
ලෝක බලවතා ලෙසින් හැඳින්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ නිසා ඇමෙරිකාව කියූ සැනින් උස් ගොඩනැගිලි, නවීන වාහන වැනි දේවල් තමයි අපිට එකවරම මතක් වෙන්නේ. මෙතරම් දියුණු ඇමෙරිකාවේ තවමත් කොටළුවන් මගින් ලිපි රැගෙන එන දුෂ්කර ගම්මානයක් තිබෙන බව ඔබ පිළිගන්නවාද? ‘සුපායි’ ගම්මානය වෙත තමයි අතැඹුලෙන් අද ඔබව රැගෙන යන්නේ. ඇරිසෝනා ප්‍රාන්තයේ තිබෙන ‘ග්‍රෑන්ඩ් කැනියොන්’ යනු ඇමෙරිකාවේ වැඩියෙන්ම සංචාරක ආකර්ෂණය හිමිවන ස්ථාන වලින් එකක්.
නමුත් Grand Canyon හි ‘හවසුපායි ජාතික රක්ෂිතයේ තිබෙන ‘හවසු දෝරුව’ (Havasu canyon) නැතිනම් ‘කැටරැක්ට් දෝරුව’ (Cataract canyon) පාමුල තමයි කුඩා ‘සුපායි’ නම් රතු ඉන්දියානු ගම්මානය සැඟවී තිබෙන්නේත්.
මීට වසර 800කට පෙර සිටම මෙම ප්‍රදේශය තම නිජබිම කරගෙන මෙහි ජීවත්වන්නේ හවසුපායි ගෝත්‍රික වැසියනුයි. ‘සුපායි’ ගම්මානය ඇමෙරිකාවේ තිබෙන වඩාත්ම හුදකලාවූ ගම්මානය ලෙස හැඳින්වූවත් මෙම ගම්මානයේ සිට ආසන්නතම මාර්ගය වෙත තිබෙන්නේ කිලෝමීටර් 13ක් වැනි කුඩා දුරක්. නමුත් මෙම ප්‍රදේශයේ තිබෙන භූවිෂමතා ලක්ෂණ නිසා හෙලිකොප්ටරයක් හැරුණු විට වෙනත් කිසිඳු වාහනයකින් මෙම ගම්මානය වෙත ළඟා වීමට නොහැකියි.
නමුත් කොටළුවන් ගමන් කරනා මාර්ගයක් මෙම ගම්මානය වෙත තිබෙනවා. මේනිසා කොටළුවකු පිට හෝ දෙපයින් කඳු තරණය කරමින්ද මෙම ගම්මානය වෙත ළඟා විය හැකියි. මේ නිසාම ‘සුපායි’ ගම්මානය ලොව ප්‍රසිද්ධ වී තිබෙන්නේ කොටළුවන් මගින් තැපැල්පත් රැගෙන යන එකම ඇමෙරිකානු ගම්මානය ලෙසිනි.
‘හවසුපායි’ යන නාමයේ අර්ථය වන්නේ ‘නීල-හරිත ජලයේ ජනතාව’ යන්නයි. මෙම නාමය ඔවුනට ලැබෙන්නට ඇත්තේ නීල-හරිත පැහැයෙන් කඩා හැලෙන මනරම් හවසු දිය ඇල්ල නිසා හා එහි ජලය ‘සුපායි’ හරහා ගලා යමින් ඔවුන්ව පෝෂණය කරන නිසා විය හැකියි. අතීතයේ සිටම මෙම ප්‍රදේශය සශ්‍රීක ලෙසින් ඉරිඟු, කොමඩු, බෝංචි හා වට්ටක්කා වැනි භෝග වගා කර ගනිමින් හා මුවන් දඩයම් කරමින් මොවුන් ජීවත් වී ඇති අතර සුදු ජාතික ආක්‍රමණ නිසා මොවුන් පසු කලෙක බොහෝ පීඩාවට පත් වී තිබේ.
මෙම ප්‍රදේශය වර්ෂ 1919දී ජාතික රක්ෂිතයක් ලෙසින් නම් කිරීම නිසාත් මොවුන්ගේ පාරම්පරික භූමිය හවසුපායි ගෝත්‍රිකයන්ට අහිමි වූවත් කෙසේ හෝ නඩු කියමින් නීති මාර්ගයෙන් වර්ෂ 1975දී මොවුන්ගේ පාරම්පරික භූමිය නැවත හවසුපායි ගෝත්‍රිකයන්ගේ ස්වෛරී අයිතියට ලබාගෙන තිබේ. 600ක පමණ වැසියන් මෙම ග්‍රාමයේ වෙසෙන අතර මෙම ගෝත්‍රය ඇමෙරිකාවේ අඩුම ජනගහනයක් සහිත රතු ඉන්දියානු ගෝත්‍රය ලෙසින් හැඳින්වෙනවා.
වර්තමානයේදීත් මොවුන් ගොවිතැන හා දඩයම් කරනු ලැබුවත් දැන් මොවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ සංචාරක කර්මාන්තයයි. වසරකට 20000ක් පමණ පිරිසක් කඳු තරණය කරමින් මෙම ගම්මානය වෙත පැමිණෙන්නේ අවට තිබෙන දර්ශනීය දිය ඇලි නැරඹීමටයි.
එක දවසක් තුළ ගම්මානය වෙත පැමිණ නැවත ගම්මානයෙන් ඉවතට ගමන් කිරීමට මොවුන් සංචාරකයන්ට අවසර නොදෙන්නේ රාත්‍රියට මෙම පරිසරයේ දෙපයින් ගමන් කිරීම අනතුරුදායක නිසා විය හැකියි, මේ නිසා මෙහි පැමිණෙන සංචාරකයන්ට ගම්මානයේ නිවසක නතර වීමට හෝ කඳවුරු බැඳීමට සිදුවූවත් හෙලිකොප්ටර් මගින් පැමිණෙන පුද්ගලයින්ට නම් ඕනෑම මොහොතක ගම්මානයෙන් ඉවතට ගමන් කළ හැකියි.
ක්‍රිස්තියානි පල්ලියක්, පාසලක්, වෙළෙඳසලක්, ආපනශාලාවක් හා තැපැල් කන්තෝරුවක් මෙම ග්‍රාමයේ තිබෙන අතර මේ නිසා කොටළුවකු පිටේ නගරයට රැගෙන යන තැපැල් පතක් යැවීමටද සංචාරකයින් ට ‘සුපායි’ හිදී අවස්ථාව ලැබේ.