අද ඔයා කොලේජ් යන්නෙ නෑ ඔයාට සනීප නෑ | සිළුමිණ

අද ඔයා කොලේජ් යන්නෙ නෑ ඔයාට සනීප නෑ

අසෙනි වැහි කුණාටු මැදින්  ජීවි­තය සොයා ගිය කුම­රිය

අක්කා කසාද බඳින්න කැමැති නෑ කියන්නෙ ඇයි කියලා එදා දවසෙම මම හිතුවා. ඇත්තටම ඒ වෙනකොට

කසාද බඳින්න මම ආසාවෙන් හිටියෙ. හීනයක් වගේ ලස්සන සුදු පාට දිග ගවුමක් ඇඳගෙන දිග වේල් එකක් දාගෙන

චර්ච් එකකට යන හීනයක් හිත යටින් දැක්කත්, මං කාගෙ අතින් අල්ල ගෙනද යන්නෙ කියලා මට හිතා ගන්න බැරි

වුණා. එදා නින්දෙදිත් මං දැක්කෙ මම බ්‍රයිඩ් කෙනෙක් වෙලා ඉන්න හැටි. ඒ හැම හීනෙකම මනාලයා වෙලා හිටියෙ

වෙන කවුරුවත් නෙමෙයි. ජේසන් අංකල්.

'පිස්සුනෙ ඔයාට. එයා අපේ පප්පගෙ යාළුවෙක්. අපි මැරි කරන්න ඕනෙ අපේ වයසෙ ඉන්න අයව. '

මං දැකපු හීන ගැන නංගිට කිව්වම නංගි හිනාවුණා. නංගි මට වඩා කොහොමටත් හැම දෙයක් ගැනම දැනුම්

තේරුම් තිබුණු කෙනෙක්. ඇඟ පතිනුත් මට වඩා වැඩිලා හිටිය නංගි මං වගේ බොළඳ කෙල්ලක් නෙමෙයි කියලා

අපේ මම්මා විතරක් නෙමෙයි. නෑදෑයිනුත් කිව්වා.

නංගි කියපු දේ පිළිගත්තත් එදාට පස්සෙ ජේසන් අංකල් දැක්කම මගේ හිතේ ඇති වුණේ ලැජ්ජාවක්. වෙනදා

වගේ ජේසන් අංකල් එක්ක කතා කරන්න, කරේ එල්ලෙන්න මට හිතුණෙ නැත්තෙත් ඒ ලැජ්ජාව නිසා වෙන්න ඇති.

'දන්නවද ජේසන්? අපේ බේබි ගර්ල් මැරි කරන්නෙ ඔයාවලුනෙ.'

දවසක් අක්කා ජේසන් අංකල් ඉස්සරහම කිව්වා. මගේ හීන ගැන නංගි ඇරෙන්න වෙන කවුරුවත් දන්නෙ නෑ

කියලා හිතුවට නංගි ඒ හැමදේම අක්කා එක්ක විතරක් නෙමෙයි. මම්මා එක්කත් කියන්න ඇති කියලා හිතුණෙ අපි

ළඟ වාඩි වෙලා හිටිය නංගි හිටි ගමන් නැගිටලා ගෙට දුවලා යද්දියි.

'ඇත්තද බේබි ගර්ල්?'

ජේසන් අංකල් මගේ මුහුණට එබුණා. ජේසන් අංකල්ගෙ කරේ තිබුණු මහත රන් දම්වැල ෂර්ට් කරෙන් එළියට

පැන්නා මං දැක්කා.

'ඔය බොරු.' කියලා කියන්න ඕනකම තිබුණත් මගේ කටින් වචන පිට වුණේ නෑ.

'මගේ අකැමැත්තක් නෑ. ඉස්සර වෙලා බේබි ගර්ල් හොඳට ඉගෙන ගෙන ලොකු නෝනා කෙනෙක් වෙන්නකො. '

ජේසන් අංකල්ගෙ මූණ පුරා තිබුනෙ හංග ගත්ත හිනාවක්.

'ඒ විතරක් නෙමෙයි. නේද ජේසන්? බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඉන්නවනම් ගොඩක් බත් කන්න ඕන.'

අක්කා කිව්වා.

'ඔව්. ඔව්. කෑම නොකන ළමයින්ට බ්‍රයිඩ්ස්ලා වෙන්න දෙන්නෙ නෑ.'

