තෙව­රක්ම සම්මාන ලැබුවේ දුව රංග­න­යට දක්ෂ නිසයි | Page 2 | සිළුමිණ

තෙව­රක්ම සම්මාන ලැබුවේ දුව රංග­න­යට දක්ෂ නිසයි

 

වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරයෙහි දශක හතරක් පමණ නොනවත්වා රංගනයෙහි නිරතවන රංගන ශිල්පීන් සිටිනුයේ අතළොස්සකි. එම අතළොස්ස අතර ගාමිණී හෙට්ටිආරච්චි නමැති කලාකරුවා ප්‍රමුඛස්ථානයෙහි වැජඹෙයි.ඔහුගේ දියණිය ප්‍රතිභා හෙට්ටිආරච්චි පියාගේ අඩිපාරේ යමින් දක්ෂ රංගනයක නියැළෙන්නේ පියා මෙන්ම කලාවේ දිගු ගමනක් යෑමටයි .ඇයද අද වන විට සම්මානනීය කලාශිල්පිනියන්ගේ ලැයිස්තුවට එක්වී හමාරය. මෙවර 'සඳවට රන්තරු' විශේෂාංගයට එක්වූ මේ පියාත් දියණියත් ඔවු නොවුන් ගැන කී කතායි මේ.

 

ඔබ මේ දිනවල පුංචි තිරයෙන් ඈත් වෙලාද?

රංගනයෙන් ඈත් වෙන එක හිතන්නවත් බැහැ‍.ඒ තරමටම රංගනය ජීවිතයට බද්ධ වෙලා. සුපුරුදු පරිදි ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට රංගනයෙහි යෙදෙනවා. මේ දිනවල විකාශය කෙරෙන සිඳූ, සඳ පිනි වැස්ස, ටෙලි නාට්‍ය සහ රැජිණියෝ චිත්‍රපටයේ වැඩ කරගෙන යනවා. ඒ වගේම තවත් අලුත් චිත්‍රපටයක රූගත කිරීම් සඳහාත් සහභාගිවෙනවා.

ඔබේ දියණිය ප්‍රතිභා රංගනයෙන් ඉවත් වෙලාද?

ප්‍රතිභා මේ දිනවල රඟපාන්නේ ම නැති තරම්. ඒ ඇයගේ දරුවාට තවම අවුරුදු දෙකයි මාස අටක් වන නිසා. දුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සේවය කරනවා. මේ නිසා ඇය තරමක් කාර්ය බහුලයි. පුතා ටිකක් ලොකුවූ විට දුව නැවතත් රංගනයේ යෙදෙයි.

ඔබ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස ප්‍රතිභාගේ රංගන හැකියාව ගැන මොකද හිතෙන්නේ?

ප්‍රතිභා පසුගිය වසරවල පැවැත්වූ සම්මාන උළෙල තුනකදීම සම්මාන ලැබුවා. දක්ෂ නැත්නම් එහෙම සම්මාන ලැබෙන්නෙ නැහැනේ. එයාගේ රංගනයේ වෙනස්ම ශෛලියක් දකින්න ලැබෙන්නේ. එයට රසිකයන් කැමැතියි. විශේෂයෙන්ම දුව නර්ථනය, ගීත ගායනය වගේම ක්‍රීඩාවටත් දක්ෂයි. ඇය තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධිධාරිනියක්.

මෙරට ටෙලි නාට්‍ය කලාවේ දශක හතරක පමණ කාලයක සිට ඔබ අඛණ්ඩව රංගනයෙහි යෙදෙනවා. ඒ අතර'දඩබිම' ටෙලිනාට්‍ය මෙරට සමස්ථ ටෙලිනාට්‍ය කලාවම වෙනස්ම මාවතකට යොමුකළ ටෙලි නාට්‍යයක්.මතකයිද ඒ අතීතය.

