ජීවි­තයේ කාලය හා වේදි­කාවේ කාලය දෙකක්ද? | සිළුමිණ

ජීවි­තයේ කාලය හා වේදි­කාවේ කාලය දෙකක්ද?

රඟපෑමක සාර්ථකත්වය කාලය මත රැඳීපවතින්නේ යැයි කියන්නට කැමැත්තෙමි. මෙයින් මා අදහස් කරන්නේ දැනට ‘ටයිමින්’කියා බොහෝ විට අදහස් කරන දෙයම නොවන්නට ඉඩ ඇත. සරල වශයෙන් කියන්නේ නම් සාර්ථක නළුවකු වේදිකාවේ දී හෝ කැමරාව ඉදිරිපිට දී හුස්ම ගන්නේ ද සාමාන්‍ය ජීවිතයේ දී හුස්ම ගන්නා වේගයෙන් යැයි කිව හැකිය. වේදිකාව මත දී හෝ කැමරාව ඉදිරියේ දීඔහුගේ ඔරලෝසුව සාමාන්‍ය ජීවිතයේ දී ඔහුගේ ඔරලෝසුවම විනා වෙනත් ඔරලෝසුවක් නොවේ.

කෙසේ වුවත් මෙය සිතන තරම් පහසු නොවේ. උදාහරණයක් වශයෙන් චිත්‍රපටයක පැය දෙකහමාරකින් පෙන්වනු ලබන්නේ සමහර විට අවුරුදු තුන හතරක හෝ ශතවර්ෂ දෙක තුනක සිදුවීමක් විය හැකිය. සමහර විටක සැබෑ ජීවිතයේ විනාඩි පහක සිදුවීමක් චිත්‍රපටයේ දී පැය දෙකක සිදුවීමක් බවට පත්වේ. එවිට නළුවකු විසින් මේ කාලය සමාන කිරීම කරන්නේ කෙසේද?

නළුවෙකුගේ සාර්ථකත්වය වනාහී ජීවිතයම රංගනය තුළට ගෙන ඒමය. ජීවිතයේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ කාලයයි. එනම් කාලය තුළ අපේ චලනයයි. වෙනස්වීමයි. ක්‍රියාකාරීත්වයයි. නළුවකු රංගනය මගින් උත්සාහ කරන්නේ ඒජීවිතයම නැවත ප්‍රති නිරූපණය කිරීමටය. නිර්මාණය කිරීමටය. එහි දී ඔහුට ජීවිතයේ අනෙකුත් අංග මෙන් ම කාලයෙන් ද පිට පැනීමට නොහැක. එනම් සාමාන්‍ය ජීවිතයේ දී හුස්ම ගන්නා වේගයට වඩා වේගයෙන් හුස්ම ගැනීමට නොහැක. සාමාන්‍ය ජීවිතයේ දී කතාකරන වේගයට වඩා වේගයෙන් කතා කිරීමට නොහැක.

සාමාන්‍ය ජීවිතයේ දී කතා කරන වේගය වෙනස් වේ. එනම් කලබලයට පත්වූ විට දී කතා කරන වේගය වෙනස්ය. බියට පත් වූ විට කතා කරන වේගය වෙනස්ය. හුස්ම ගන්නා වේගය වෙනස්ය. ඒ ඒ අවස්ථාවන්ට අදාළ ඒ වේගයන් රංගනය තුළ දී ද යම් ආකාරකට එලෙසින් ම පවත්වාගත යුතු වේ. රංගනය අපට දැනෙන්නේ එවිටය. නිදැල්ලේ ගහක් යට හාන්සි වී සිටිනවිට දී පවතින කම්මැලි අලස සුවපහසුව, කාලය ගලායාමේ අලස භාවය එබඳු චරිතයක් අවස්ථාවක් වේදිකාව මත දී නිරූපණය කරන විට දී පවත්වාගන්නේ කෙසේද? ගසක් යට පවතින සිසිල වෙනුවට වේදිකාවේ ඇත්තේ ආලෝක ධාරා පහන්වල උණුසුමයි. ගසක් යට හුදකලාව වෙනුවට ඇත්තේ ප්‍රේක්ෂකාගාරයේ සිට වේදිකාව වෙත දැල්වුණු නෙත් දහස් ගණනකි. මෙවන් තත්ත්වය තුළ ගහක් යට පවතින කාලයේ රිද්මය නළුවා තමාට ආරෝපණය කරගන්නේ කෙසේද? ගහක් යට කාලය වේදිකාව මතට ගෙන එන්නේ කෙසේද? මේ අනුව නළුකමට චරිතයට ආරෝපණය වීම එක්තරා ආකාරයකට කාලයට ආරෝපණය වීමක් යැයි ද කිව හැකිය.

