තම­න්ගෙම ව්‍යාපා­ර­යක් කර­න­කොට නිද­හසේ ජීවත් වෙන්න පුළු­වන් | Page 2 | සිළුමිණ

තම­න්ගෙම ව්‍යාපා­ර­යක් කර­න­කොට නිද­හසේ ජීවත් වෙන්න පුළු­වන්

මේ දිනවල සිරස නාළිකාව ඔස්සේ විකාශය වන පැහැසරා නාට්‍ය නරඹන ඕනෑම අයකුගේ හිත දිනාගත් චරිතයක් තමයි ජූඩ්. ජූඩ් තමන්ගේ හාම්පුතා එක්ක වගේම ලියන මහත්තය එක්කත් ගැටෙමින් සිය චරිතයට සාධාරණයක් ඉටු කරන්න සමත්වෙනවා. එම නිසාම අපි මෙවර තීරණය කළා ජූඩ්ගේ චරිතයට පණ පොවන අශෝක එදිරිසිංහ එක්ක කතා බහ කරන්න. වේදිකාව, ටෙලි නාට්‍ය වගේම බී ශ්‍රේණියේ ගායකයෙක් ලෙස ගායනා ක්ෂේත්‍රයත් ජයගත් ඔහු තමන් ආ ගමන ගැන රසඳුන සමඟ රසවත් කතාබහක නියැළුණා.

* කොහොමද නාට්‍ය ක්ෂේත්‍රයේ ආගමනය සිදුවෙන්නේ ?

කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍යය හරහා මීට වසර විස්සකට විතර පෙරයි. ඒ එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යවලින්. එතුමා නිර්මාණය කළ මනමේ, සිංහබාහු, මහාසාර නාට්‍යවල මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ලලිතා සරත්චන්ද්‍ර මහත්මියගේ නාට්‍යවලත් රඟපෑමට අවස්ථාව හිමි වුණා.

ඉන් පස්සේ සිඩ්නි චන්ද්‍රෙස්කරගේ කුමාරයාණනි කියන නාට්‍යයේ පුංචි චරිතයක් කරල තමයි ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට එන්නේ. ඊට පස්සේ නලින් මාපිටියගේ ඉසිවර අසපුව, චන්න අබේවික්‍රමගේ අබුද්දස්කාලේ, සිහින පියාපත්, උතුම්පැතුම්, බොදු මීදුම්, සනත් අබේසේකරගේ දළ ඇති හංසයෝ සහ තවත් නාට්‍ය රැසක රඟපාන්න අවස්ථාව ලැබුණා.

* ඔබ නළුවකු වීමට පෙර ගායකයෙක්.

ඔව්. මුලින්ම එන්නේ ගායන ක්ෂේත්‍රයට. ඒ කාලේ රූපවාහිනී නාළිකාවල තිබුණ ගීත තරගවලට වගේම වැඩසටහන් වලට මම ඉදිරිපත් වුණා. ප්‍රේමදාස මුදුන්කොටුව සර් යටතේ සංගීතය හැදෑරුවා. ඉන් පස්සේ ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් ලෙස සමත්වෙනවා.ඒ වගේම බෙල්වුඩ් සංගීත කණ්ඩායමටත් තේරෙනවා. එහෙත් මගේ බෙල්ලේ ශල්‍යකර්මයක් නිසා ඒ අවස්ථාව ගිලිහිලා ගියා. නමුත් මම මේ වෙන විට ගීත අටක් ගායනා කරලා තියෙනවා. එම ගීතවලින් කිහිපයකට ඉදිරියේ දී මියුසික් වීඩියෝ කරන්නත් සැලසුම් කරගෙන යනවා.

* එතකොට ඔබ වෘත්තියෙන් නළුවෙක් ද ?

