සමීප රූප | සිළුමිණ

සමීප රූප

අස්වනු නෙළා ගන්නේ ගොයම් කෙතක දී හෝ හේනක දීය. එවන් මොහොතක අප දකින දර්ශන සුන්දරය. ඇසෙන ගායනා මිහිරිය. අස්වනු නෙළා ගන්නවුන්ගේ සතුට පිරි මුහුණු දැකීම ප්‍රියජනකය. එහෙත් පසුගිය දෙවැනිදා සැන්දෑ යාමයේ දී ඉන්ද්‍රචාපගේ සමීප රූපාවලිය වැසීගියේ අස්වනු නොව රන් අස්වනු නෙළා ගන්නා පිරිසකගේ මුහුණුවලිනි.

ගොයම් කෙතක දී හෝ හේනක දී නොව කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ය. මේ රන් අස්වනු නෙළාගත්තෝ කවරහුද? ඔවුන් පැමිණ සිටියේ කොහි සිටද? ඔවුන් බොහෝ දෙනාගේ මුහුණු ඉන්ද්‍රචාප දැක හුරු පුරුදුය. ඔවුන් කවුරුන්දැයි ඉන්ද්‍රචාප මෙලෙස හඳුනා ගනී.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පවත්වනු ලබන රාජ්‍ය සම්මාන ප්‍රදාන උළෙල සියල්ලෙහිම තිරය පිටුපස සිටින්නෝ ඔවුහුය. වසරක් ගෙවී අනෙක් වසර එළඹි දා සිට ඔවුනට විරාමයක් නොමැත. රාජ්‍ය සාහිත්‍ය, නාට්‍ය හා ටෙලි නාට්‍ය, සංගීත, නර්තන, චිත්‍ර ශිල්පය, ඡායාරූප ශිල්පය, ප්‍රමුඛ කලා හා සංස්කෘතික ක්ෂේත්‍ර රැසක විශිෂ්ටයන්ට සම්මාන පිරිනැමීමේ අතිශය දුෂ්කර ක්‍රියාවලියක නිරතව, පැසසුමට වඩා ගැරහුමට ලක්වන ඔවුනට කිසිදිනෙක තම කලා කුසලතා හඳුනාගැනීමට, එවැනි කුසලතා ඇගැයෙන රාජ්‍ය සම්මාන උළෙලකට සහභාගීවීමේ වරම නොලැබෙන්නේ ඔවුන් අනුබද්ධ රජයේ දෙපාර්තමේන්තුවේ අණපනත්, නීතිරීති හා රෙගුලාසි නිසාය. ඔවුන් අතර කෙතරම් දක්ෂ කවියෙක්, කිවිඳියක්, නාට්‍යකරුවෙක්, චිත්‍ර ශිල්පියෙක් සිටියද රාජ්‍ය මට්ටමේ සම්මාන උළෙලකට සහභාගී වී තරග වැදීමේ නිදහස අහිමිය.

මෙරට අන් ඕනෑම රජයේ දෙපාර්තමේන්තුවක, බැංකුවක සේවකයකුට වසරේ හොඳම කවියා, කෙටිකතාකරුවා, ගායකයා වීමේ වරම් තිබුණ ද පසුගිය දෙවැනිදා රන් අස්වනු නෙළාගත්තවුන්ට ඒ වරම අහිමිය. ඔව්හු කවුරුන්ද? ශ්‍රී ලංකාවේ උතුරු කොනේ සිට දකුණු කොන දක්වා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජකාරියට කැපවුණු සිංහල, දමිළ, මුස්ලිම් හා බර්ගර් සහෝදර සහෝදරියන්ය. පිච්ච මලින් වරල සරසා නළලත කුංකුම තිලකයෙන් සැරසුණු දමිළ යුවතියකගේ සුන්දර මුහුණක් මෙන්ම දෙතොල් හා නිය ආලේපයෙන් හැඩවී වත්සුණු ගල්වා දෙබැම සරසා විසිතුරු වතින් සැරසුණු දකුණේ යුවතියකගේ සමීපරූපය ද ඉන්ද්‍රචාප සිත් පැහැර ගත් බව සටහන් කළ යුතුය.

අනූෂා ගෝකුළ ප්‍රනාන්දු අධ්‍යක්ෂවරියගේ සංකල්පනාව හා මගපෙන්වීම රන් අස්වනු නෙළාගැනීමේ පසුබිම වූ බවයි ඉන්ද්‍රචාප දුටුවේ. රන් අස්වනු නෙළාගන්නට පෙර රංගගත වූ ක්ෂිණක කෙටි රංගය වුව අපට කියාපෑවේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සතු සැඟවුණු කලා කුසලතා කොපමණ වේද කියායි. එකී කෙටි රංගනයේ, රචනය, නිෂ්පාදනය හා රංගනය ඉතා උසස් මට්ටමක වූ බව ඉන්ද්‍රචාපගේ හැඟීමයි. ඉන්ද්‍රචාප දැක ඇති බොහෝ සේවක සේවිකාවන්ගේ රංගන හැකියාව මොනොවට පෙන්වූ අවස්ථාවක් ලෙස එය සමීපරූපයේ සටහන් වී ඇත. ඔවුන්ගේ නිර්මාණ හැකියාව පිළිබඳ යම් ඉඟියක් හෝ ලබාගැනීමට සමරුවේ පළවූ කවි හෝ චිත්‍ර, ඡායාරූප උපකාරී වූවත් ඔවුන්ගේ ගායන, රංගන හැකියාව දැක බලාගැනීමට අවස්ථාව නොසැලසීම රන් අස්වනු නෙළාගත් උළෙලේ අඩුපාඩුවක් සේ ඉන්ද්‍රචාපට දැනිණ. හොඳම ගායක ගායිකා, අභිරූපණ ශිල්පියා, හොඳම කෙටි නාට්‍යය, උළෙලේ වැඩසටහනට ඇතුළත්විය යුතුව තිබිණ.

කෙසේ වූවත්, සුධීර නිලංග විතාන, කේ.එම්.එස්.එම්.චතුරංගී, බී.ජී.එච්.ඒ. දුලංති, කේ.ජී. වන්ත කීඑතිනායක, පත්මා සමරවීර, චන්දිමා චූලංගනී, අනූෂ සංජීව පීරිස්, එස්.ශිවනේෂන්, නිශ්ශංක විමලවීර, ශෂිනි අනූපමා ආදී කණ්ඩායම රන් අස්වනු මංගල්‍යය යථාර්ථයක් බවට පත්කිරීමට උරදුන් බව ඉන්ද්‍රචාපගේ සමීපරූපයට පෙනිණ. 2019 රන් අස්වනු නෙළාගැනීමේ උළෙල වඩාත් අර්ථවත් හා සුන්දර අත්දැකීමක් වේවාය යන්න ඉන්ද්‍රචාපගේ පැතුමයි.

Comments