ජාතික රූප­වා­හි­නියේ අලුත්ම මෙහෙ­වර සංහි­ඳි­යාවේ නාළි­කා­වයි | Page 2 | සිළුමිණ

ජාතික රූප­වා­හි­නියේ අලුත්ම මෙහෙ­වර සංහි­ඳි­යාවේ නාළි­කා­වයි

නාළිකා ප්‍රධානී (අධ්‍යක්ෂ පරි­පා­ලන) පාලිත කේ. විජේසිංහ

 

එදා මෙදාතුර ශ්‍රී ලාංකේය ජන ජීවිතය හා බද්ධ වූ සැළලිහිණි මාධ්‍ය ජාලය සිය අනන්‍යතාව ‍එලෙසම රැකගෙන දශක ගණනාවක් තිස්සේ සිය ජාතික මාධ්‍ය මෙහෙවර අකුරට ම ඉටු කරමින් සිටියි. කෙතරම් නාළිකා තිබුණත් එදත් අදත් ප්‍රේක්ෂක විශ්වසනීයත්වය එලෙසටම රැක ගැනීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමත්වී තිබෙන්නේ ඒ නිසාමය.

නීතිඥ රවි ජයවර්ධන මහතා එහි වත්මන් මුල් පුටුව හොබවමින් ජාතියේ නාළිකාව මෙරට සිව්දෙස සිටින අපේ ජනතාව වෙත තව තවත් සමීප කරන්නට වෙනස්කම් රැසක් කිරීමට කටයුතු කරමින් සිටියි. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් අතින් නව ගුවන් තලයක ඇරැඹුම් සටහන් කළ ‘නේත්‍රා’ (සංහිඳියාවේ) නාළිකාව එහි තවත් එක් ප්‍රතිඵලයකි.

නේත්‍රා / චැනල් අයි නාළිකා ප්‍රධානී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ (පරිපාලන) පාලිත කේ විජේසිංහ මහතා සමඟ රසඳුන කළ මේ කතාබහ වෙන්වන්නේ ඒ වෙනුවෙනි.

• ජාතික රූපවාහිනී සංස්ථාවෙන් මෙතෙක් විකාශය වූ නාළිකා අතරට නව වෙනසක් සමඟින් නව නාළිකාවක් එකතු වුණා

1982 පෙබරවාරි 15 වැනිදා මෙරට ඇරැඹුණ ජාතික රූපවාහිනිය ආරම්භයේ සිටම සිංහල, ද්‍රවිඩ, ඉංග්‍රීසි යන මාධ්‍යවල සියලු වැඩසටහන් විකාශය කෙරුණා. පසුකාලීනව 2000 වසරේදී ‘චැනල් අයි’ ‘eye’ නමින් තවත් සහෝදර නාළිකාවක් එයට එකතු වුණා. අධ්‍යාපන, තාරුණ්‍ය හා විනෝදාස්වාදය යන අරුත් ත්‍රිත්වය පදනම් කරගෙන තමයි මේ නාළිකාව එදා සිට අද දක්වා ම සිය ගුවන් කාලය මෙහෙයවූයේ.

විශේෂයෙන් ‘චැනල් අයි’ කියූ පමණින් ඔබ අප කවුරුත් දන්නවා මෙරට සියලු ම ක්‍රීඩා වැඩසටහන් විකාශය කළ ප්‍රමුඛතම නාළිකාව තමයි ‘බව. එහෙත් එහි ඊට අමතරව මෙතෙක් මෙරට දමිළ බස කතා කරන අපේ සහෘද ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ද අඩු වැඩි වශයෙන් ගුවන් කාලයක් වෙන් කරමින් දමිළ වැඩසටහන් ද විකාශය වුණා.

ඒත් අපේ රටේ 25% පමණ ජීවත්වන දමිළ බස කතා කරන ජනතාව වෙනුවෙන් මාධ්‍යක් ලෙසට වැඩි ගුවන් කාලයක් වෙන් කිරීමේ අවශ්‍යතාවක් තිබුණා. ඒ අනුව තමයි 2008 ජනවාරි පළමුවැනිදා ‘නේත්‍රා’ නමින් දමිළ වැඩසටහන් පමණක් විකාශය වූ නව නාළිකාවක් ආරම්භ කළේ. ඒත් මේ නාළිකාව හා ‘චැනල් අයි’ යන නාළිකා දෙකම විකාශය වූයේ එකම සංඛ්‍යාතයක (Frequency) හෙවත් එක ම නාළිකාවක් තුළ කාලය බෙදා ගනිමින්.

