ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට -14 | Page 3 | සිළුමිණ

ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට -14

එලාම් හඬින් පිබිදුණු මම ඇඳෙන් බිමට බැස වේලාව බැලුවෙමි. උදෑසන 5.30 සටහන් වී ඇත. මම ජනේලය අසලට ගොස් වීදුරුව ඇර එළිය බැලුවේ නිවෙසේ පුරුද්දටය. අප නැවතී සිටි හිල්ටන් ඩබල් ට්‍රී හෝටලය තනා ඇත්තේ අඩ කවයක හැඩයට නිසා මට හෝටලයේ වම් කෙලවරට යනතෙක් කාමර පෙනේ .ඈතින් ඉතා අලංකාර කඳු පන්තියකි. අහස රත් පැහැයෙන් සරසා ඇත්තේ තවත් අලුත් දවසක් උදාකරන්නට ඉර පායා එන්නට පෙර මඟ සූදානම් කරන්නටය.

අද අපගේ දීර්ඝ සංචාරයේ අවසන් දිනයයි. අද දවසේ වැඩසටහන අතර ඇත්තේ උදෑසනින් ගොස් වැනීසිය නැරඹීම පමණි. ඉන්පසු අප යළි මවුරටට ඒම සඳහා මැල්පෙන්සා ගුවන් තොටුපොළට යායුතුය. උදෑසනම සූදානම්වී ආහාර ගෙන අපගේ සියලුම ගමන් මලුත් රැගෙන බස්රථයට ගොඩවිය යුතුය. මේ නිසාම අපි පෙරදින රාත්‍රියේ අපගේ සියලුම ගමන් මලු අසුරා සූදානම් කර තබා ගතිමු.

උදෑසන ආහාර ගත් අප බස්රථයට නැඟ පිටත්වීමු. අප නැවතී සිටි හිල්ටල් ඩබල් ට්‍රී හෝටලය පිහිටා ඇත්තේ උතුරු මොග්ලියානෝ ප්‍රදේශයේය. මෙහි සිට වැනීසියට දුර කිලෝමීටර 22 ක් පමණ ඇති අතර ගමනට ගතවූයේ විනාඩි තිහක පමණ කාලයකි. බස් රථයෙන් බැස අප කඩිනමින් බෝට්ටුවලට ගොඩවන ජැටිය වෙත ගියේ වෙන කවරදාටත් වඩා අද දිනයේ වැනීසියේ සුන්දරත්වය විඳිමින් වැඩි කාලයක් ගත කරන්නට ඇති අසාව නිසාය.අප වැනීසිය වෙත ගෙන යන්නට සූදානම් කළ බෝට්ටුව ඒ වන විටත් සූදානමින් තිබූ අතර අප කඩිමුඩියේ එයට ගොඩවීමු. ජල පහර කපාගෙන බෝට්ටුව වේගයෙන් ඉදිරියට ඇදෙයි.

බෝට්ටුවක් යැයි හැඳින්වූවාට මෙය මගීන් පනහක් හැටක් දැමිය හැකි තරමේ විශාල එකකි. අවට දිස්වන්නේ වචනයෙන් කිවනොහැකි සුන්දරත්වයකි. ඈතින් තැනින් තැන දිස්වන දූපත් වල පැරැණි ගොඩනැගිලි, පල්ලි අලංකාර ලෙස දිස්වෙයි. සංචාරකයන් වැනීසිය වෙත ගෙනයන විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ මෙන්ම විවිධ වර්ණවල බෝට්ටු සියයකට ආසන්න ප්‍රමාණයක් වැනීසිය දෙසට ඇදෙන්නේ තරගයට මෙනි. එසේම පාවෙන මාලිගා බඳු දැවැන්ත මගී නෞකා තැන තැන නැංගුරම් ලා නවතා තිබෙනු දැකිය හැකිය.