දඩබිම ටෙලිනාට්‍ය මගේ රංගන හැකියාව මනාවට පෙන්වීමට හැකි වූ ටෙලිනාට්‍යයක්. මයිකල් නැමැති මන්ද බුද්ධික පුද්ගලයකුගේ චරිතයක් එහි නිරූපණය කළේ. එම රංගනයට 1991 දි හොඳම නළුවාට හිමි සම්මානය හිමිවුණා. ඉන් පසුව

යශෝරාවය, සිහින පුරය, මිල්ලෑව වලව්ව, නිසල අරණ, පියපත් අරණ, උඩුගං බලා ආදි ටෙලි නාට්‍ය සියයකට වැඩි ප්‍රමාණයක රංගනයෙන් දායක වුණා. චිත්‍රපට පහළොවක පමණ රඟපෑවා. 1985 සිට මෙරට වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන කලා මාධ්‍යයන් තුනෙහිම අඛණ්ඩව රංගනයෙහි නිරතවන රංගන ශිල්පියෙක් මම.

කලක් වේදිකාව ඔබේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබුණා. මේ දිනවල වේදිකා නාට්‍ය රංගනයෙහි නිරතවන්නේ නැද්ද?

වේදිකාව තමයි මගේ ජීවිතය. මගේ පාසල කොළඹ නාලන්දා විද්‍යාලය. එතනින් තමයි මගේ වේදිකා නාට්‍ය රඟපෑම ආරම්භවුණේ. සෝමලතා සුබසිංහ මහත්මිය අපේ පාසලේ ගුරුවරියක්. ඇයගේ මගපෙන්වීම මත වේදිකා නාට්‍ය රංගනයට යොමුවුණා. ඔය කාලයේදි ලයනල් වෙන්ට්ඩ් එකේ රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය රංගනය පිළිබඳව හැදෑරුවා. ඒ කාලයේ සෙක්කුව, විනිශ්චය, වෙඩික්කාරයා, දෑවැද්ද, ඇසල සඳ අවන්හල, සුපිරි සැණකෙළි, මී පුර වැසියෝ ඇතුළු වේදිකා නාට්‍ය 100 ක පමණ රඟපෑවා. 1995 බවලතා නාට්‍ය නිෂ්පාදනය කළා.මේ වනවිට ඔටුනු හොරා වේදිකා නාට්‍ය එක්ක රට වටේ යනවා.

ඔබ රංගනයෙහි යෙදෙන බොහෝ චරිත බොහොමත් තාත්විකයි. එතරම් තාත්වික රංගනයක නියැළෙන්න විශේෂ හැකියාවක් ලැබුණේ කොහොමද?

මම රැකියාව කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියකු ලෙස. එහිදී නිතරම අපිට මුණගැසෙන්නේ සාමාන්‍ය මිනිසුන්. එම මිනිසුන්ගේ ගති ලක්ෂණ මට හොඳට හුරුයි. එවැනි අත්දැකීම් තමයි මගේ රංගනය සාර්ථක කර ගැනීමට ඉවහල් කරගන්නේ.


තාත්තා දඩබිමේ මයිකල්ට කළ රඟපෑම් හරිම තාත්විකයි

රංගන ශිල්පිනී ප්‍රතිභා හෙට්ටිආරච්චි

• ප්‍රතිභා මොකද මේ දවස්වල නිහඬ.

පොඩ්ඩක් විතර නිහඬයි. බබා තාම පුංචි නිසාත් රැකියාවේ කාර්ය බහුලත්වය හේතුවෙන් තමයි ටිකක් විතර නිහඬවන්න සිදුවුණේ. එහෙත් පසුගිය දිනවල ලයනල් වෙන්ට්ඩ් හිදී රඟදැක්වු කදා වළලු නාට්‍යයේ සිටු දුවට රඟපෑවා. 2006 සිට එම නාට්‍යයේ සිටු දුව ලෙස රඟපාන්නෙ මම.

• ප්‍රතිභාගේ අම්මා නේද එහි මිත්තණිය.

ඔව්. මගේ අම්මා සුභාෂිණි හෙට්ටිආරච්චි තමයි මගේ මිත්තණිය ලෙස රඟපාන්නේ. ඇය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමේ රංගන ශිල්පිනියක් වගේම ගුරුවරියක්.