ඒ කතාව එතනින් ඉවර වුණත්, අක්කා මම්මා එක්ක මේ සිද්ධිය කිය කියා හොඳටම හිනාවුණා.

'පොඩිවුන්ගෙ හිත් වලට අනවශ්‍ය දේවල් නොදා ඉන්න ජෙනී.'

අම්මා අවවාද කළා මට මතකයි.

ඒ සිද්ධිය එතැනින් ඉවර වෙන්න ඇති. අක්කා නිවාඩු ඉවර වෙලා ආපහු කොළඹ ගියා. නිවාඩු කාලෙ ඉවර

වෙලා තිබුණු නිසා නංගියි, මමයි කොලේජ් යන්න පටන් ගත්තා. ඒ කාලය හරිම වෙනස් කාලයක්. මගේ ක්ලාස් එකේ

හිටිය ගෑනු ළමයි කීප දෙනෙක්ම නිවාඩු කාලෙ බිග් ගර්ල්ස්ලා වෙලා කියලා පන්තියේ ළමයි කතාවුණා. බිග් ගර්ල්

කෙනෙක් වෙනවා කියන්නෙ මොකක්ද කියලා මට තේරුමක් තිබුණෙ නෑ. මට විතරක් නෙමෙයි. මගේ පන්තියෙ

යාළුවො කාටවත් තේරුමක් තිබුණෙ නෑ. ඒත් සතියකට දෙකකට පස්සෙ අලුත්ම යුනිෆෝම් ඇඳලා, අලුත් සපත්තු

දාලා අමුතුම ආඩම්බරකින් පන්තියට ආව ඒ ගොල්ලො පන්තියෙ ළමයින්ට විතරක් නෙමෙයි ටීචර්ස්ලටත් කේක්

වලින් සංග්‍රහ කරද්දි බිග් ගර්ල් කෙනෙක් වෙන එකෙත් විචිත්‍රත්වයක් මට දැනෙන්න පටන් ගත්තා. බිග් ගර්ල්ස්ලා

වෙලා ආව හැම කෙනෙක්ගෙන්ම මට පෙනුණෙ අමුතු ලස්සනක්.

'අනේ මන්දා මේ ළමයා පැහිලා ඉන්න තරමක්.'

කුතුහලය දරාගෙන ඉන්න බැරි නිසා බිග් ගර්ල් කෙනෙක් වෙනවා කියන්නෙ මොකක්ද කියලා ඇහුවම මම්මා

කිව්වෙ හයියෙන් හිනා වෙන ගමන්.

'සමහර දේවල් තියෙනවා ලීනා. තමන්ට දුරස්ව තියෙනකම් හරිම විචිත්‍රයි. ලස්සනයි. ඒත් තමුන්ට සිද්ද වුණාමයි

ඒකෙ අඩුපාඩු පේන්නෙ. කටුක කම පේන්නෙ. ඕනවට වඩා හිතන්න එපා. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට සිද්ද වේවි.

එච්චරයි.'

කසාද බඳින හීනෙ වගේම, බිග් ගර්ල් කෙනෙක් වෙන හීනෙත් එහෙමම යටපත් වුණත් එක්තරා උදෑසනක

යටපත් වුණු හැමදේම අලුත් වෙන්න පටන් ගත්තෙ මංවත් හිතපු නැති විදියටයි.

නිවාඩු කාලෙ ගමේ ගිහින් හිටිය සිසිලින් ඒ වෙනකොට ආපහු ඇවිත් හිටියා. සිසිලින් උදේ පාන්දර නැගිටලා

කුස්සියේ වැඩ කටයුතු කළත්, හැමදේම සිසිලින්ම කරනකන් ඇඳට වෙලා ඉන්න පුරුද්දක් අම්මට තිබුණෙ නෑ. මම්මා

හැමතිස්සෙම මට පෙනුණෙ උදෑසන ඉස්සර වෙලාම පොළවට වැටෙන ඉර එළිය වගේ. ඒ ඉර එළියත් පොළවට

වැටෙන්නෙ හරිම ප්‍රාණවත්ව. අවට ලෝකයම පුබුදු කරගෙන. මම්මත් එහෙම තමයි. සිසිලින් හිටියත් නංගිගෙයි

මගෙයි තේ අරගෙන කාමරේට එන්නෙ මම්මා.

