සිය­වස් ගණ­නක් නොදිරා පව­තින සාන්ත අන්තෝනි මුණිඳුන්ගේ ධාතූන් දැක­ග­නිමු | Page 2 | සිළුමිණ

සිය­වස් ගණ­නක් නොදිරා පව­තින සාන්ත අන්තෝනි මුණිඳුන්ගේ ධාතූන් දැක­ග­නිමු

ඉතාලිය හරහා මෙජිගෝරිය වෙත ගිය මෙම සංචාරයේදී අප දැන් සිටින්නේ අවසන් දින කිහිපයේය. ඒ අනුව මෙජිගෝරියේ දින තුනක් රැඳී සිටි අප ආපසු යළි ඉතාලියට පැමිණියෙමු. අද දිනයේ අප පළමුවෙන්ම ගියේ රෝස කුසුම් තුනක් හදවත මත ඇතිව දේව මෑණියන් දර්ශනය වුණු ‘ රෝස මිස්ටිකා‘ලෙස හඳුන්වන ෆොන්තනෙල්ලේ ප්‍රදේශයටයි.

අපගේ සංචාරය භාරව කටයුතු කරන ප්‍රසාදි නානායක්කාර මෙනෙවියගේ සැලසුමට අනුව මීළඟට අප යායුත්තේ පාදුවා නගරයටයි. පාදුවා කියූ සැනින් සිහිවන්නේ අපේ රටේ පමණක් නොව ලොවපුරා කිතුණු බැතිමතුන්ගේ ආදර, ගෞරව බුහුමනට පාත්‍රව සිටින සාන්ත අන්තෝනි මූනීන්ද්‍රයාගේ සිරුර තැන්පත් කර ඇති සාන්ත අන්තෝනි බැසිලිකාවයි.

පාදුවා යනු උතුරු ඉතාලියේ වෙනිටෝ ප්‍රදේශයේ පිහිටි සුන්දර නගරයක් වන අතර මෙය අපගේ සංචාරයේ වන්දනාවට බඳන් වන තවත් ප්‍රධාන ස්ථානයකි.

ෆොන්තනෙල්ලේ සිට කිලෝමීටර 143 කට වැඩි දුරක් ගෙවා පාදුවා වෙත යායුතු අතර මේ සඳහා පැය තුනකට ආසන්න වේලාවක් ගතවෙයි. ෆොන්තනෙල්ලේ වලින් අප පිටත්වන විට දහවල් 12 පසුවී තිබුණු හෙයින් දිවා ආහාරය අධිවේගී මාර්ගයේ ගිමන් නිවන ස්ථානයක ඇති රෙස්ටෝරන්ට් එකකින් ගැනීමට ප්‍රසාදි සැලසුම් කර තිබිණි.

මෙම සංචාරයේ අප මේ සිටින්නේ 6 වැනි දිනයේ නිසාත් පෙරදින රාත්‍රිය පුරා ගමනේ යෙදීම නිසාත් අප සිටියේ අධික වෙහෙසට පත්වය. සුඛෝපභෝගී බස් රථයේ වුවත් ගමන් කිරීමේදී අපහසුතා දැනුණු අතර විඩාව නිවාගන්නට අප කළේ ගීත ගායනා කරමිනි.

ටිරෝන් ගිටාර් වාදනයෙහි දක්ෂයකු මෙන්ම හොඳ ගායකයෙකි. ප්‍රසාන්තගේ ගායන හැකියාවද ඊට දෙවැනි නැත. මානෙල් ගුරුතුමියද හොඳ ගායිකාවකි. රොහාන්, අරුණ, අනිල් ,ශාම්, එඩිසන් අයියා ඇතුළු අප සැවොම ගීත ගයමින් නොදැනීම පාදුවා වෙත පැමිණියෙමු. ඒ ගමන රසවත්ය. මිහිරිය.

සාන්ත අන්තෝනි යනු ස්වර්ගස්ථ වී ඉතාම කෙටි කාලයකදී ශුද්ධවරයට ඔසවනු ලැබූ මුණිවරයෙකි.

පාදුවාහි පිහිටි සාන්ත අන්තෝනි බැසිලිකාව ලොවපුරා කිතුනු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවුණු සුවිශේෂී ස්ථානයකි. වසරකට සංචාරක බැත්මත්හු මිලියන 5 කට අධික සංඛ්‍යාවක් මෙහි පැමිණෙති. ඒ සාන්ත අන්තෝනි මුණිවරයාගේ දිව, උගුර ඇතුළු අවයව කිහිපයක්ම තවමත් දිරානොගොස් තිබෙනු දැකිය හැකි නිසායි.

