
කුස්සියේ වගකීම් මට
‘‘ ඈ බං චන්ද්‍රපාල, මොකද මේ උඹ කවදාවත් නැතුව කුස්සියට වෙලා හාල් ගරන්නේ? ඇයි අද කුසුමා නංගි ගමේ ගිහිල්ලාවත්ද? ‘‘
තම මිතුරා නිවසේ ඉදිරිපස කොටසේ පෙනෙන්නට නොසිටි හෙයින් ඔහු පිළිබඳව විපරම් කරමින් කුස්සියට හිස පෙවූ රත්නසිරි විමසුවේ දුටු දසුනින් විමතියට පත් වෙමිනි.
‘‘ඇයි බං මෙදා පාර ඡන්දෙ කාන්තා නියෝජනය වැඩි හින්දා අපේ කුසුමාටත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමක් ලැබුණනෙ.එයා අද උදෙන්ම ගියා මන්ත්‍රීකමේ දිවුරුම් දෙන්න. දැන් අද ඉඳලා කුස්සියෙ වගකීම් ටික ඉබේම පැවරුණේ මට‘‘ චන්ද්‍රපාල කීවේ සුසුමක් හෙළමිනි.
මොකද බැරි ?
‘‘ඡන්ද ප්‍රතිපල කියල ඉවරවෙන්ඩත් කලින් උඩහ වතුකරයේ කුකුළා ලකුණින් තරග කරපු කට්ටිය පොහොට්ටුවත් එක්ක එකතු වෙලා එහේ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවනවා කියලා දෙගොල්ලො එකට අත්වැල් බැඳගෙන ප්‍රසිද්ධියේ කිව්වනෙ.ඕන් ඊයෙ කියනවා නුවර එළියේ නගර සභාව බුලත් කොළේ එක්ක එකතුවෙලා පාලනය කරනවලු. ඔය විදිහට එක සැරේ දෙපැත්තකට එකතු වෙන්ඩ පුළුවන්ද අනේ?‘‘ රූපවාහිනියේ ප්රවෘත්ති නරඹමින් සිටි අමිතා තම සැමියා දෙස බලා කීවේ දෑස් අයා කට ඇද කරමිනි.
‘‘ මොකද හාමිනේ බැරි ? ඇයි අහලා නැද්ද කියමනක් තියෙනවා ‘ කොටන කුකුළාට ඒ පැත්තත් එකයි මේ පැත්තත් එකයි කියල.ඔය කුකුළාත් ඒකාම වෙන්ඩ ඇති ‘‘ කරුණාසේන කීවේ අවඥාවෙනි.
දැන් මොනවා කරන්ඩ ද?
ඈ පුතේ , දැන් ඉර මුදුන් වෙන්ඩත් කිට්ටුයි නොවැ. ඉතින් නැගිටපංකො දැන්වත්. ඡන්දෙට නාම යෝජනා දුන්න දවසෙ ඉඳලා බිං කරුවල තියෙද්දිම දනිපනි ගාලා නැගිටලා, කඩිමුඩියෙ ලකලැහැස්ති වෙලා පාන්දරම ගෙදරින් පිටත් වෙන මිනිහා මොකද දැං උකටලී වෙලා? සොපිහාමි තම පුතු නිදා සිටින ඇඳේ ඉහ අද්දරට විත් කීවේ තරමක උස් හඬිනි.
ඡන්දෙට ඉදිරිපත් වුණාම ඡන්ද වැඩවලට උදෙන්ම නැගිටලා දුවපැනපු එක හැබෑව. ඡන්දෙන් පැරදුණායින් පස්සෙ උදෙන් නැගිටලා මං අහවල් කෙංගෙඩියක් කරනන්නද අම්මේ? නාමසේන කීවේ පහළට ලිස්සා තිබූ සරම ඉහළට ඔසවා හිසේ සිට පොරවා ගනිමිනි.
එහෙම වුණොත්..?
මං මේ බයේ ඉන්නෙ මට විපක්ෂනායකකම භාර ගන්ඩ වෙයිද කියල. පිළිකන්නේ බිත්තියක සවිකර තිබූ කණ්ණාඩියෙන් මුහුණ බලමින් රැවුල කපමින් සිටි චන්ද්‍රසිරි කීවේ කුස්සියේ උයමින් සිටි තම බිරිඳට ඇසෙන සේය.
ඒ මොන විකාර කතාවක්ද? විපක්ෂනායක කමට ඔයාව තෝරා ගන්නෙ අහවල් හේතුවක් හින්දද? ශාන්ති ඇසුවේ විශ්මය පළකරමිනි.
ඇයි හාමිනේ ඔය ටී.වී එකෙන් විපක්ෂක නායකගෙ හැටි දැකලා නැතුවයැ. ඊට පස්සෙ මගේ පෙනුමෙ හැටියට විපක්ෂනායකකම මට භාරදුන්නොත් එහෙම.චන්ද්‍රසිරි කීවේ කණ්ණාඩියට මුහුණ ළංකොට ඇහිබැම දකුණතින් පිරිමදිමිනි.