BOLLYWOOD | Page 3 | සිළුමිණ

BOLLYWOOD

 කමල් හසන්ගේ අලුත්ම චරිතය

“මීට පස්සෙ මට චිත්‍රපට ඕනෙ නැහැ. මින් මතුවට මම රඟපාන්නෙ නැහැ!” මෙලෙස පවසන්නේ සුපිරි නළුවකු ලෙස ටොලිවුඩ් සහ බොලිවුඩ් සිනමාවේ ජය දද නැංවූ කමල් හසන්. ඔහු, රංගනයෙන් ඉවත් වෙන්නට තීරණය කර ඇත්තේ වෙනත් ‘චරිතයකට’ මාරුවීමේ බලාපොරොත්තුවෙන්.

දේශපාලන ලෝකයට පිවිසෙන්නටයි කමල් හසන් දැන් සූදානම් වන්නේ. ඉදිරි දින කිහිපය තුළදී ඒ ගැන වැඩි විස්තර ප්‍රකාශ කරන බවයි‍, මේ සුපිරි රංගධරයා පවසන්නේ. “පසුගිය අවුරුදු 37 තුළදී මම මේ සමාජය වෙනුවෙන් කිසියම් සේවයක් කළා.

එතනදි දේශපාලනය කළේ නැහැ. මේ සමාජ සේවා කටයුතුවලදී අපිත් එක්ක ලක්ෂ 10 ක විතර පිරිසක් එකතු වුණා. මේ හැම දෙනාම ගතවූ 37 වසර තුළ මාත් එක්ක හිටියා. ඒ අය අතරින් වැඩි දෙනෙක් තරුණ අයයි. නීතිඥවරු 250 ක පමණ පිරිසකුත් ඉන්නවා.

මේ හැමෝම වැඩ කරන්නෙ ස්වේච්ඡාවෙන්. මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ තවදුරටත් මේ සේවාවන් කරගෙන යන්නයි” කමල් හසන් මේ ප්‍රකාශය කළේ ඉන්දියාවේ පෞද්ගලික රූපවාහිනී චැනලයක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.

මේ වනවිට 63 වැනි වියෙහි පසුවන කමල් හසන්, නුදුරු දිනයකදීම තමන් ගේ නායකත්වයෙන් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට ලක ලැහැස්ති වන බවයි පැවසෙන්නේ. “මට තවදුරටත් සල්ලි හම්බ කර‍ගන්න ඕනෙ කමක් නැහැ.

මගේ බැංකු ගිණුම් තර කරගන්න ඕනෙත් නැහැ. මට අවශ්‍ය නළුවකු හැටියට මිය යන්න නෙමෙයි. මිනිසුන්ට අවංකව සේවය කරලා හොඳ දේශපාලනඥයකු හැටියට දෙනෙත් පියා ගන්නයි” කමල් හසන් තවදුරටත් පැවසුවා.

මීට පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් දේශපාලනයට පිවිසෙන බව පැවසූ සුපිරි නළු රජිනි කාන්ත් සමඟ සන්ධාන ගතවන්නේ දැයි සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රශ්න කෙරුණා. එයට කමල් හසන්ගෙන් ලැබුණේ මේ පිළිතුරයි. “රජිනි කාන්ත්ගෙ ප්‍රතිපත්ති මගේ ප්‍රතිපත්තිවලට වඩා වෙනස් වුණොත් එතන සන්ධානයක් තියෙන්න බැහැ.”

පඹයා වෙනුවට සනිලියොන්

නොයෙකුත් භෝග වර්ග විනාශ කරමින් එහි ඵලදාව කා දමන්නට පැමිණෙන සතුන් එළවා දමන්නට ගොවි මහත්වරු අටවා ගන්නේ පඹයෙක්. නමුත් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ වෙසෙන වයස අවුරුදු 45 ක් වූ චෙන්චු රෙඩ්ඩි, තම වගාවන් රැක ගන්නට යොදාගෙන ඇත්තේ බොලිවුඩ් නිළියකගේ විශාල සේයාරුවක්!

මේ අමුතු උපක්‍රමය අතිශයින් ම සාර්ථක වුණාය කියලයි චෙන්චු පවසන්නේ. ආන්ද්‍රා ප්‍රදේශයේ කින්දි පාලේ නම්වූ ග්‍රාමයේ වෙසෙන ඔහු සතු වූ අක්කර 10 ක භූමියක මල් ගෝවා වගාකර තිබෙනවා.

පඹයින් ඇටවීම ඇතුළු නොයෙකුත් උපක්‍රම භාවිතා කළත් ඔහුට මේ වගාව පරෙස්සම් කරගන්නට හැකිවෙලා නැහැ. විශේෂයෙන් ම, තමන්ට ඊර්ෂ්‍යා කරමින් තමන් සතු වගාබිම දෙස බලන ගම්මුන් නිසා මේ අයහපත සිදුවන බව විශ්වාස කළ චෙන්චු අසාමාන්‍ය උපක්‍රමයක් සිහිපත් වෙලා.

ජනප්‍රිය නිළි සනි ලියොන් පෙනී සිටින විශාල පෝස්ටරයක් මිලට ගත් ඔහු, එය තම වගා බිමෙහි කාටත් පෙනෙන ලෙස රඳවා තැබූහ. ඉන්පසුව කිසිම ගැමියකු මල් ගෝවා වගාව දෙස නොබැලූ බවයි චෙන්චු පවසන්නේ. “මේ අවුරුද්දෙ මම හොඳ අස්වැන්නක් ලැබුවා.