බැසිලිකාවේ පිටත පෙනුම ඉතා අලංකාරය. දැවැන්තය. මුලින්ම මෙම ස්ථානයේ තිබී ඇත්තේ කුඩා දේවස්ථානයකි. වරින් වර විවිධ වැඩිදියුණු කිරීම් කර ඇති අතර මේ නිසා රෝමන්, ගොතික්, බයිසැන්තියන්, පුනරුද සහ බාරොක් යන විවිධ ශෛලීන්ට අනුව ඉදිකර ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ දැකිය හැකිය.

මුලින්ම මෙම බැසිලිකාව ඉදිකිරීම අන්තෝනි මුනිතුමාට ගෞරවය පිනිස එතුමන්ගේ මරණයෙන් වසරකට පසු එනම් 1232 ආරම්භ කර ඇති අතර වැඩ අවසන් කර ඇත්තේ 1310 වසරේ බව සඳහන් වෙයි.

සාන්ත අන්තෝනි මුණිතුමා 1195 වසරේ අගෝස්තු 15 වැනිදා පෘතුගාලයේ ලිස්බන් නගරයේ ධනවත් පවුලක උපත ලබා ඇති අතර ඔහුගේ නම Fernando martinus de bulhose ය. විසෙන්ටේ මාටිනස් සහ තෙරේසා පායිස් ටවෙයිරා ඔහුගේ පියා සහ මය වන අතර ඔවුහු කතෝලිකයන් වෙති.

ධනවතකු වුවත් ළමා වියේදී සිටම දුප්පත් අසරණ මිනිසුන් කෙරෙහි දයාව, ආදරය කරුණාව දැක්වූ උන් වහන්සේ පැවිදි දිවියට ඇතුළත්ව දුප්පතුන් වෙනුවෙන් සේවය කිරීමට කැපවූහ.

ඉතාලියේ පාදුවා ප්‍රදේශයේ සේවයට පැමිණි උන් වහන්සේ අසරණ දුප්පත් ජනතාවට ආදරය කරුණාව පතුරමින් සේවය කළහ. විශේෂයෙන් එම දිනවල පැතිර ගිය ලාදුරු රෝගීන්ගේ සුවය වෙනුවෙන් කැපවී සේවයකළ උන් වහන්සේ රෝගාතුර වූ අතර එම රෝගය උත්සන්න වීමෙන් 1231 ජූනි 13 වැනිදා පාදුවා හිදී මරණයට පත්ව තිබේ.

මිය යනවිට උන් වහන්සේගේ වයස අවුරුදු 35 කි. උන්වහන්සේගේ මරණය සැලවීමත් සමඟ කුඩා දරුවන් වීදි පුරා හඬා වැටී ඇත්තේ ඒ තරමට අසරණ දරුවන් හට ආදරය කරුණාව දක්වා ඇති නිසාවෙනි. උන් වහන්සේ ගේ ඉල්ලීමකට අනුව දේහය මෙම ස්ථානයේ තිබූ කුඩා පල්ලියේ ( chapel ) තැන්පත් කර ඇත.

උන් වහන්සේට වැළඳුණු උණ රෝගය හඳුන්වන්නේ ‘සාන්ත අන්තෝනි ගින්න ‘ ලෙසය. මෙම රෝගය වැළඳුණු රෝගීන් අන්තෝනි තුමන්ගේ දේහය තැන්පත් කර ඇති සොහොන් ගැබෙ හි බිත්තිවලට හිස තබා යාඥා කරන්නට වූ බවත් මෙලෙස යාඥාකළ රෝගීන් විස්මිත ලෙස සුවය ලබන්නට වූ බවත් පැවසේ.

මේ නිසා උන්වහන්සේගේ මරණයෙන් වසරකට පසු සිරුර ගොඩගෙන පරීක්ෂා කිරීමේදී ඇට සැකිල්ල ඉතිරිව ශරීරයේ අනෙකුත් අවයව දුහුවිලි බවට පත්ව තිබුණත් දිව සහ උගුර ප්‍රදේශයත් ,හනුවත් නොදිරා එලෙසම තිබී ඇත. උන් වහන්සේ කළ දේශනා නිසා දෙවියන් වහන්සේ උගුර සහ දිව ආරක්ෂා කර ඇති බව විශ්වාසයයි.

මේ නිසා 9 වැනි ග්‍රෙගරි පාප් වහන්සේ විසින් අන්තෝනි පියතුමා 1232 මැයි 30 වැනිදා සාන්තුවරයට ඔසවනු ලැබූහ. පසුව මෙම දිව, උගුර සහ හනුව බැතිමතුන්ට දැකගැනීම පිනිස රත්තරනින් කළ කරඬු තුළ තැන්පත් කිරීමට කටයුතු කර තිබේ.

