
ගැලවී පනා පොතු ලැබ රිවිරැසේ දැඩී
හිනැහෙයි අතු බරව පියඹක වගේ පොඩී
කුසගිනි නිවා දෙන සවි බල අගේ වැඩී
නොඅඩුව පිරී ඇත දැන් කිරි ගහේ ගෙඩී
සිරස් අතට ලෙලි ගසමින් රැගෙන ගැට
දොළොස් ජාතියකය කුළුබඩු එකතු කොට
සොලොස්තිනාගේ සුරැතින් හැදෙන විට
පොළොස් ඇඹුල දිව බොජුනකි සිහල රට
පීරා නොබැදි හිස පියයුරු කැකුළු තුඩේ
තොරා රස පහස පොබකළ සළෙල නඩේ
මේ වාරෙදි ගැමි ලඳුනගෙ සිහිනි හැඩේ
ආරණ උකුලු තල දවසට දෙකට වැඩේ
අඹරා බැදුණු පොල් තුනපහ වලට
පමණට තැලූ කොස්ඇට තබමින් පෙලට
දමමින් ඇතිලියක පිසගෙන බෑ කලට
සමවෙද දිව බොජුන කොස් ඇට කළු පොලට
කහ පැහැ මදුළු ගෙන කොස් ඇට රිවිස හදා
පැහැ තුළ පහා ළිප තබමින් දියර යොදා
විහිදෙන සුවඳ දැන බා ගත් කලට මෙදා
මිහිපිට නොමැති බොජුනක රස කෙරෙයි උදා
මැල්ලුම හෙරලි සැකසූ නිසි පදම යෙදී
පොල් සම්බෝල ලුණැඹුලු මුසු කොරලි හොදී
ඇල් හාලේ බතට බතට එක් කල විටදි හැදී
ඉල්පෙයි රස නහර දිව අමරසය දිදී
අටු කොස් කලටි පොල් මුසු කොට අමු අමුවේ
තොල මත තබන නව රසයකි පිරි නැමුවේ
යළි එය උයා සකසා කුසගිනි හමුවේ
පළකළ විකුම ගැන පොදු දන නෙත යොමුවේ
ගිනි නිවමින් කුසේ තුන් දොස අපල පිස
දනවයි සුව අවාරයෙ පල දරන ගස
පැණි වරකාව මී පැණි යයි කියන බස
තනිවෙයි ලදොත් වැළ මදුලක නියම රස
කලහේ කුමාරදාස ලියනගේ ලියූ පද වැලකි.