• ඒ කියන්නෙ ඔබගේ පවුලම කලා පවුලක්.

තාත්තා, අම්මා,සහ මා පමණයි. අයියා ශක්ති හෙට්ටිආරච්චි කලාවට සම්බන්ධ නැහැ. ඔහු දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යනවා.

• ඔබේ පියා අපේ රටේ සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහුගේ මගපෙන්වීමෙන්ද රංගනයට අවතීර්ණ වුණේ.

ගොඩක් දුරට එයත් බලපෑවා රංගනයට පිවිසීමට. විශේෂයෙන්ම කුඩා කාලයේ සිටම අපේ ගෙදර දකින්න ලැබුණේ කලාපරිසරයක්. වේදිකා නාට්‍ය පුරුදු පුහුණු වෙනවා. රංගන ශිල්පීන් අපේ ගෙදරට එනවා යනවා.අපි වේදිකා නාට්‍ය නැරඹීමට යනවා.ඔය කාලයේදි පොඩි පොඩි චරිතවලට අපිවත් සම්බන්ධ කරගන්නවා. ඔහොම තමයි රංගනයට යොමුවුණේ.

• ඒ කියන්නේ පාසල් කාලයේත් රඟපෑවා කියන එකද?

මම පාසල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. එහිදී වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ කාලයේත් සරච්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍ය කණ්ඩායමට සම්බන්ධව සිටියා. වේදිකා නාට්‍ය රංගනය වෙනුවෙන් සම්මාන පහක් හිමිකරගත්තා. නරිබෑණා නාට්‍යයෙහි ගම දුව ලෙස රඟපෑවේත් මමයි.

• ඉන් පසුවද පුංචි තිරයට සම්බන්ධවන්නේ.

වේදිකාවට පසුව පුංචි තිරයට සම්බන්ධවෙනවා. අපි අපි වගේ, සැණකෙළියයි මායා, සිහින පුරය, රුවන් මාළිගා, සුබා වැනි ටෙලිනාට්‍ය පහළොවක් පමණ රඟපෑවා.ඉදිරියටත් මම රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයක් එන්න තියෙනවා.

• පුංචි තිරයෙන් සිනමාවට ප්‍රවිෂ්ට වෙන්න අදහසක් නැද්ද?

ආරාධනා කිහිපයක්ම ලැබුණා. මොන හේතුවක් නිසාද මන්දා එකක්වත් භාරගන්න බැරිවුණා විවිධ ප්‍රශ්න නිසා.

• ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ ගොඩේ ඔබේ පියාත් සිටිනවා. ඔහුගේ රංගනය දකින්නේ කොහොමද ?

මෙහෙමයි. සෑම රංගන ශිල්පියකුටම අනන්‍ය වු රංගන හැකියාවක් තිබෙනවා. මගේ පියාටත් එසේමයි. ඔහු චරිතාංග නළුවෙක්.විවිධ චරිත නිරූපණයට දක්ෂයි. දඩබිම ටෙලිනාට්‍යයේ මයිකල්ගේ රංගනය අදටත් ප්‍රේක්ෂකයන්ට මතකයි. එදා ‍තාත්තා දඩබිමේ මයිකල්ට කළ රඟපෑම් රූපවාහිනියෙන් දකින විට මම බයට පුටුව යට රිංගනවා. ඒ තරම් තාත්විකයි.

• ඉදිරියේදි රැකියාව සහ පවුලේ වගකීම් ඉටු කරමින් සාර්ථක රංගනයක නිරත විය හැකියැයි විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්ම. සෑම දෙයක්ම නිසි ලෙස කළමනාකරණය කරගෙන වැඩ කිරීමේ හැකියාවක් මට තිබෙනවා. රංගනයෙන් නම් කවදාවත් ඉවත්වන්නෙ නැහැ. එය ශරීරයේ කොටසක් බවට පත්වෙලා. සැමියා වෙනුර රඟපානවාට කිසිම විරුද්ධත්වයක් නැහැ.පුතා තව ටිකක් ලොකු වුණහම නැවත පුරුදු පරිදි රංගනයෙහි නියැළෙනවා.

 

Comments