
මෙරට ග්‍රැමෆෝන් ගීතයේ සිට පනහ, හැට, හැත්තෑව දශකයන්හි වර්තමානයේ රසිකයන්ට නෑසෙනම ගීත සංරක්ෂණය කරමින් එම ගීතවලින් වත්මන් පරපුර පෝෂණය කිරීමට වෙර දරන චරිතයක් ලෙස පියල් ප්‍රනාන්දු සංගීතඥයා හැඳින්විය හැකිය. වාද්දුව මොල්ලිගොඩ වෙසෙන 61 හැවිරිදි පියල් මහත්මා සංගීතයට හාත්පසින්ම වෙනස් ඉසව්වක් වන ගණිත අංශයේ ගුරුවරයකු ලෙස සේවය කොට වර්තමානයේ විශ්‍රාම සුව විඳිමින් සිටී. ඒ අතරෙහි කුඩා කල සිටම සංගීතයට තිබෙන ලැදියාව නිසාම වත්මනෙහි විනෝදාංශයක් ලෙස මෙවන් කාර්යයකට යොමු වී ඇති ඔහු උපතින්ම ආබාධිතයකුද වේ. වත්මන් සමාජයට නොඇසෙන පැරැණි ගීතයට පණ දීමට ‘සුසර කලා සංසදය’ නමින් එවන් ගීතවලට ලැදි අයවලුන් එක්ව සංසදයක්ද ගොඩනඟා ඇති පියල් මහතා සමඟ කළ කතාබහකි මේ.
• මොකක්ද ඔබ කරන කාර්යභාරය?
සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. එහෙත් වත්මනේ ඇහෙන ගීත ඇත්තටම කෙනකුට අහන්න බැහැ. ඒ වගේම දැන් තියෙන්නෙ කටහඬ මුල්කොට ගත් ගීතයක් නොවේ. තනිකරම සංගීතයයි වත්මන් ගීතවල ප්‍රබල. කොටින්ම කිව්වොත් ඇතැම් ගීතවල ගායකයාගේ හඬ ඇහෙන්නෙම නැතිතරම්. තනිකරම මියුසික් විතරමයි. එවැනි ගීතවලින් ඇති වැඩක් නැහැ. පැරැණි ගීතවලයි වත්මන් ගීතවලයි මම දකින ලොකුම වෙනසක් එය. මම කියන්නෙ පැරැණි ගීතවලින් තමයි නියම ගායකයෙක් බිහි වුණේ. අද මාධ්‍යවලත් 50, 60 දශකයේ ගීතයක් ඇහෙන්නෙම නැති තරම්. හැබැයි වත්මන් තරුණ පරපුර ඉතාම දක්ෂයි. ඔවුන්ට මඟ පෙන්වීමයි කළ යුත්තෙ. අප මේ ගයන පැරැණි ගීත අහලා තියා එහෙම ගීත තියෙනවාද කියාවත් වත්මන් පරපුර දන්නෙ නැහැ. අන්න ඒ අයට මේ ගීත අහන්න සැලැස්වීමෙන් අපගේ පැරැණි ගීත ජනප්‍රිය කරවීමයි අපේ එකම අරමුණ.
• ඒ සඳහා ඔබ ගත් ක්‍රියාමාර්ගය කුමක් ද?
මම පොඩි කාලේ ඉඳන්ම පැරැණි ගීතවලට කැමැතියි. පරිගණකය ආවට පස්සෙ ගොඩක්ම පැරැණි ගීත එකතුකොට සංරක්ෂණය කළා. ඒ අතර මම දරුවන්ට ගායනය වාදනය ඉගැන්නුවා. 2000 වර්ෂයේදී වගේ හිතුණා මෙවැනි සංගීත සංසදයක් බිහි කළොත් මගේ ප්‍රාර්ථනය ලංකාව පුරාම ව්‍යාප්ත කළ හැකිවෙයි කියා. ඒ අනුව තමයි 2005 වර්ෂයේදී ‘සුසර සංගීත සංසදය’ බිහිවුණේ.
• සුසර සංගීත සංසදයෙන් කෙරෙන කාර්යභාරය ගැන පැවසුවොත්...