වැනීසිය යනු ඉතාලියේ පිහිටි වසර දහස් ගණනක් පැරැණි වෙ‍ළෙඳ නගරයයි. පෝ සහ පියාරේ යන ගංගා දෙක මුහුදට වැටෙන වැනීසියානු කලපුවේ පිහිටි කුඩා දූපත් 118 කින් සමන්විත අලංකාර වෙළෙඳ නගරයයි. බෝට්ටුවෙන් මෙහි ළඟාවීමට විනාඩි තිහක පමණ කාලයක් ගතවෙයි. බෝට්ටුවේ ගමන් ගනිද්දී වැනීසියේ සෙන් මාක් චතුරස්‍ර යේ ඇති විශාල කුළුන සහ සෙන් මාක් බැසිලිකාවේ ගෝලාකාර වහළය ඉතා අලංකාරව පෙනේ. බෝට්ටුව නැවැත්වූ සැනින් අප වැනීසියට පාතැබුවෙමු. වැනීසියේ සංචාරය කරන්නට පෙර මේ පිළිබඳව අප දැනුවත් කරමින් අපට මඟ පෙන්වන්නට කටයුතු කළ සංචාරක මඟ පෙන්වන්නා අප බලාපොරොත්තුවෙන් සෙන් මාක් චතුරස්‍රයේ රැඳී සිටියේය.

මෙහි ඇති ගොඩනැගිලි , චිත්‍ර , ගෘහ නිර්මාණ ඇතුළු වටිනා කලා නිර්මාණ නිසා මෙය ලෝක උරුමයක් ලෙස නම්කර තිබේ. මීට වැනීසිය යන නම ලැබී තිබෙන්නේ ක්‍රි. පූර්ව 10 වැනි සියවසේ මෙහි විසූ ‘වෙනේටි‘ යන නමින් හැඳින්වූ මිනිසුන්ගෙන් යැයි කියනු ලැබේ. එසේම අතීතයේ වැනීස් සමූහාණ්ඩුවේ අගනුවර වී ඇත්තේ මෙම වැනිසිය වන අතර ලා සෙරනිටි, සිටි ඔෆ් වෝටර්, පාවෙන නගරය, ඇළ මාර්ග නගරය, වෙස් මුහුණු නගරය සහ කොටඋඩ නගරය වැනි විවිධ නම්වලින් අතීතයේ මෙය හඳුන්වා තිබේ. මධ්‍යතන යුගයේ මෙන්ම පුනරුද යුගයේ වැනිස් සමූහාණ්ඩුව මුදල් සහ නාවුක බලය තිබුණු ප්‍රබල රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි අතර මේ නිසාම කුරුස යුද්ධයේ විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙනවා.

එසේම නැපෝලියන් අධිරාජ්‍යයා විසින් ප්‍රංශ අධිරාජ්‍යයට එරෙහිව මෙහෙයවූ සටන් වලදීද නාවුක බලයෙන් ප්‍රධාන භූමිකාවක් මෙම වැනිසියේ මිනිසුන් ඉටුකොට ඇති බවද දැක්වෙනවා. ලෝකයේ පළමුවැනි අන්තර් ජාතික මූල්‍ය මධ්‍යස්ථානය ලෙසද වැනීසිය ඉතිහාසයට එක්වනවා. එසේම ඉතා පොහොසත් නගරයක් ලෙසද හැඳින්විය හැකි වැනීසිය 2016 වසරේ ලොව ලස්සනම නගරය බවටද පත්ව තිබෙනවා. වැනීසියේ මුල් පදිංචිකරුවන්ට අමතරව තව තවත් පිරිස පැමිණීමත් සමඟ මෙහි ඉඩකඩ මඳිවීම නිසා විශාල ශක්තිමත් ලී කඳන් එක ළඟ සිටින සේ මඩේ සිටුවා ඉහළ මුහුණත පැතලිවට කපා ඒමත තට්ටුව සාදා මෙම දූපත් සකස් කර තිබේ. ඒ අනුව එලෙස සිටවා ඇති ලීකඳන් ප්‍රමාණය දහස් ගණනක් වන අතර වසර සියයකට අඟල් 9 ක පමණ ගිලා බසින බවට අනතුරු අඟවා තිබේ .

දිනකට විවිධ රටවලින් සංචාරකයෝ දහස් ගණනක් වැනීසිය නැරඹීමට පැමිණෙති. ඒ මෙහි දැකගන්නට නරඹන්නට බොහෝ දෑ තිබෙන නිසාත් මෙහි ඇති සුන්දත්වය නිසාත්ය. වැනීසිය දූපත් 118 කින් සමන්විත වන අතර මෙම දූපත් වෙන්වන්නේ ඇළ මාර්ග වලිනි. මේ ඇළ මාර්ග වල ගමන් කරන්නට අතින් හබල් ගා යායුතු ඔරු විශේෂයක් ඇති අතර ඒවා හඳුන්වන්නේ ‘ගොන්ඩෝලාව‘ නමිනි. මේ ගොන්ඩෝලා සිය ගණනක් නිරන්තරයෙන් සංචාරකයන් රැගෙන ඇළ මාර්ග ඔස්සේ ගමන් කරනු දැකිය හැකිය. මේ සෑම දූපතක්ම එකිනෙක යා කරමින් පාලම් ඉදිකර තිබේ. මෙම පාලම් ද 400 ක් පමණ ඇති බව සඳහන් වෙයි.