මා මුලින් කීවා වගේ ‘චැනල් අයි’ නාළිකාව මෙරට ජනප්‍රිය වෙලා තිබුණේ ක්‍රීඩා විකාශනයන් සඳහා.විශේෂයෙන් ජාත්‍යන්තර හා එක්දින ටෙස්ට් තරග පැවැත්වෙන කාල වලදී අනෙකුත් සියලු ම වැඩසටහන් නතර කරලා තමයි ක්‍රිකට් වැඩසටහන් විකාශය කළේ. මෙහිදී වැඩිම අසාධාරණයක් සිදුවුණේ දමිළ බස කතා කරන ජනතාවටයි.

දශක 3 කට ආසන්න කාලයක් මෙරට පැවැති යුද්ධය නැවතුණ පමණින් ම රට තුළ ජාතීන් අතර සංහිඳියාව ඇතිවුණා කියන්නට බැහැ. විශේෂයෙන් සන්නිවේදනය පැත්තෙන් ගතහොත් අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ ‍මේ සංහිඳියාව පෙනුණේ නෑ. මෙය ජාතික සංහිඳියාවට බරපතළ ප්‍රශ්නයක්.

ඒ අනුව තමයි මේ කාරණාව තේරුම්ගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙමළ බස කතා කරන ජනතාව සඳහා ම වෙන්වුණු රූපවාහිනී නාළිකාවක් ආරම්භ කිරීමට රූපවාහිනී සංස්ථා සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතාට උපදෙස් දුන්නේ. ඒ අනුව ‘නේත්‍රා’ නාළිකාව සංහිඳියාවේ නාළිකාව ලෙස නව වෙනසකට ලක් කරමින් සිය ගුවන් කාල ඇරැඹුම පසුගියදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ඇමැතිවරුන් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මේ සුබ කටයුත්ත ආරම්භ කෙරුණි.

• ‘නේත්‍රා’ (සංහිඳියාවේ නාළිකාව) කියන්නේ ජනපතිතුමන්ගේ සංකල්පය මල්පල දැරීමක් කීවොත්?

ඔබ හරි. ඇත්තටම මෙරට සංහිඳියාවේ සංකල්පය ප්‍රායෝගික විදිහට ක්‍රියාවට නැංවීම ඇරැඹුම් කරුවා වූයේද එතුමන්.මගේ මතකයේ හැටියට 2016 ජනවාරි 8 වැනිදා එතුමන්ගේ පළමු පදවිප්‍රාප්තිය දින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා වෙන ම සංඛ්‍යාතයක් (Frequency) ලබාදුන්නා.

මීට අමතරව ජනාධිපතිතුමා අමාත්‍ය ධුරය දරන හා ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන අමාත්‍යාංශයේ (2017) විමධ්‍යගත අරමුදලින් රුපියල් මිලියන 180 ක් නාළිකාවේ ආරම්භක කටයුතු සඳහා වෙන්කරනු ලැබුවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වසරක් ඇතුළතදී මේ නව නාළිකාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය විකාශන උපකරණ, මෙහෙයුම් උපකරණ, මිලදී ගෙන අවශ්‍ය කටයුතු සම්පූර්ණ කළා. පසුගිය 20 වැනිදා එතුමන්ගේ එම සංකල්පය මල්ඵල දැරූ මොහොතක් කියන්නට පුළුවන්.

• ‘නේත්‍රා’ නාළිකාව මෙරට ඇති අනෙකුත් දමිළ නාළිකා අතර විශේෂ වන්නේ ඇයි?

අපේ රටේ තියෙන බො‍හෝ දමිළ නාළිකාවල වැඩි වශයෙන් විකාශය වෙන්නේ උතුරු ඉන්දීය වැඩසටහන් වගේම කොළඹ කේන්ද්‍රීය දෙමළ හා උතුරු ඉන්දියානු චිත්‍රපට හා ටෙලිනාට්‍යයයි.

විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල චන්ද්‍රිකා හා කේබල් තාක්ෂණය මඟින් තමයි රූපවාහිනිය නරඹන්නේ.. එහි වැඩි වශයෙන් විකාශය වෙන්නෙත් දකුණු ඉන්දියානු චිත්‍රපට හා වැඩසටහන්.

එනිසා සමස්ථයක් විදිහට ගත්තම අපේ රටේ දෙමළ බස කතා කරන ජනාවගේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික, දේශපාලන මෙන් ම අධ්‍යාපනික තොරතුරු මේ කිසිඳු නාළිකාවකින් නිසි පරිදි සන්නිවේදනය වන්නේ නෑ.