අපට දැනට ලංකාවේ විවිධ පළාත්වලින් සමන්විත සාමාජික සාමාජිකාවන් 40ක් පමණ සිටිනවා. ඒ අය අතර බොහෝ දෙනෙක් අවුරුදු 40 ඉක්මවා සැඳැ සුවය විඳින පිරිසක්. ඔවුන් වෛද්‍යවරු, නීතිඥයෝ, ගුරුවරු, ව්‍යාපාරිකයන්ගේ සිට නොයෙක් ක්ෂේත්‍රවල නියැළෙන වෘත්තිකයන්. ඒ අතර සිටින බොහෝ දෙනකුට හොඳින් ගායනා කරන්න හැකියාවක් තියෙනවා. එසේම ඔවුන් පැරැණි ගීතයට වහ වැටුණ පිරිසක්. පැරැණි නොඇසෙන ගීතවලින් සාමාජිකයන් මානසික සුවයක් විඳින අතරේම වත්මන් පරපුරට මේ ගීත අහන්න සැලැස්වීමෙන් අපි ලොකු සමාජ සත්කාරයක් කරනවා කියා මම හිතනවා. ඒ වගේම ජීවිතයේ සැඳෑ සුවය ගෙවමින් සිටින පිරිසකට මානසික සුවය තරම් වටිනා තවත් දෙයක් නැහැ.
• පැරැණි ගීත සොයා ගැනීමට හැකි වුණේ කොහොම ද?
ගීත සොයා ගැනීමේදී අන්තර්ජාලයෙන් ලොකු ප්‍රයෝජනයක් ගත්තා. මම සෑම විටම මුල් ගීතය හෙවත් ඔරිජිනල් ගීතයමයි සෙව්වෙ. ඇත්තටම එය ටිකක් විතර අමාරු කාර්යයක්. සමහර ගීතවල කොපි තුන හතර තියෙනවා. සමහර වෙලාවට හිතන්නෙ ඒවත් මුල් ගීතයම කියලයි. උදාහරණයක් කිව්වොත්, ‘සිහිල් සුළං වැද සැන්දෑ වෙලාවෙ’ කියන ගීතය ඇහෙන්නෙම නෑ. හොයාගන්න ඉතාම අමාරු ගීතයක්. ඒ වගේම ‘දන්නෝ බුදුන්ගේ’ නියමම ඔරිජිනල් ගීතය මං ගාව තියෙනවා. ජෝන් ද සිල්වා මහත්මයාගේ ‘නූර්ති’ කියන නාට්‍යයේ ගීතයක්නේ එය. ඒකෙ නියම ඔරිජිනල්ම ගීතය කියලා තියෙන්නෙ ජෝන් ද සිල්වා මහත්මයාගේ ඔය නාට්‍යයට සම්බන්ධ කෙනෙක්. පස්සෙ තමයි අමරදේව මාස්ටර් ගායනා කළේ. එවැනි ඉපැරැණි වගේම මෑත කාලීන මිනිසුන්ට සොයා ගැනීමට අපහසු ගීත දාහකට වැඩිය මං ගාව තියෙනවා. ඒ වගේම එවැනි ගීත අවශ්‍ය ඕනෑම කෙනකුට දෙන්නත් මම ලෑස්තියි. මොකද මට අවශ්‍ය කෙසේ හෝ මේ ගීත වත්මන් පරම්පරාව තුළ ප්‍රචලිත කිරීමටයි.
• ඔබ මෙයින් සමාජයට දෙන පණිවිඩය කුමක් ද?
ඔව්, අපි මෙයින් පැරැණි ගීතයට පණ දෙන ගමන් ඊට කැමැති රසික පිරිස පිනවනවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වත්මන් තරුණ පරපුර අපගේ පැරැණි ගීතවලින් දැනුවත් කිරීමත් කරනවා. අපේ රටේ වත්මන් ගීත කලාව ගමන් කරන අභාග්‍ය සම්පන්න ගමන්මඟෙන් මුදාගැනීමට අප කරන කාර්යභාරය තේරුම්ගෙන මෙය රටපුරාම ව්‍යාප්ත කිරීමට සෑම දෙනාම අපගේ සංසදය වටා එකතු වන්නැයි කියන පණිවිඩයයි මම දෙන්නෙ.