නොපෙනෙන පැති දකින සුදාරාජ් | Page 2 | සිළුමිණ

නොපෙනෙන පැති දකින සුදාරාජ්

ඔහුගේ සම්පූර්ණ නම සුදාරාජ්. එස්. රාජසිංහම්ය. අප ඔහු අමතන්නේ සුදාරාජ් යන කෙටි නමිනි. සුදාරාජ් මා හඳුනාගත්තේ මීට වසර කිහිපයකට පෙර කියවන්නට ලැබුණු සිංහලට පරිවර්තිත ඔහුගේ “කාට දොස් පවරමුද?” නම් කෙටිකතා සංග්‍රහය මඟිනි. හොඳම දෙමළ පරිවර්තනය සඳහා 2006 වයසේදී රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වූ එම කෘතිය මානවහිතවාදී සාහිත්‍යකරුවකු‍ෙග් ජීවන දෘෂ්ටිය පළ කරන අපූරු නිර්මාණ සංග්‍රහයක් ලෙස මම දකිමි. තම ජනවර්ගය දෙස මෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල හා මුස්ලිම් ජනයා දෙසත් මෙතරම් මානුෂික හැඟීමකින් යුතුව නෙත් හෙලන්නට ඔහුට හැකි වූයේ කෙසේදැයි මම සුදාරාජ්ගෙන් විමසීමි.

“උතුරේ ජීවත් වූ කෙනෙක් හැටියට යුද්ධ සමයේ දෙමළ ජනතාව විඳපු පීඩාව මම ඇස් දෙකෙන් ම දැක්කා. ඒවා වේදනාසහගතයි, ඒ වගේ ම හැඟීම්බරයි. නමුත් මම ඒවා කෙටිකතා බවට පත් කරද්දී හැකි තරම් මානවහිතවාදී දෘෂ්ටියකින් ඉදිරිපත් කරන්න උත්සාහ කළා. මොකද මට ඕනැ වුණේ දිවයිනේ අනිත් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට උතුරේ ජනතාව මුහුණ පා සිටින සැබෑ තත්වය අනාවරණය කිරීමටයි. ඔවුන්ට ඒ ගැන අවබෝධයක් නැති බව මා දැන සිටියා. මගේ කෙටිකතා පොත් තුනක් සිංහලට නැඟුවේ යුද්ධයේ උච්චතම වකවානුවෙයි. ඒත් ඒවා සිංහල පාඨකයන් ආදරයෙන් වැලඳ ගත්තා. මොකද මම සිංහල ජනතාවගේ සිතුම් පැතුම් හොඳට දන්න කෙනෙක්. මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස සිටි කාලය තුළ මා ඉතා ළඟින් සිංහල ජනයා ඇසුරු කළා. ඔවුන්ගේ බහුතරය ජාතිවාදීන් නොවන බව මා අත්දැකීමෙන් දන්නවා.”

ලිවීම හා කියවීම කෙරෙහි මුලින් ම සුදාරාජ්ගේ සිත තුළ ඇල්මක් ඇති කරනු ලැබුවේ යාපනයේ හින්දු විද්‍යාලයේ දී ඔහුට සිප් සතර කියා දුන් කදිකේසන් ගුරුතුමා විසිනි.

“කදිකේසන් ගුරුතුමා තමා පුංචි අපේ හිත්වලට මානව දයාව, සමාජ සාධාරණත්වය වගේ අදහස් කාවැද්දුවෙ. එතුමා කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක්. ජීවිතය දිහා අලුත් විදිහකට බලන්න අපට පුරුදු කළේ එතුමායි. ඒ නිසා පුංචි කාලෙ ඉඳල ම පත්තර සඟරා කියවන්න මම පුරුදු වුණා. විශේෂයෙන් ම කෙටිකතා කලාවට මම යොමු වුණේ මේ කියවීම ඔස්සේයි.”

සුදාරාජ්ගේ ලොකු අධ්‍යාපන පසුබිමක් සහිත පවුලක සාමාජිකයකු නොවුණද නිවෙසේ පැවති පරිසරය ඔහුගේ පෞරුෂය ගොඩනැංවීමට මනා පිටුවහලක් සැපයීය. 1950 ජූලි 10 වැනිදා යාපනයේ උපත ලද සුදාරාජ්ට සිය පියාගෙන් ලද ආභාසය ද ‍ලෝකය දෙස අලුත් ඇසකින් බැලීමට මඟපෑදීය. සිවසාමි නම් ඔහුගේ පියා ජීවිකා වෘත්තිය සඳහා කළේ වාහන වෙළඳාමය. එසේ වුවද ඔහු දැඩි සමසමාජකාරයකු විය. ඡන්ද කාලයට ඔහු සමසමාජ පක්ෂයේ ලකුණ වන යතුර සහිත රතු කොඩියක් සිය කාරයේ ගසාගෙන පක්ෂය වෙනුවෙන් වැඩ කළේය. පියතුමාගේ වාම දේශපාලන නැඹුරුව සුදාරාජ් ඇතුළු සහෝදර සහෝදරියන්ගේ ජීවන දෘෂ්ටිය කෙරෙහි දැඩි ලෙස බලපෑවේය. සාම්ප්‍රදායික ගෘහණියක වුවද සුදාරාජ්ගේ මව වන රාසම්මා ද තම ශක්ති ප්‍රමාණයෙන් දරුවන්ගේ ඉදිරි ගමනට දායක වූවාය.

