රොෂාන් රිද්මා කැදැල්ල | Page 3 | සිළුමිණ

රොෂාන් රිද්මා කැදැල්ල

මම ජීවිතේ හරිම තීර­ණය ගත්තා

රොෂාන් පිලපිටිය

කලා ලෝකයේ කාගේත් ආදරයට නිබඳවම ලක් වූ ජනප්‍රිය රංගන ගීල්පියෙකු ලෙස රොෂාන් පිලපිටිය හඳුන්වාදිය හැකියි. පසුගියදා ඔහු තම දිවියේ සොඳුරු පැතුමක් ඉටුකර ගන්නට සමත් වුවා. ඒ රිද්මා දිසානයක සමඟ අතිනත ගැනීමෙන්. රොෂාන් රිද්මා කැදැල්ලේ නවතම තොරතුරු සොයාබලන්නට අපි කටයුතු කළා.

පසුගිය දා ඔබේ ජීවිතයට සුන්දර වෙනසක් එක් වුණා. මොකද හිතෙන්නේ?

සතුටක් දැනෙනවා. එය මගේ ජීවිතේ සිදු වූ සොඳුරුතම වගේම ලොකු වෙනසක් වුණා.

ඇය ගැන දැන් බොහෝ දෙනෙක් කතා කරනවා.?

ඇය රිද්මා දිසානායක පිලපිටිය. මට මගේ ජීවිතයේ හමු වූ හොඳම යෙහෙළිය ඇය කිව්වොත් නිවැරැදියි. කාලයත් සමඟ ඒ යෙහෙළිය හා බැඳුණු මිතුදම ආදරයකට පෙරළුණා. පෙම්වතුන් වී නොබෝ දිනකින් අපි විවාහ වුණා. මම හිතන්නේ ඇයත් සමඟ විවාහ වීමෙන් මම ජීවිතේ හරිම තීරණය ගත්තා කියලයි.

මේ දිනවල සිදුවන ඔබගේ කලා කටයුතු ගැනත් දැන ගන්න කැමැතියි?‍

ටෙලි නාට්‍ය , වේදිකා නාට්‍ය කිහිපයකින්ම ප්‍රේක්ෂකයින් අතරට මම පැමිණෙනවා. 'සිදූ, සල්සපු නා, සුදු අඟුරු, කෝටිපතියෝ, සඳ දිය සිත්තම්' ටෙලි නාට්‍ය වගේම අජිත් මෙන්ඩිස් ගේ 'හදන්නම බෑ' වේදිකා නාට්‍යයේත් මම රඟපානවා. ඒ වගේම සිනමා නිර්මාණ කිහිපයක්ම තිරගත වෙන්නත් තිබෙනවා.

ඒ කියන්නේ ඔබ මේ දවස්වල කාර්ය බහුල රංගන ශිල්පියෙක්?

එහෙමම කියන්නත් බැහැ. කාලෙන් කාලෙට රඟපාන ටෙලිනාට්‍ය විකාශය වෙන්නට ගත්තම ඒවා එක දිගට එක පෙළට විකාශය වෙනවා. එනිසා ප්‍රේක්ෂකයන් හිතන්නේ හැමදාම රඟපානවා කියලා. ඒත් මේ දවස්වල නම් එකදිගට ටෙලි නාට්‍යවල රඟපානවා.

විවේකයක් ලැබුණම මෙකද කරන්නේ?

වැඩියෙන්ම කරන්නේ පොත්පත් කියවන එක තමයි.

පොත් කියවන එක ඔබේ පුරුද්දක්ද?

මට වෙලාවක් තියෙන හැම මොහොතෙම කරන්නේ පොත් කියවන එකයි. මගේ පළමුවැනි ටෙලි නාට්‍යයේ ඉඳන්ම මට ලැබෙන මුදලින් මම ඉස්සරෝම කරන්නේ පොතක් මිලදී ගන්න එකයි. එය දැන් මගේ පුරුද්දක්. ඒ වගේම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හැදෙන චිත්‍රපට නරඔන්නත් මම කැමැතියි.

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් සෑහෙන කාලයක්. නිර්මාණයක් කරන්න අදහසක් නැත්ද?

ඔව්. දැන් වසර විස්සකට වැඩියි. මගේ ජීවිතේ හරිම සරලයි. ලොකු බලාපො‍රොත්තු නැහැ. ක්ෂේත්‍රයේ ඕනෑ තරම් නිර්මාණාත්මක අධ්‍යක්ෂවරු ඉන්නවා. නිෂ්පාදකවරු ඉන්නවා. මගේ හිතේ දැන්ම ම අධ්‍යක්ෂවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක් වෙන්න ආසාවක් නැහැ. මොකද ප්ලේන් එකක් පදවන්න එක මොහොතින් පයිලට් කෙනෙක් වෙන්න බැහැනෙ. මම හිතන්නේ රංගන ශිල්පියෙක් වූ පමණින් අධ්‍යක්ෂවරයෙක් වෙන්න බැහැ කියලයි. නමුත් මමත් කවද හරි අධ්‍යක්ෂණය කරාවි. එත් තවම එවැනි අදහසක් නැහැ.

ඔබේ රංගනයන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හැමදේකටම එක වගේ ප්‍රතිචාර තිබෙනවා. එකක් කියල නම් කරන්න බැහැ. එකිනෙකට වෙනස් චරිත තමයි හැම නාට්‍යයකම වගේ රඟපාන්නේ. මට ලැබෙන ඒ හැම චරිතයක්ම මට අභියෝගයක් තමයි.

සම්මාන උළෙල ගැන මොකද හිතන්නේ?

සම්මාන උළෙල පවත්වන එක හොඳයි. මටත් සම්මාන සෑහෙන ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. ඒවා රංගන ශිල්පියාවේවා නිර්මාණකරුවා වේවා මේ හැම දෙනාටම ලොකු හයියක්. නමුත් හොඳ නිර්මාණ වලට සාධාරණ විනිශ්චයක් එයින් ලැබිය යුතුයි.

ඔබේ බිරිය රංගන ශිල්පිණියක්ද?‍‍

මාධ්‍ය වලින් පවසා තිබුණ විදිහට ඇය රංගන ශිල්පිනියක් නොවෙයි. ඇය රූ රැජන තරඟයකින් දිනා තිබෙනවා. ඇයත් මම වගේම පොත පත ගැන හුඟක් උනන්දුයි. ඇගේ අරමුණ නීති ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නයි. ඒ ඔස්සේ රටට සේවයක් කරන්න තමයි ඇගේ බලාපොරොත්තුව.

ඔබ හදිස්සියේම විවාහ වුණේ ඇයි?

ජීවතේ සිදු වූ දේවල් සමඟ කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියලයි හිතාගෙන හිටියේ. ඒත් ඒ තීරණය වෙනස් වුණා.

රිද්මා මොන වනගේ බිරියක්ද?

ඇයටත් මට වගේම සරල ගති පැවැතුම් තමයි තිබෙන්නේ. ගොඩක් වෙලාවට සතුන්ට හරිම කරුණාවන්තයි.ඇගේ සිතුම් පැතුම් මට ගැලපෙනවා. හැමදාමත් ඇය මට ආදරණීය බිරියක් වේවි.

මොනවද ඔබ දෙදෙනාගේ පැතුම්?

සමාජයට කරදරයක් නොවී සතුටින් ජීවත් වීම තමයි අපි දෙදෙනාගේම කැමැත්ත.

Comments