
සිහිනය පුරාම සිහිවුණා
මේ ඇස් කතාව තේරුණා
ලසෝ ගිනි නිවා දැමූ
සඳමයි සදා පැතූ ....
හිමි වෙයි කියා සිතූ
එනමුදු දුරින් විසු
දෛවය සතු වු - ලෙස හිමිවු
ඔබ මම ඇය මැදිවූ
නීල දෙනුවන මාව සනසන
සිහිනවල තනිවූ
කෝල සිතමත හීන දනවන
රහස හද කැළඹු
හදේ කැලතු සිහිනේ මතුවූ
මගේ සඳ ලැබේවිදෝ - ආශාදලුපිපේවිදෝ
දෑස අබියස දෑත හිමිවන
සිහින ඉටු වෙයිදෝ
දෛවය සතුවු ලෙස හිමිවු
ඔබ මම ඇය මැදිවූ .....
සිහිනය පුරාම....
ත්‍රිකෝණකාර ආදර කතන්දර අද සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඇත්තටම මෙවන් ආදරයක් තුළ සැබෑ ආදරයක් හඳුනාගැනීමට නොහැකි තරම්.
ඔහු හදවතින්ම ආදරය කරන්නේ තරුණියන් දෙදෙනාගෙන් කුමන හදවතටද? නිශ්චිතව කිව හැක්කේ කාටද? ඒ බව දන්නේ ඔහුගේ හෘද සාක්ෂිය පමණකි. ඔබටද මටද ඒ ගැන විනිශ්චයක් ලබා දිය නොහැකිය.
දෙරණ නාළිකාවෙන් විකාශය වන ඉන්දියාවේ “දේහත්” නැමැති කතාව අනුසාරයෙන් සිංහලයට හඬකවා මෙරට ප්‍රේක්ෂක ඔබේ හදවත සොරාගන්නට සමත්වී ඇති “ඔබත් මමත් ඇයත්”නම් සොඳුරු වූ කතා මාලාව තුළින් ගෙනහැරෙන්නේ මෙවන්වූ තුන්කොන් ආදර කතාවකි.
චරිත් කොතලාවල හඬ අධ්‍යක්ෂණය කරමින් ෂෙහාන් ගලහිටියාව තේමා ගීය රචනා කරමින් ‘ඔබත් මමත් ඇයත්’ නම් ආදරණීය සොඳුරු කතාව ගීතවත් වන්නේ පුර්ණ සචින්තගේ මියුරු හඬින්ය.
කතාවේ එන ආකාරයට අර්ජුන්, මායා සහ සාංචි යන තරුණියන් දෙදෙනාටම සමීපය. එහෙත් අර්ජුන් වඩාත් ඇල්ම බැල්ම දක්වන්නේ මායාටය. ඇය ධනවත් තරුණියකි. සාංචි මධ්‍යම පන්තික තරුණියකි. අර්ජුන් අසල් වැසියාය. කුඩා වියේ සිටම එකට හැදුණු හොඳම මිතුරියයි. මායාට වඩා ඇය මනුසත්බවකින්ද පිරිපුන්ය. එසේම ඇය හදවතින්ම අර්ජුන්ට ආදරය කරයි. අර්ජුන්ද දිළිඳු පවුලක කෙනෙකි. දක්ෂ ඡායරූප ශිල්පියෙකි. ඔහුගේ ඒකායන අරමුණ කෙසේ හෝ තම අරමුණ වෙතට යාමය. ඒ සඳහා පහසුම මඟ වන්නේ මායාගේ ආදරයයි. ඒ අරමුණ ඇතිව ඔහු මායාට පෙම් බඳින්නේද? නොඑසේ නම් අර්ජුන් මේ දෙදෙනාගෙන් සැබෑවටම ආදරය කරන්නේ කාටද ?
එක් විටක ප්‍රේක්ෂක ඔබට මට නැගිය හැකි පැනයක්සේ ඒ අර්ජුන්ගේ අරමුණ වෙත යාමට ධනවත් මායාට ආදරය කරන්නේ ද ? සාංචිට මායාට තරම් ළං නොවන්නේ ඇය මනුසත් බවින් පොහොසත් වුවද ධනවත්කම අතින් පහළ නිසාද? කාලීන සමාජයේදී මෙවන් වූ ආදර කතාවන් ඔබට මට මුණ ගැසී ඇති. ඒ තුළ සොඳුරු වූ ආදරයට ලන්සු තබන්නට වී ඇතිද? ආදරයේ පිවිතුරු බව කෙසේ අරුත් ගන්වන්නද? “ඔබත් මමත් ඇයත්” තේමා ගීතය හරහා ප්‍රේක්ෂක ඔබට කියාපාන පණිවිඩය එයය.