“මගේ නිර්මාණ අගය කරමින් මා දිරිමත් කළ අය අතර ‘සිරිතිරන්’ සඟරාවේ සංස්කාරක සුන්දර් හා ‘මල්ලිකෛ’ සඟරාවේ සංස්කාරක ඩොමිනික් ජීවා මහත්වරු විශේෂයි. මගේ නිර්මාණයක් මුලින්ම පළ වුණේ මොරටු සරසවියෙන් පළ කළ ‘නූට්පම්’ කියන සඟරාවෙ. ඒ කාලෙම වගේ මම ‘සිරිතිරන්’ හා ‘මල්ලිකෛ’ සඟරා වලටත් කෙටිකතා ලිව්වා. මේ හේතුවෙන් ‘වීරකේසරී’ පත්තරෙනුත් මට ඇරියුම් ලැබුණා.”

සුදාරාජ්ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන ‘පලාක්කාරම්’ පළ වූයේ 1977 දීය. ඊට, මනා පාඨක විචාරක අවධානයක් යොමු විණි. ඉන් දිරිමත් වූ ඔහු ‘ඉලමෙයිතෝලංගල්’ නමින් නවකතාවක් ද රචනා කළේය. එය 1981 දී වීරකේසරී, ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය කෙරිණ. මෙලෙස සුදාරාජ් හට දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනකට මුල පිරීය.

සිය සාහිත්‍ය ජීවිතයේ හෝ පෞද්ගලික ජීවිතයේ අමතක නොවන මතක සටහන් මොනවාදැයි විමසූ කල සුදාරාජ් මෙසේ පිළිතුරු දුන්නේය.

“වාර්ගික ගැටුම් කාලයේ මගේ හුඟක් ඥාති මිත්‍රයන්ට කරදර වුණත් මට නම් කිසිම හිරිහැරයක් වුණේ නැහැ. ඒකට හේතුව මම සිංහල සමාජය හොඳට ඇසුරු කිරීම වෙන්න ඇති. මම සේවය කරපු ආයතනයේ වගේම මගේ පාඨකයන් අතරත් සිංහල අය හුඟක් හිටියා. ‘රාවය’ වැනි පත්තරවල මගේ කෙටිකතා පළ වුණ නිසා සිංහල ලේඛකයන් ගණනාවකුත් මට හඳුනාගන්න පුළුවන් වුණා. මට හිතෙන හැටියට වාර්ගික ගැටුම් අවුලුවන්නේ දේශපාලනඥයන් විසිනුයි. ඒ අය කරන වර්ගවාදි ප්‍රකාශන නිසා සාමාන්‍ය ජනයා කැලඹෙනවා. මේ තත්වය නරක අතට හැරෙයි කියා බියක් අද දෙමළ ජනයා අතර තිබෙනවා. මේ බිය නැති කරන්න පුළුවන් ලේඛකයන්ට හා කලාකරුවන්ට පමණයි. කලාකරුවන්ගේ වගකීම තමා මානවදයාව හා මානුෂික වටිනාකම් වැඩි දියුණු කිරීම, විශේෂයෙන්ම පොත්, චිත්‍රපට හා නාට්‍ය වැනි කලාංග සිංහලට හා දෙමළට පරිවර්තනය කිරීම ඉතා වැදගත්. ජනවාර්ගික කොටස් අතර යහපත් සන්නිවේදනයක් ඇති වෙන්නේ මෙවැනි දේවල් වලිනුයි. එවැනි දෙයට දායක වීම අපි සියලු දෙනාගෙම වගකීමක් හැටියටයි මම දකින්නේ.”

සුදාරාජ් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකි. ඔහු මුලින් ම රැකියාව කළේ පුත්තලමේ සිමෙන්ති සංස්ථාවේය. සුදාරාජ්ට කුමුදා මුණගැසෙන්නේ එහිදීය. මුලින් ම ඔහුගේ රසිකාවක වූ කුමුදා පසුව ජීවන සහකාරිය බවට පත් වූවාය. ඒ දෙපළගේ දරුවන් හතර දෙනාම කලාවට සම්බන්ධ වීමද විශේෂත්වයකි. එසේ ම මද්දුම දියණිය විවාහ වූයේ සිංහල තරුණයකු සමඟිනි. 2013 වසරේදී ජගත් සංවිධානයේ සම්මේලනයට සහභාගි වූ ප්‍රථම ලාංකික තරුණ කණ්ඩායම නියෝජනය කිරීමට අරුත්‍රා නම් එම දියණිය ද වරම් ලැබුවාය. පරිවර්තිකාවක වූ ඇය දැන් කැනඩාවේ පදිංචිව සිටී. මේ දිනවල සුදාරාජ් යුවළ නිවාඩුවක් සඳහා කැනඩාවට ගොස් දියණියගේ නිවෙසේ වෙසෙයි.