එහෙත් ‘නේත්‍රා’ - සංහිඳියාවේ නාළිකාව සිය ආරම්භයේ සිට මෙරට දෙමළ බස කතා කරන ජනයාගේ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් වෙන්කෙරුවා. ‘නේත්‍රා’ මෙරට ඇති අනෙකුත් දමිළ මාධ්‍ය නාළිකා තුළින් විශේෂ වන්නේ එනිසයි.

• එම නාළිකාවේ ඇරැඹුමත් සමඟ පැවැති වැඩසටහන් වෙනසකට ලක්වෙනවාද?

මෙහෙමයි මෙතෙක් නේත්‍රා සහ චැනල් අයි යන නාළිකා දෙකම තනි නාළිකාවක් විදිහටයි විකාශය වුණේ. ඒත් සංහිඳියාවේ නාළිකාව (නේත්‍රා) වෙනම නාළිකාවක් ලෙසට තනිව සිය විකාශන කටයුතු ආරම්භ වුණා. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථවේ රූපවාහිනි ප්‍රධාන නිළිකාව / චැනල් අයි / සහ නේත්‍රා වශයෙන් නාළිකා තුනකින් සමන්විත වෙනවා.

ඒ වගේම බාධාවන් සහිත සීමිත ගුවන් කාලයක් පමණක් හිමිව තිබූ වැඩසටහන් කිසිදු බාධාවකින් තොරව නැරඹීමත් උදෑසන සිට රාත්‍රි 11.00 පමණ දක්වා සම්පූර්ණ ගුවන් කාලයක් වෙන්වෙමින් නව වෙනසකට ලක්වෙනවා.

විශේෂයෙන් නව නාළිකාවක් ආරම්භ වෙනකොට වැඩසටහන් සහ ගුවන් කාලයේ පමණක් නොවෙයි වෙනසකට ලක්වෙන්නේ. මානව සම්පත් පැත්තෙනුත් මෙහි වෙනසක් සිදුවනවා. දෙමළ බස කතා කරන වැඩසටහන් නිෂ්පාදකවරුන්, තාක්ෂණික ශිල්පීන් බඳවා ගැනීම සඳහා සංස්ථා කළමනාකාරිත්වය කටයුතු කරනවා.

ඒ වගේම මෙතෙක් මෙම නාළිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මම, දෙමළ බස හොඳින් කතා කරන, එම සංස්කෘතින් හඳුනන නව නාළිකා ප්‍රධානියකු සඳහා අවස්ථාව සලසමින් මගේ සුපුරුදු රාජකාරියට යොමු වෙනවා. ඒ අනුව සංස්ථා සභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා නුදුරේදීම මෙම නාළිකාව සඳහා ප්‍රධානියකු පත්කිරීමට කටයුතු කරාවි.

• මේ තුළින් ද්‍රවිඩ බස කතා කරන ප්‍රේක්ෂකයන්ට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?

විශේෂයෙන් මේ තුළින් වැඩි වශයෙන් දේශීය වැඩසටහන් සඳහා වැඩි ඉඩකඩක් ලබාදීම නිසා මෙතෙක් කල් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වූ ජනතාවගේ ජීවන රටාවන් තොරතුරු සන්නිවේදනය කිරීමට හැකියාව ලැබීම ඔවුන් ලැබූ මහඟු අවස්ථාවක් කියන්නට පුළුවන්.

• නාළිකා ප්‍රධානී විදිහට ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි අරමුණු මොනවාද?

දැනට මේ නාළිකාව සඳහා පිහිටුවා ඇති විකාශන මධ්‍යස්ථානවලට අමතර ඉදිරි වර්ෂය තුළ පිදුරුතලාගල, මන්නාරම, දෙනියාය ආදී ස්ථානවල විකාශන මධ්‍යස්ථාන පිහිටුවා වැඩි ආවරණයක් ලබා දීම මූලික අරමුණක්.

ඊට අමතරව යාපනය ප්‍රදේශයේ රූපවාහිනී මැදිරි සංකීර්ණයක් ඉදි කිරීමටත් මේ වනවිට සැලසුම් කරලයි තියෙන්නේ.

ඒ වගේම මෙහි සියලු කාර්යයන් සාක්ෂාත් කර ගැනීමට සංස්ථා සභාපති නීතිඥ රවී ජයවර්ධන හා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මාලවිවේතන්ත්‍රි මහත්වරුන් ලබාදෙන උපදෙස් හා මඟ පෙන්වීම මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි.

මෙම නව නාළිකාව සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලැබුණේ ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංවිධාන අමාත්‍යාංශයෙන් බව මං මුලින් සඳහන් කළා. නාළිකාව ආරම්භ කරන්නට එම අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ලැබුණු සහාය මේ අවස්ථාවේ කෘතඥතාපූර්වකව සිහිපත් කරන්න ඕන.

Comments