අනෙක් අතට වේදිකාව මත පවතින ඔරලෝසුව හා ප්‍රේක්ෂකාගාරයේ පවතින ඔරලෝසුව වෙනස්ය. එනම් දෙකම පවතින්නේ කාල දෙකකය. මේ කාල දෙක එලෙසින්ම පවත්වා ගැනීමේ හැකියාව ඇත්තේ නළුවාටය. රංගන ශිල්පියාට හෝ රංගන ශිල්පිනියටය. වේදිකාව තුළ වෙනම වේලාවක් මැවීමේ හැකියාව ඔහු සතු විය යුතුය. ඒ වේලාව ප්‍රේක්ෂකාගාරයේ පවතින වෙලාව නොවේ. එහෙත් එය ජීවිතයේ වේලාව විය යුතුය. සජීවී චරිතයක් සජීවී කාලයක් තුළ‘සජීවී’කරවීම නළුවාගේ කාර්ය භාරය වේ. අපට වෙනස් චරිත හෝ ජීවිත හමුවීම පමණක් නොව අපේ වේලාව තුළ ම වෙනත් වේලාවක් අප හමුවේ දර්ශනය කරවීම නොඑසේ නම් ජීවමාන කරවීම ද නාට්‍යයකින් හෝ චිත්‍රපටයකින් සිදුවන්නේ යැයි කිව හැකිය. එය අප අත්දකින වේලාව තරම් ම විශ්වසනීය විය යුතුය.

මෙයට රිද්මය යැයි කිව හැකිවුව ද ඒ වචනයෙන් පමණක් විග්‍රහ කිරීම ප්‍රමාණවත් යැයි නොසිතමි. රිද්මය ග්‍රහණය කරගැනීමට වඩා ජීවිතය ග්‍රහණය කර ගැනීමක් හා එය නැවත ප්‍රතිරූපණය කිරීමක්ඒ තුළ පවතියි. කාලයෙන් තොරව ජීවිතය ග්‍රහණය කරගැනීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු යැයි නොසිතමි. සිනාවක සිට කෝපය දක්වා මුහුණක වෙනස්වීම යනු කාලය ඔස්සේ මුහුණේ මස්පිඩුවල පවතින වෙනස් වීමක් යැයි සරලව කිව හැකිය. එහෙත් අප එයට ආශක්ත වන්නේ කාලය සමඟ සිදුවන එම මුහුණේ වෙනස්වීම අපට විශ්වසනීය වුවහොත් පමණි. සිනාවක සිට කෝපය දක්වා එම වෙනස්වීමට අප නොසිතන තරම් කාලයක් ගත වුවහොත් හෝ නොඑසේනම් නොසිතන තරම් ඉක්මනින් සිදුවුවහොත් ඒ රංගනය සාර්ථක නොවේ. මේ වෙනසේ වේගය ඒ අදාළ අවස්ථාව අනුව වෙනස් වන බව ඇත්තය. එහෙත් ඒ අදාළ අවස්ථාවට සරිලන ආකාරයෙන් එම වේගය විශ්වසනීය විය යුතු වේ. මෙය හරියටම කළ හැක්කේ හොඳ නළුවෙකුට පමණි. නළුකම් බිඳවැටෙන්නේ අවශ්‍ය වෙනස්කම ප්‍රමාද වී සිදුවන විටය. නොඑසේනම් සිතනවාට වඩා ඉක්මනින් සිදුවන විටය. එවිට විශ්වසනීයත්වය බිඳ වැටේ. නැතිනම් එය නළුකම නොවේ. ජෝ අබේවික්‍රමගේ රංගනයක් ගැන සිතීම මා කියන්නට උත්සාහ කරන දෙය වටහා ගැනීමට ඔබට උපකාරී වනු ඇත.

එනම් සැබෑ ජීවිතයේ කාලය මෙන් ම රංගනය තුළ වන ජීවිතයේ කාලය (වේගය) ද අප (රංගන ශිල්පියා) අවබෝධ කරගත යුතුය. ජීවිතයේ කාලය අපට අමුතුවෙන් අවබෝධකර ගැනීම අවශ්‍ය නොවේ. එනම් එය ඉබේ සිද්ධවේ. එහෙත් වේදිකාව හෝ කැමරාව ඉදිරිපිට ද එම චරිතයට ක්‍රියාවට අදාළ කාලය/වේගය ජීවිතය තුළ ඉබේ සිදුවන්නා සේ ම නිරවද්‍ය භාවයෙන් යුතුව නළුවා විසින් සොයාගත යුතුය. නළුවෙකුට මුහුණපෑමට සිදුවන අභියෝගය එයයි. ඇතැම් නළුවන් මේ කෞශල්‍යය උපතින්ම හිමිකර ගෙන ඇති බවක් ද කිව හැකිය. ජෝ අබේවික්‍රම එවන් නළුවකු යැයි සිතමි. එවන් අග්‍රගණ්‍ය රංගන ශිල්පීන් දෙස බැලීම මේ කාරණය හඳුනා ගැනීමට අනෙකුත් නළුවන්ට උපකාරී වනු ඇතැයි සිතමි.

සැබවින්ම විශිෂ්ට නළුවෙකුගේ විශිෂ්ටතම ලක්ෂණය කාලය නිර්මාණය කිරීමට ඔහු සතු හැකියාව යැයි සිතමි. එය ජීවිතය නිර්මාණය කිරීමක් ද වන්නේ ඒ නිසාමය.

මෙය නළුකම පිළිබඳ වෙනස් හෝ විශේෂ දැක්මක් නොවේ. කාලය පිළිබඳ කතාව ද අරගෙන නළුකම යනු කුමක්දැයි පෙන්වා දීමට දරන ලද උත්සාහයක් පමණි. මේ මා කියා ඇති කිසිදු කරුණක් මේ ලිපියේ ඇති පරිදි අවබෝධකර නොගෙන එහෙත් මා මෙහි අදහස් කරන දෙය ප්‍රායෝගික වශයෙන් ඉතා සාර්ථකව සිදුකරන රංගන ශිල්පීන් ඕනෑ තරම් සිටිය හැකිය.

 

Comments