අප කණ්ඩායම අපේ මඟ පෙන්වන්නා සමඟ පළමුව පිවිසියේ Piazza San Marco ලෙසින් හඳුන්වන සෙන් මාක් චතුරස්‍රය ( St Mark's Square ) වෙතයි.මෙය වැනීසියේ ඇති ප්‍රධානම මහජන චතුරස්‍රයයි. මෙහි එක් කොනකට වන්නට ඉතා විශාල කුළුනක් ඉදිකර තිබේ. St Mark's Campanile ලෙස හඳුන්වන මෙය මීටර් 9.8 ක් (අඩි 323 ) උසය. සෙන් මාක් බැසිලිකාවේ ඝාන්ටාර කුළුන වන මෙය වැනීස් නගරයට ආවේනික තවත් එක් සංකේතයක්. මෙහි පාදමේ වට ප්‍රමාණය මීටර් 12 කි. මෙම කුළුන මුදුනේ මෙහි සංකේතය වන වැනීසියේ සිංහයාගේ ප්‍රතිමාවක් ( සාන්ත මාක් තුමන්ගේ සංඛේතය වන්නේ පියාපත් ඇති සිංහයෙකි) තිබේ. එසේම මෙම කුළුන විවිධ අවස්ථාවලදි අකුණු අනතුරු වැදීමෙන් සහ ගිනි ගැනීමෙන් විනාශ වී ඇති අතර යළි ගොඩ නගාතිබේ. 1511 මාර්තු මාසයේ සිදුවුණු භූමි කම්පාවක් නිසාවෙන්ද මෙය කඩාවැටී ඇති අතර යළි ගොඩනගා තිබේ.

මෙහි ඇති තවත් අපූරු සංඛේතයක් වන්නේ ඔරලෝසු කණුවයි. සෙන් මාක් චතුරස්‍රයට ඇතුළු වන විට දකුණු පසට වන්නට ඇත්තේ සෙන් මාක් බැසිලිකාවයි. මාක් සාන්තුවරයා ( Saint Mark the Evangelist) ක්‍රිස්තු පූර්ව පළමුවැනි ශතවර්ෂයේ උතුරු අප්‍රිකාවේ උපත ලබා ඇති අතර කතෝලිකයන්ගේ විශ්වාසයට අනුව ක්‍රිස්තු පූර්ව 68 අප්‍රියෙල් 25 වැනිදා මියගොස් තිබේ. බයිබලයේ සඳහන් වන Gospel of Mark එතුමන් විසින් ලියා තිබේ. එතුමන් වැනීසියට සම්බන්ධ විමේ අපූරු කතාවක් තිබේ. ක්‍රි.ව. 828 දී වැනීසියන් වෙළෙඳුන් දෙදෙනකු විසින් ග්‍රීක පූජකවරුන් දෙදෙනකුගේ සහායෙන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ තිබූ මෙතුමන්ගේ දේහය සොරකම් කරගෙන වැනීසියට ගෙනැවිත් තිබේ.

ඒ අනුව එවකට වැනීසිය පාලනය කළ ඩොජ් (Doge )ගේ නියමයකට අනුව ඩොජ් මන්දිරයට නුදුරින් පළමු සාන්ත මාක් පල්ලිය ( බැසිලිකාව) ඉදිකර තිබෙනවා. මෙය වැනීසියේ ඇති ප්‍රධානම පල්ලියයි. ඉතලෝ බයිසැන්තියන් ගෘහ නිර්මාණ ශිල්පයට අයත්වන මෙය මුල් යුගයේ තිබී ඇත්තේ මෙහි පාලකයාගේ පෞද්ගලික පල්ලිය ලෙසයි. පසුව එය පොදු එකක් බවට පත්වී තිබෙනවා.මෙහි ඇති කැටයම් බොහෝමයක් විචිත්‍රවත් කරන්නට රත්‍රන් භාවිතා කර ඇති නිසා මෙය වැනීසියේ ධනවත් බවේ සංකේතයක් ලෙසද හඳුන්වනවා.