සනි ලියොන්ගෙ පින්තූරය නිසා අනවශ්‍ය පුද්ගලයො කිසිම කෙනෙක් මගේ මල්ගෝවා වගාව දිහා බැලුවෙ නැහැ. ඒ මිනිස්සුන්ගෙ යක්ෂ ඇස්වලින් මගේ ‍වගාව බේරුණා. ඒ නිසා මට කිසිම කරදරයක් වුණේ නැහැ” චෙන්චු එලෙස කීවේ ඉහවහා ගිය සතුටකින්.

දිලිප්ගේ දුක සැප විමසන ශාරුක්

ප්‍රවීණ රංගන ශිල්පී දිලිප් කුමාර් මේ වනවිට වයෝවෘද්ධව දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව කල් ගෙවන බව කිසිවකුටවත් රහසක් නොවෙයි. මෑතකදී වැලඳුණු විජලන තත්ත්වයක් නිසා රෝහල් ගත කළ මේ ප්‍රවීණ කලාකරුවා, සුවය ලබා යළි නිවසට පැමිණියා.

ඔහුගේ දුක සැප නිතරම සොයා බලමින් ඔහු ළඟ එදා මෙන් ම අදත් රැඳී සිටින්නේ ප්‍රිය බිරිය ප්‍රවීණ නිළි සයිරා බානුයි. දිලිප් කුමාර් අසනීප වූ විට ඔහුගේ සුව දුක් විමසන්නට එදා ‍ඔහු සමඟ සිනමා ක්ෂේත්‍රයේ නියැළී සිටි කලාකරුවන් සහ කලාකාරියන් ද නිරතුරුවම පැමිණෙනු දකින්න ලැබුණා.

ඒ අතරින් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටින ශාරුක් ඛාන් ව කැපී පෙනෙනවා. ‍ඔහු, දිලිප් කුමාර් අසනීප වූ විටදී පමණක් නොවෙයි වසර ගණනාවක සිට මේ ප්‍රවීණ රංගධරයාණන්ව මුණ ගැසීමට, ඔහු සමඟ කතා බහ කරන්නට, ඔහු සහභාගි වන විශේෂ අවස්ථාවන්ට එක්වීමට අමතක කළේ නැහැ.

කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටියත් එවැනි අවස්ථාවන් ශාරුක්ගෙන් මග හැරුණේ නැහැ. මේ නිසා දිලිප් කුමාර් සහ සයිරා බානු යුවළත් ශාරුක් වෙත දක්වන්නේ තමන්ගේ පුත්‍ර‍යකුට දක්වන අන්දමේ ආදරයක්.

සොනාක්ෂිට නොලැබුණු රංගන අවස්ථාව

දෙමවුපියන් සමඟ චිත්‍රපටවලට දායක වන දූවරුන් සහ පුතුන් කිහිප දෙනකුම බොලිවුඩ්පුරයේ සිටිනවා. ජනප්‍රිය නළුවරුන් ධාවන්, තම පියා වන ප්‍රවීණ අධ්‍යක්ෂ ‍ෙඩ්විඩ් ධාවන්ගේ නිර්මාණයන් සමඟ එක් වුණා. සෝනම් කපූර් තම පියාණන් වන අනිල් කප‍ූර් සමඟ මෑතකදී චිත්‍රපටයක රඟපෑවා.

රිතික් රෝෂන් මේ කුලකයට එක්කරගත හැකි තවත් නළුවෙක්. ඔහු, තම පියා වන රාකේෂ් රෝෂන්ගේ චිත්‍රපට කිහිපයක රඟපෑ බව සිනමා රසික පරපුරට යළි සිහිපත් කළ යුතු නැහැ‍. මේ අයුරින් ම රිෂිකපූර් - රන්බීර්, අමිතාබ් භච්චන් අභිෂේක් යන පිය පුතුන් ද එකම චිත්‍රපටවල එකට රඟපා තිබෙනවා.

නමුත්, ජනප්‍රිය නිළියක වන සොනාක්ෂි සිංහ තවමත් ඇගේ පියා සමඟ කිසිදු චිත්‍රපටයක රඟපා නැහැ.‍ (ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයෙකු ද වන සිනමා නළු ශත්රුගන් සිංහ තමයි, සොනාක්ෂිගේ පියාණන්) මේ ගැන සොනාක්ෂි තුළ ඇත්තේ දුකක්. “තාත්තා එක්ක රඟපාන්න මම බලාගෙන හිටියත් ඒ ගැන කතා බහ කෙරුණත් තාමත් ඒකට අවස්ථාවක් ලැබිල නැහැ.

මගේ තාත්තා වගේ ජනප්‍රිය, ප්‍රවීණ නළුවෙක් එක්ක චිත්‍රපටයක රඟපාන්න ලැබුණොත් ඒක වාසනාවක් හැටියටයි මම සලකන්නෙ. එහෙම රඟපාන කොට මට රඟපෑම ගැන තව ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියේවි” සොනාක්ෂි මාධ්‍ය හමුවකදී පැවසුවා.

 

Comments