ඇත්තටම මම වෘත්තියෙන්ම නළුවෙක් නෙවෙයි. මුලින්ම තරුණයා පත්තරේ වැඩ කළා.ඉන් පස්සේ ස්වර්ණවාහිනී නාළිකාවේ අවුරුදු දහයක් පමණ වැඩ කළා. දැන් ඒ සියල්ලෙන්ම ඉවත් වෙලා මගේම පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා.මොකද තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන ගියාම නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.

* ඔබ හිටපු ගමන් ටික කාලයක් කලාවෙන් ඈත්වෙනවා ඒ ඇයි ?

මගේ අම්මා ගුරුවරියක්. ඇය නැති වුණා. තාත්තා අසනීපෙන් ඉන්නේ. ඒ නිසා මම ටික කාලයක් කලාවෙන් ඈත්වෙලා හිටියා. මොකද මගේ අම්මා තමයි මම මේ තැනට ගේන්න කැපකිරීම් කළේ. අම්මාට දැඩි අසාවක් තිබුණා මම ගායනයෙන් වගේම රංගනයෙනුත් ඉදිරියට යනවා දකින්න. ඒත් අම්මා නැති වුණාම මට ඒ දේ තදින් දැනුණා.මම මානසිකව පවා වැටුණා. ඒ නිසා ටික කාලයක් කලාවෙන් ඈත්වෙලා හිටියා. එහෙම ඉන්න කොට තමයි මට අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩසටහනට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ. ඉන් මම කලාව ගැන පමණක් නෙවෙයි මගේ ජීවිතය ගැන පවා ඉගෙන ගත්තා. මම හිතන්නේ එය මගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වුණා කියලා.

* ඔබ විවාහක ද ?

විවාහක නැහැ.මොකද මට මගේ මවුපියන් වෙනුවෙන් කරන්න යුතුකම් ගොඩක් තිබුණා. ඒ දේවල් වලින් මට මගේ විවාහය ටිකක් මඟ හැරුණා. ඒ කියල මට කිසි කනගාටුවක් නැහැ.

* ඒ කියන්නේ ඉතිරි කාලයත් තනිකඩවම ඉන්න ද හිතන්නේ ?

මම හිතන්නේ දැන් මට විවාහ වෙන්න තිබුණ කාලය පසුවුණා කියලා. අපේ අම්මගේ වගේ ගතිගුණ තියෙන කෙනෙක් හමු වුණොත් ඒ ගැන හිතන්න පුළුවන්. ඒත් මම හිතන්නේ නැහැ එහෙම කෙනෙක් හොයාගන්න පහසුවෙයි කියලා.

* එතකොට ඔබ මෙතෙක් ආ ගමනට අත හිත දුන්නේ කවුද ?

මම මුලින්ම කිව්වේ. මගේ අම්මා තාත්තා, සහෝදරිය. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන නම් කිහිපයක් තියෙනවා.

නිල්වලා ආයතනයේ හිමිකරු උපුල් ජයසිංහ මහත්මයා. එතුමා නිල්වලා ආයතනයෙන් කළ හැම නිෂ්පාදනයකට ම මාව සම්බන්ධ කර ගත්තා. ප්‍රවීණ ගීත රචක ලලිත් වසන්ත මහත්මයා. අධ්‍යක්ෂක සඳුන් රාජකරුණා මහත්මයා විශාල සහයෝගයක් දුන්නා.අනෝජා වීරසිංහ මහත්මිය වගේම සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා, ලලිතා සරත්චන්ද්‍ර මහත්මියත් මට ගොඩාක් උදව් කරලා තියෙනවා. මගේ ඥාතීන්, යාළුවෝ වගේම මම ජීවත් වෙන ප්‍රදේශයේ බොහෝ දෙනෙක් මගේ ගමනට සුබ පතලා තියෙනවා. සමහර විට මගේ අතින් සමහර නම් අතහැරෙන්න පුළුවන්. නමුත් ඒ හැමදෙනාම මගේ හිතේ ඉන්නවා.

 

Comments