මෙය බැසිලිකාවක්ලෙස ගොඩනගා ඇත්තේ1063 වන අතර 1102 සිට 1117 අතර කාලයේදී තවත් විවිධ කොටස් එකතු කර මෙය අංග සම්පුර්ණ කළ බවද දැක්වෙනවා.1105 දී ප්‍රධාන අල්තාරය නිර්මාණය කර ඇති අතර අල්තාරය ඉහළින් ඇති කැනපියේ (වියනේ ) මුතු 1300 ක්, සැපායර් මැණික් ගල් 300 ක්, එමරල්ඩ් මැණික් ගල් 300ක් සහ ගානට් මැණික් ගල් 900 ක් අලංකාර කිරීමට යොදාගෙන ඇති බව සඳහන් වනවා. 1976දී මෙහි ඇතිවූ කැරැල්ලකින් මෙය ගිනිගෙන ඇති අතර යළිගොඩනගා ඇති බවද සඳහන්.

වැනීසියේ ඇති විශාලතම ගොඩනැගිලි අතර ඇති තවත් එක් ප්‍රධාන සංඛේතයක් වන්නේ පාලකයාගේ මන්දිරයයි. මෙය ඩොජ්ගේ මන්දිරය (Doge's Palace) ලෙසද ඉතාලි භාෂාවෙන් පැලස්සෝ ඩුකාල් ලෙසද හඳුන්වනවා. මෙය වැනීෂියන් ගොතික් සම්ප්‍රදායේ ශෛලියට අනුව ඉදිකළ එකක්. අතීත වැනීසි සමූහාණ්ඩුවේ උපරිම නැතිනම් ඉහළම බලය තැනැත්තා වූයේ මෙම ඩොජ් වරයායි. 1923 මෙය කෞතුකාගාරයක් බවට පත්කර ඇති අතර වර්තමානයේ මෙය වැනීසිය මගින් පාලනය වන කෞතුකාගාර 11 අතරින් එකකි. මෙහි පිටතින් දැකිය හැකි ‘ලයන් මවුත්‘ නැතිනම් සිංහ කට ලෙස හඳුන්වන තැපැල් පෙට්ටිය විශේෂ වූවකි.

මෙහි සඳහන් කර ඇති වගන්තිය සිංහලට පරිවර්තනය කළ හොත් එයින් කියැවෙන්නේ ‘‘ බදු ආදායම හැංගුවොත් ඒබව දන්නේ නම් හොර වැඩක් කරනවා දන්නේ නම් නිර්මාණාත්මක ලිපියක් මගින් ඒ බව දැනුම්දිය හැකියි‘‘ යන්නයි. එසේම මෙහි 12 වැනි ශත වර්ෂයට පෙර සිරකුටි තිබී ඇති අතර 13 සහ 14 වැනි ශතවර්ෂ වල මාලිගයේ දකුණු පැත්තේ බිම් මහල මුළුමනින්ම සිරකුටි බවට පත්කර තිබී ඇත. එසේම 1540 යළිත් වෙනස් කර ඇති අතර බිම් මහලේ මැද මිදුලකුත් නැගෙනහිර දෙසට කොටසක් සාදා මිදුල යොදා තිබේ. මෙයින් අඳුර ඇතිවුණු නිසා සිරකුටි ළිඳක් වගේ නිර්මාණය කර ඇති අතර ඉහළ නැගෙනහිර කොටසේ තව තවත් සිරකුටි නිර්මාණය කර තිබේ.

එසේම මෙහි ප්‍රධාන ඇළ මාර්ග මතින් ඉදිකර ඇති දැවැන්ත පාලම 1614 මෙම සිර කුටි හා යාකර නිර්මාණය කර තිබේ. එසේම වින්සෙන්සෝ පිපීනෝ නම් සිතුවම් හොරා මෙහි සැඟවී සිට රාත්‍රියේ සයිග් පාලම පසු කර ගොස් අලුතෙන් සාදන ලද සිර කුටියක සැඟවී සිට මැඩෝනා බැම්බියා චිත්‍රය සොරකම් කර තිබේ. මෙය වැනීසියානු රජයේ බලය පෙන්වූ චිත්‍රයක් 1500 ගණන් වල නිර්මාණය කර ඇති දුර්ලභ වටිනා චිත්‍රයකි. හිරු නැගුණාට පසු මලාටි මෙහය සොයාගෙන තිබෙනවා. වින්සැන්සෝ පිපියනෝ නම් ඔහුට වැදගත් හොරා ලෙස හඳුන්වනවා.

ලබන සතියේ මෙම සංචාරයේ අවසන් කොටස

‘වැනීසියේ වෙළෙන්දෝ‘

 

Comments