HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

 

නාන කාමරවලදී නිවී ගිය හොලිවුඩ් තරු

නාන බාල්දියේ ගිලීමෙන් සිදුවූ කලා ලොව මරණ ගැන යළි කතා බහක් ඇතිවුණේ බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ අකල් මරණයත් සමඟයි.

හොලිවුඩ්පුරයේ ද මෙවැනිම හදිසි මරණ කිහිපයක්ම පසුගිය දශක ගණනාව තුළ සිදුවුණා. ඒ අතරින් මෑතකදී සිදුවූ සුපිරි ගායිකා විට්නි හූස්ටන්ගේ මරණය කාටත් මතකයි. ඇය මිය ගොස් තිබුණේ ද තම නාන කාමරයේදීයි. නාන බාල්දියට වැටී එහි ගිලීමෙන් ඇය මියයන විට ඒ අසල වූ කුඩා හැන්දක කිසියම් මත්ද්‍රව්‍යයක් තිබුණු බව පසුව හෙළි වුණා.

විට්නිගේ දියණිය වූ ජනප්‍රිය ගායිකා බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් මිය ගියේ ද නාන බාල්දිය තුළ ගිලීමෙන්. ඒ වනවිට 23 වැනි වියෙහි පසුවූ බොබි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බව පසුව හෙළිදරව් වුණා. අධිකව මත්ද්‍රව්‍ය ගැනීම නිසා ඇගේ මොළයට හානි සිදුවීමෙන් පසුව ඇගේ සිරුර නිරුද්ධවී නාන කාමරය තුළ වැටී මිය යන්නට ඇතැයි ප්‍රකාශ වුණා.

විට්නි හූස්ටන් 2012 පෙබරවාරි 11 දා මිය ගියා. ඇගේ දියණිය, බොබි ක්‍රිස්ටිනා මිය ගියේ 2015 ජූලි 26 දායි.

මීට දශක 4 ½ කට පමණ පෙර මිය ගිය ජනප්‍රිය ගායිකාවක සහ නිළියක වූ ජූඩි ගාලන්ඩ් ද සිහිපත් කළ හැකියි. ඇය මිය ගොස් තිබුණේ ද සිය නිවසේ නාන කාමරය තුළයි. එක්තරා ඖෂධ වර්ගයකින් පෙති කිහිපයක්ම එකවර ගැනීමෙන් පසුව ඇය එලෙස මිය ගිය බවයි මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වුණේ.

හොලිවුඩයත් කාන්තා නියෝජනය ඉල්ලයි

දේශපාලනයේදී කාන්තාවන්ගේ සහභාගිත්වය වැදගත් බව හඟවන හඬක් හොලිවුඩ් පුරයෙන් ද මතුවෙලා. සුපිරි හොලිවුඩ් නිළියක වන රීස් විදර්ස්පූන් පවසන්නේ ඇමෙරිකානු දේශපාලනයට කාන්තාවන්ගේ සහභාගිත්වය බෙහෙවින් ම අවශ්‍ය වන යුගයක් දැන් උදාවී ඇති බවයි. මැතිවරණවලදී කාන්තාවන් දැනට වඩා පත්කරගත යුතු බවත් ඇය පවසනවා.

චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසින් ද නමක් දිනා සිටින රීස් විදර්ස්පූන් පවසන්නේ වත්මන් ලෝකයේ කාර්යාල සහ අනෙකුත් ආයතනවලදී කාන්තාවන්ට සිදුවන විවිධ අඩන්තේට්ටම් වැළැක්වීමට දේශපාලන නායිකාවන් දැනට වඩා සිටිය යුතු බවයි.

රීස් විදර්ස්පූන් එලෙස ප්‍රකාශ කළේ ‘මී ටූමූව්මන්ට්’ නම්වූ කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරයට තම සහයෝගය පළ කරමිනුයි. මේ ව්‍යාපාරය බිහිව‍ූයේ හොලිවුඩ් සිනමාව තුළ ඔඩුදුවා ඇති කාන්තා අතවර වැළැක්වීමටයි.

හැදර් ලොක්ලියර් අත්අඩංගුවට

හැදර් ලොක්ලියර් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් දැක පුරුදු නිළියක්. මෙරට විකාශය ව‍ූ ‘මෙල්රෝස් ප්ලේස්’ සහ ‘ඩිනස්ටි’ වැනි ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කළ මේ සුරූපී නිළියගේ පෞද්ගලික ජීවිතය ගැටුම්වලින් පිරුණු එකක් බවට පත්වෙලා.

පසුගියදා ඇය පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ, ඇගේ නිවස තුළ සිදුවූ දබරයක් සන්සිදුවීමට ගිය පොලිස් නිලධාරියකුට ඇය පහර දීම නිසයි. අත්අඩංගුවට පත්වූ හැදර්, ප්‍රාදේශීය අධිකරණයක් වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී ඩොලර් 20,000 ක ඇපයක් මත ඇයව නිදහස් කෙරුණා.

දැනට 56 වැනි වියෙහි පසුවන, 20 හැවිරිදි දියණියකගේ මවක ද වන මේ හොලිවුඩ් තරුව වසර කිහිපය තුළ වරින් වර ආතතියෙන් පෙළෙමින් සිටි බවත් ඒ නිසාම ඇයට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රැඳී සිටීමට සිදුවූ බවත් පැවසෙනවා.

ස්කූබි ඩූ චරිතවලට පණ ඇවිත්

ග්වෙන් ස්ටෙෆනි සහ බ්ලේක් ෂෙල්ටන් ජනප්‍රිය ගායක ගායිකා යුවළක්. මේ දෙදෙනා ලොව ප්‍රචලිත රූපවාහිනී කාටුන් කතා මාලාවක ප්‍රධාන චරිත දෙකක් විලසින් පෙනී සිටියා. ඒ, ‘ස්කූබි ඩූ’ කතා මාලාවේ ඩැෆ්නි සහ ෂැගී හැටියටයි. ග්වෙන් ස්ටෙෆනිගේ පුංචි පුතුගේ සිව් වැනි උපන් දිනය වර්ණවත් කරමිනුයි, ඇය සහ බ්ලේක් එලෙස වෙස් මාරු කරගත්තේ.

ග්වෙන් තම හිසට රතු පැහැති බොරු කොණ්ඩයක් දමා කොළ පැහැති ගෙල වැස්මක් (ස්කාෆ් එකක්) පැලඳ, දම් පැහැති ගවුමක් හැඳ ඩැෆ්නි බවට පත්වුණා. බ්ලේක්, තම හිසට යොදා ගත්තේ ෂැගී ගේ හිස කෙස් සිහි ගන්වන බොරු කොණ්ඩයක්. ඔහුගේ ඇඳුම ද ෂැගී ගේ ඇඳුමට සමාන ස්වරූපයක් ගත්තා. මේ දෙදෙනා විතරක් නොවෙයි. ස්කූබි නම්වූ බලු සුරතලාත් සාදයට එකතු වුණා. ස්කූබි ලෙස නිරූපණයක යෙදුණේ ඒ අයුරින් වෙස් ගන්වා සිටි අයෙක්.

 

Comments