සමීප රූප | Page 2 | සිළුමිණ

සමීප රූප

සැලළිහිණියාගේ සුන්දර සුබපැතුම

අලුත් අවුරුදු සුබපැතුම් අතරට වර්ෂයක් පාසා ලැබෙන සුබපැතුම් පත්, දින දර්ශන දින පොත්, ඉන්ද්‍රචාපගේ සමීප රූපයේ. ඇතැමුන්ට වර්ෂාවසානය අභ්‍යන්තරයේ දින පොත්, දින දර්ශන පිස්සුවක් ද හැදෙන බව ඉන්ද්‍රචාප දැක තියෙනවා. පසුගිය සතියේ ඉන්ද්‍රචාපට 36 වසරැති සැලළිහිණියා මුණ ගැහුණෙ බෞද්ධාලෝක මාවතේ දුකින් කල්පනාවෙන් ඉන්න මොහොතකයි. ඒත් මෙදා සැරේ සැලළිහිණියාගෙ හොටේ අමුතුම වර්ගයේ සුබපැතුමක් එක්ක, ප්‍රීතියෙන් ඉන්නවා දැක්කම ඉන්ද්‍රචාපටත් සතුටක් දැනුණා. සැලළිහිණියා ඉන්ද්‍රචාපට තිළිණ කළ 2018 දින දර්ශනය ඉන්ද්‍රචාපගේ සමීප රූප අතර නොනැසෙන මතකයක් විදියට තැන්පත් වුණා. දින දර්ශන අවුරුද්ද අවසානයේ, පිටුවෙන් පිටුව ගැලවී වීසි වුණත්, සමහර දින දර්ශන එහෙම වීසි නොවන්නෙ ඒවගේ ඉන්න සුන්දර ස්ත්‍රීන්ගෙ, සොබා සෞන්දර්යයේ ලස්සන චිත්‍ර ඡායාරූප නිසා. ටයර් නිෂ්පාදන සමාගමක කැලැන්ඩරේ, යන්තම් උඩ කොටසත් යට කොටසත් වසාගත්, සුන්දර යෞවනියකගේ නිරුවත් ඡායාරූප සහිත කැලැන්ඩර් පිටු විනාශ නොකරන පිරිස් සිටින බව ඉන්ද්‍රචාප දන්නවා. ටයර් හා ස්ත්‍රී නිරුවත අතර කුමන සම්බන්ධයක් ද කියලා ඉන්ද්‍රචාප කල්පනා කරන්නෙ නෑ. ඊට වඩා වැදගත්, අප‍ූර්ව, කලාත්මක දින දර්ශනයක් ඉන්ද්‍රචාප අත රැඳිල තියෙන කොට.

මාධ්‍ය ආයතනයක් විදියට රූපවාහිනියේ මේ අවුරුදු තිළිණය, මේ විදියෙ දින දර්ශනයක් ඉන්ද්‍රචාප දැකපු පළමු වැනි අවස්ථාව ද කියලත් කල්පනා වෙනවා. දින දර්ශනයෙ නිර්මාණාත්මක සංකල්පය කුමාර අලගියවන්නගෙ. පිරිසැලසුම් මෝස්තරය Lay out Design සිසිර විජේතුංගගෙ. සංකල්පය හඳුන්වාදෙන්න මූලික වුණු රූපවාහිනියෙ රවී ජයවර්ධන, සිසිර මලැවිතන්ත්‍රි ප්‍රමුඛ නිලධාරීන් හැමෝටම ඉන්ද්‍රචාපගෙ ආදරය ගෞරවය නොඅඩුවම පිරිනැමෙනවා.

මාධ්‍ය ආයතනයක් විදියට, ජාතික රූපවාහිනිය, මේ දින දර්ශනයෙන්, අපගේ සාහිත්‍ය නාට්‍ය සංගීත, සිනමා කලා ක්ෂේත්‍ර තුළ, නොමියෙන මතක රැඳවූ අප්‍රමාණ දායාද ජනතාවට දුන් පුරෝගාමීන්, අපගේ ජීවිතවලට අරුතක් එක් කළ විශිෂ්ටයන් පිරිසකගේ මතක වසරක් පුරා සිහිපත් කිරීමට ඉඩ සැලසීම මහඟු මෙහෙවරක්.‍

පිටු හයක් ඇතුළේ, විශිෂ්ටයන් දොළොස් දෙනෙකුට දින දර්ශනය සීමාවීම තුළ ඇතැම්, විශිෂ්ට භූමිකාවන්ට හිමිකම් කියන්නන්ගේ මුහුණු නොවීම ද ඉන්ද්‍රචාප දකිනවා. පෙදෙහි රසහව් යටතේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ හෙවත් කොග්ගල ප්‍රාඥයා ගේය පද රචනාවෙහි හා සාහිත්‍යයෙහි පුරෝගාමී ලකුණක් වූ, මහගමගේ සමරසේකර නොහොත් මහගම සේකර, තාල සමඟ නර්තනයෙහි විශිෂ්ටයන් වූ චිත්‍රසේන හා පණීභාරත, කරළියෙහි විස්කම් පෑ මහැදුරු සරච්චන්ද්‍ර හා සුගතපාල ද සිල්වා සලරූ අතරෙහි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ ගාමිණී ‍ෆොන්සේකා, පුංචි තිරය වර්ණවත් කළ ටයිටස් තොටවත්ත, ධම්ම ජාගොඩ, මියුරුසර ඔස්සේ අප සවන් සැනහූ, සනසන ආචාර්ය පණ්ඩිත් අමරදේව හා නන්දා මාලිනී ඉන්ද්‍රචාපගේ සමීප රූප අතර.

ශ්‍රී ලාංකේය කලාව, සංස්කෘතිය, ඉතිහාසය, ජනමාධ්‍ය ආදී ජන ජීවිතය හා නිරන්තරව බැදුණු මාධ්‍ය තුළ විශිෂ්ට මෙහෙවර ඉටු කළ පු‍රෝගාමී චරිත රැසක සමීපරූප ඉන්ද්‍රචාපට පෙනෙනවා. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය සෙනරත් පරණවිතාන, සංගීතයෙහි හා සිනමාවෙහි ඉන්ද්‍රඛීල‍ සේ නොමැකෙන පෞරුෂ වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සිනමාවෙහි නිළි රැජිණ රුක්මණී දේවි ජනමාධ්‍ය හා රූපවාහිනී මාධ්‍ය පුරෝගාමීන් වූ ඩී.බී. ධනපාල, එම්.ජේ. පෙරේරා හා තවත් බොහෝ විශිෂ්ටයන් ගේ මුහුණු දින දර්ශනයෙහි වී නම් කෙතරම් හොඳ දැයි ඉන්ද්‍රචාපට සිතුණත්, දින දර්ශනයක පිටු හයක් අතරේ මේ සියල්ලන් අප වෙතට ළං කිරීම අපහසු බව ඉන්ද්‍රචාපට වැටහෙනවා. දින දර්ශනය කොළ දොළහක් වී නම්, මේ සියලු දෙනා එක්වර අපගේ සමීප රූපයට ළංවනු නියතයි. එහෙත්, එවන් අඩුපාඩු සහිතව වූවත්, 2018 ජාතික රූපවාහිනිය, තම ප්‍රේක්ෂකයන්ට පුද කළ මේ අපූරු සුන්දර සුබපැතුම් ඉන්ද්‍රචාප ප්‍රමුඛ කලා රසික සහෘද මතකයෙහි දිගු කලක් රැඳී තිබෙණු සත්තයි.

 

 

Comments