'බේබි ගර්ල්.... බඩි.... කොලේජ් යන්න ඕන නේද? දැන් නැගිටින්න. තේ ගෙනාවා.'

රෑට කාමරේ දොර වහ ගත්තත් අපි කාමරේ අගුළු දාන්නෙ නෑ. මම්මා කාමරේ දොර ඇරගෙන තේ අරගෙන

එනවා. තේ කෝප්ප දෙක අපි පාඩම් කරන පුංචි මේසෙ උඩ තියලයි මම්මා අපට කතා කරන්නෙ.

'නැගිටලා තේ බොන්න. ඔන්න. අද ඔයාලා ආසම දෙයක් හැදුවා. රෙකෝඩ්ස් විත් ලුණු මිරිස්.'

මම මෙච්චර වෙලා වහගෙන හිටිය ඇස් දෙක ඇරලා බැලුවා. නංගියි, මමයි දෙන්නම ලුණු මිරිස් එක්ක රොටී

කන්න හරි ආසයි. පොල් යහමින් දාලා, රතුලූනු, අමුමිරිස් කපලා දාලා ඒ විතරක් නෙමෙයි වත්තෙ වවලා තියෙන ලූනු

කොළ ටිකක් කපලා දාලා සිසිලින් හදන රොටී හරිම රසයි.

'බඩගිනියි.'

අම්මා මගේ අතේ තිබ්බ වතුර වීදුරුවෙන් කට හෝදලා දාලා තේ කෝප්පෙ අතට ගත්ත මං කිව්වා.

'මූණ හෝදගෙන ඇඳ ගත්තමයි කන්න දෙන්නෙ. ඇති ඇඳට වෙලා හිටියා. දැන් බහින්න.'

හිස් තේ කෝප්පෙ මම්මා අතට දුන්න මම ඇඳෙන් බිමට පැන්නා. කාමරෙන් එළියට දුවන්න හැදුවත් දුවන්න

නොදී මම්මා මාව අල්ල ගත්තා.

'නවතින්න බේබි ගර්ල්. දුවන්න එපා. '

මට එළියට යන්න නොදී මාව හිර කර ගත්ත අම්මා සිසිලින්ට කෑගැහුවා.

'සිසිලින්. ඉක්මනට මෙහෙ එන්නකෝ. '

අම්මා කෑගැහුවත් කුස්සියේ හිටිය සිසිලින්ට ඒ සද්දෙ ඇහෙන්න නැතිව ඇති.

'බඩි... දුවලා ගිහින් සිසිලින්ට එන්න කියන්න. '

මම්මා නිදිමත පෙරෙමින් හිටිය නංගිව ඇඳෙන් බිමට ඇදලා දැම්මෙත් මාව හිර කරගෙන ඉන්න ගමන්මයි.

'මට යන්න දෙන්න.'

මං කෑගැහුවා.

'මට කොලේජ් යන්න පරක්කු වෙනවා.'

'අද ඔයා කොලේජ් යන්නෙ නෑ.'

'ඇයි?'

'ඇයි කියන්නෙ? ඔයාට සනීප නෑ. '

'නෑ. මට උණ නෑ.'

මම්මා හීනියට හිනා වෙලා මගේ නළල සිප ගත්තා.

'ලීනා. අද හොඳ ළමයා වගේ ගෙදර ඉන්න. සිසිලින් ඔයාට හැමදේම කියා දේවි.'

නංගි සිසිලින් එක්ක කාමරේට ආවෙ ඒ වෙලාවෙ.

'මං පප්පට කතා කරන්නම්. කාමරෙන් එළියට එනවා නෙමෙයි. ඔයත් අද කොලේජ් නොගියට කමක් නෑ.'

සිසිලින් මගේ පොරෝනය නවන අතරෙ නංගි මා ළඟට ආවෙ හොර පූසියක් වගේ.

'දන්නවද වැඩක්?'

නංගි ඇහුවා.

'මොකක්ද?'

මං ඇහුවෙ කුතුහලයෙන්. හොරැහින් සිසිලින් දිහා බලපු නංගි මා ළඟට කිට්ටු වුණා.

ලබන සතියට


ප්‍රියංකා අම­ර­තුංග 

Comments