් 4x4 පමණ නිර්මාණයක් යුරෝ 15ක් පමණ වන අතර විශාලත්ව අනුව නිර්මාණ වල ගණන වැඩිවෙයි. කෙසේ වෙතත් මේ චිත්‍රයක් සැබැවින්ම වැනිසිය සිහිවන්නට කදිම සිහිවටනයකි.

කාලය කෙමෙන් ගෙවීගොස් අප වැනීසියෙන් සමුගත යුතු මොහොත උදාවී තිබේ. මිලාන් නගරයේ ඇති මැල්පෙන්සා ගුවන්තොටුපළින් රාත්‍රී 10.20 ට පිටත්වන ගුවන්යානයට ගොඩවීම සඳහා පැය 4ක් කලින් අප ගුවන්තොටුපොළට යායුතුය. මේ මොහොත මෙම සංචාරයේ අවසන් නිමේෂයද වෙයි. දින ගණනාවක් පුරා මවුරටෙන් සහ නිවෙසින් ඈත්ව සිටි නිසා යළි ආපසු එන්නට සැමදෙනා තුළම ඇත්තේ දැඩි උන්නදුවකි. අප රැගෙන යන්නට බෝට්ටුව පැමිණ තිබේ. යළිත් කවදාහෝ මේ සුන්දරත්වය විඳිමින් වැනීසියේ දවසක් ගත කරන්නට එන බලාපොරොත්තුවෙන් මම බෝට්ටුවට ගොඩවු‍‍ණෙමි.

විශේෂ ස්තූතිය.

QWEST DESTINATIONS ආයතනයේ සභාපතිනි ලලනී පෙරේරා මහත්මියට සහ සංචාරක කළමනාකාරිනී ප්‍රසාදි නානායක්කාර මෙනෙවියට, සංචාරය සංවිධානය කළ ප්‍රසාන්ත සහ චුලානි යුවළට

 

Comments