“කැනඩාව බොහොම සාමකාමී රටක්. මිනිසුන් අතර හොඳ අවබෝධයක් ඇතිව සතුටින් ජීවත් ‍වෙන්න පුළුවන් රටක්. නිදහස, ආත්මගරුත්වය ඉහළින්ම අගය කරන නිසා මෙහේ කාටවත් එකිනෙකාට බයෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ...” කැනඩාවේ ජීවිතය කෙබඳු දැයි විමසූ කළ සුදාරාජ් කෙටියෙන් පැවසීය.

සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිස ගත වූ දශක කිහිපය තුළ සුදාරාජ් අතින් පළවූ පොත් ප්‍රමාණය විසිපහක් පමණ වෙයි. ඔහුගේ කතා පොත් කිහිපයක් සිංහල හා ඉංග්‍රීසි භාෂා වලටද නැඟී තිබේ. එසේම ඒවාට රාජ්‍ය සම්මාන ඇතුළු එතෙර මෙතෙර සම්මාන රැසක් ද හිමිව ඇත.

සුදාරාජ් වැඩි වශයෙන් ම ලියා ඇත්තේ කෙටිකතා පොත්ය. ඒවා පිළිවෙළින් මෙසේයි. (1) ‘පලාත්කාරම්’ (1977) (2) ‘කොඩුන්හල්’ (1983/2004) (3) ‘ඔරුනාලිල් මරෙයින්ද ඉරු මාලෙයි කොලුදුහල්’ (1989/2004) (4) ‘කෙරියාද පක්කන්ගල්’ (1997/2005) (5) ‘මනිද තරිඝනන්ගල්’ (2006) (6) ‘සුදාරාජ් සිරුක්කනිගල්’ (2000) (7) ‘කාතෝඩු පොතහල්’ (2002/2005) (8) ‘මානවි මහත්මියම්’ (2009) (9) ‘උයිර්කසීම්’ (2010)

සුදාරාජ් මෙතෙක් ලියා ඇති එකම නවකතාව ‘ඉලමෙයි කෝලංගල්’ නමින් 1981 දී පළ විය. ළමා පොත් රචකයකු වශයෙන් ද ප්‍රකට ඔහු ළමා පොත් 5 ක් ලියා තිබේ. ඒවා අතරින් 3 ක්ම සිංහල බසටද නැඟී තිබේ. ඉන් එකක් වන ‘කිකිළි අම්මා සහ මොනර පැටව්’ 2015 දී ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කළේය.

‘කාට දොස් පවරමුද’, ‘නොපෙනෙන පැති’ හා ‘උත්තමාවි’ යන කෙටිකතා පොත් සිංහලට නැඟී ඇති අතර ‘නොපෙනෙන පැති’ පොත හොඳම කෙටිකතා පරිවර්තනයට හිමි රාජ්‍ය සම්මානය 2006 වසරේදී දිනා ගත්තේය. සුදාරාජ් විසින් දිනා ගනු ලැබූ සෙසු සම්මාන මෙසේය. (1) ‘කොඩුන්ගල්’ කෙටිකතා එකතුව සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය. (2) ‘ඔරු නාලිල් මරෙයින්ද ඉරු මාලෙයි කොලුදුහල්’ සඳහා උතුරු පළාත් පුස්තකාල මණ්ඩල සම්මානය (3) ‘මානවී මහත්මියම්’ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය (4) ‘ඉ‍ලමෙයිකෝලංගල්’ නවකතාව සඳහා ‘Thahavam’ සම්මානය.

ඈෂ්ලි හල්පේ, එම්.ඒ. නුහුමාන් හා රංජනී ඔබේසේකර විසින් සංස්කරණය කෙරුණු ‘A Lankan Mosaic’ ඉංග්‍රීසි කෙටිකතා සංග්‍රහයට සුදාරාජ්ගේ කෙටිකතාවක් ද ඇතුළත්ව ති‍ෙබ්. එසේ ම සුරංගනී ස්වේච්ඡා සේවා සංවිධානය පළ කළ ‘Smiles From Sri Lanka’ ඉංග්‍රීසි ළමා කතා එකතුවට ද ඔහුගේ නිර්මාණයක් එක්කොට ඇත. සුදාරාජ්ගේ අලුත් ම කෙටිකතා එකතුව නම් කර ඇත්තේ ‘කාට්ල් ඉරින්දු වන්තුවන්’ යනුවෙනි. ‘වනයේ සිට පැමිණි මිනිසා’ යන තේරුම ඇති එම කතා සංග්‍රහය ඉන්දියාවේ චෙන්නායි නගරයේ ප්‍රකාශන ආයතනයක් විසින් පළකොට තිබේ.

නුදුරු අනාගතයේදී යළි ලංකාවට පැමිණ සිය සාහිත්‍ය මෙහෙවර ඔස්සේ ජාතික සංහිඳියාවට දායක වීමට සූදානමින් සිටින බව සුදාරාජ්ගේ ඉදිරි අපේක්ෂා පිළිබඳ මා විමසූ විට ඔහු කියා සිටියේය.

Comments