උන් වහන්සේ ස්වර්ගස්ථවී වසර 750 කට පසු එනම් 1981 ජනවාරි 06 වැනිදා 2 වැනි ජුවාම් පාවුලු පාප් වහන්සේ විසින් යළිත් මෙම සොහොන් ගැබ විවෘත කර ඇති අතර මේ අවස්ථාවට පාප් වහන්සේ, පූජක ප්‍රසාදීන් වහන්සේලා,වෛද්‍යවරු ඇතුළු 200 ක පමණ පිරිසක් සහභාගි වී තිබේ.

මෙහිදී විශාල ලී මිනී පෙට්ටියක් තිබී ඇති අතර එය විවෘත කළ විට ඇතුළත තවත් කුඩා ලී පෙට්ටියක් තිබී ඇත. ඒ තුළ ඇට සැකිල්ල, කොණ්ඩය සහ අවශේෂ කොටස් සහ ලෝගුව තිබී ඇත. අද මෙම බැසිලිකාවේ ප්‍රධාන අල්තාරය පිටුපස ඇති කෞතුකාගාරයක් බඳු කොටසේ (Chapel of Relics) ඇට සැකිල්ල හැර අනෙකුත් ධාතූන් තැන්පත් කර ඇත.

මෙම පල්ලිය මුලින්ම තනි කොටසක් ලෙස ඉදිකර තිබී ඇති අතර කලින් කලට කොටස් එකතු කර වර්තමානයේ ගොඩනැගිල්ල බවට පත් කර ඇත. 1691 ටෙසරි සත්ප්‍රසාද කරඬුව බාරොක් ශෛලියට අනුව ෆිලිපෝ පරෝඩි ශිල්පියා විසින් නිර්මාණය කර ඇති අතර ඔහු විශිෂ්ට නිර්මාණ ශිල්පී බෙර්නිනීගේ ගෝලයෙකි.

අප බැසිලිකාවට ඇතුළු වීමු. මෙහි ඇතුළත කුඩා පල්ලි 4කි. Chapel of st. James, Chapel of st. Anthony, Chapel of Blessed Luca සහ Chapel of Black virgin ලෙස ඒවා හඳුන්වයි. මීට අමතරව සාන්ත අන්තෝනි තුමාගේ සොහොන් ගැබ සහ ධාතූන් තැන්පත් කර ඇති කුඩා පල්ලිය තිබේ.

එසේම සාන්ත අන්තෝනි මුණිඳුන්ගේ ජීවිත සිදුවීම් 4 ක් ඇතුළත් දැවැන්ත පිළිම 4 ක් දැක ගත හැකිය. එසේම දේව මෑණියන් ජේසු බිලිඳුන් සමඟ සිටින මූර්තියක් දැක ගතහැකි අතර මෙය ප්‍රංශ මූර්ති ශිල්පී ස්ටෙෆා ඩි ෆෙරෙයිරා විසින් කළ නිර්මාණයකි. මෙහි දේව මෑණියන්ගේ කොණ්ඩය කළු පැහැයෙන්ද හම අවපැහැයෙන්ද නිර්මාණය කර ඇති නිසා ඩාක් මැඩෝනා (Dark Madona) ලෙස හඳුන්වයි.

එසේම මෙහි ඇතුළත සිතුවම් රාශියකි. ජේසුතුමන් කුරුසියේ ඇණ ගසන අවස්ථාව දැක්වෙන චිත්‍රය, අන්තෝනි මුණිතුමන්ගේ අවමංගල්‍යය දැක්වෙන චිත්‍ර මේ අතරින් විශේෂිත වෙයි. අප සෙමින් සෙමින් මෙම දේවස්ථාන නරඹමින් ගොස් අන්තෝනි මුණිතුමන්ගේ දිව සහ ශරීර කොටස් තැත්පත් කර ඇති පල්ලියට ගොස් යාඥා කරමින් ඒවා දැක ගත්තෙමු.

සැබැවින්ම දෙනෙත් අදහාගන්නට පවා අපහසු තරමේ මෙම ප්‍රාතිහාර්ය දැකගත් අප බැසිලිකාවෙන් පිටතට පැමිණියෙමු. අද දිනයේ මෙම බැසිලිකාව දැකගැනීම අපගේ සංචාරයේ නිමාව බැවින් අප නවාතැන් ගන්නට නියමිත හෝටලය වෙත යන්නට බස් රථයට ගොඩවුණෙමු.

තව කොටසක් ලබන සතියේ

Comments