වගාවට වද දෙන වල් ඌරු කරදරය | Page 3 | සිළුමිණ

වගාවට වද දෙන වල් ඌරු කරදරය

ඉතා වෙහෙස මහන්සිවී ගොවිතැන් කටයුතු කරන ගොවීන්ගේ වගාවන්ට හානි කරන සතුන් ගණනාවකි. ඉන් ප්‍රධාන වනුයේ වන අලින් ය. වන අලි රජයේ වනෝද්‍යාන හා රක්ෂිතවල සිට ආහාර හා ජලය සොයා ගම්මාන හා ගොවි බිම්වලට කඩාවදිති. ඒ හැර වල් ඌරා, රිලවා, වඳුරා, ඉත්තෑවා හා දකුණේ මොනරා වගා හානි කරන වෙනත් සතුන් ය.

වල් ඌරන් බහුලව පැතිර යාමට හේතු

ලංකාව පුරා විසිර ඇති වනරොදවල්, වනාන්තර බහුලවීම, ගොවිබිම් හා ගම් අද්දර ලඳු කැලෑ අත්හැර දැමූ ඉඩම් තිබීම, මානා ඉලුක් වැනි වල් පැතිර ඇති බිම්වල දහවල් කල සැඟවී අඳුර වැටෙන විට ගෙවතු වගාබිම්, කුඹුරුවලට රිංගා ගනිති.

වල් ඌරන්ගේ ප්‍රධාන සතුරා වූ දිවි ගහණය බෙහෙවින් අඩු වී ඇත. කැලෑ රොදවල් වතු ආශ්‍රිත ‍වනරොදවල් ගැවසෙන දිවියන් මරා දැමීම - වනෝද්‍යාන හා රක්ෂිත කැලෑවල ද දිවි ගහනය බෙහෙවින් අඩු වී ඇත. උන්ගේ හමට ඇති ඉල්ලුම නිසා නීති විරෝධී දඩයම්කරුවන්ට වල් ඌරන් ගොදුරු වන බව පෙනේ.

ලංකාවේ නීතිය අනුව වල් ඌ‍රන් මැරීම නීතියෙන් තහනම් ය. ඊරිය වරකට පැටවුන් විශාල ප්‍රමාණයක් බිහි කරයි. පැටවුන් දහ - දොළොස් දෙනා බිහි කරයි. ස්වාභාවික ආපදා අඩු නිසා ඌරු ගහනය ශීඝ්‍රව වැඩිවෙයි. මුහුදු බඩ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගම් ඌරු, ගොවිපළවල් ඇත. නත්තල් කාලය උත්සව සාද හා සංචාරක හෝටල්වලට ඌරු මස් ඉල්ලුම වැඩිය. බොහෝවිට රහසේ ගම් ඌරන් වෙනුවට වල් ඌරන් මසට මරා විකුණයි. ඌරු පැටවුන් ගේ සතුරකුවූ නරින් ගම්වැදීම දැන් අඩුය. නරි රංචු ඌරන් හා ඌරු පැටවු කොටු කරගනිති. නරි රංචු වෙල්යායවලට එන්නේ නියරවල ලගින කක්කුට්ටන් සොයාගෙනය‍. කුඹුරුවලට යොදන රට පොහොර හා කෘමිනාශක නිසා දැන් නියරවල කක්කුට්ටන් වඳවී ගොසිනි. ඒ නිසා නරි රංචු ගමට ඒම අඩු ය. ගම් අද්දර කැලෑ එළිවී ගොසිනි. ඌරන්ගේ ස්වාභාවික සතුරකු වූ කිඹුලන්ගේ ප්‍රමාණය ද රහසිගත කිඹුල් දඩයම නිසා අඩු වී ඇත. කිඹුල්ලු ඌරන් ගොදුරු කර ගනිති.

ඌරු පැටවු ගොදුරු කරගන්නා කබරගොයින් ද ගම්වලින් අඩුවී ගෙන යයි. වැදි ජනපද හා පාරම්පරික ගම් ආශ්‍රිතව වනගහනය සිටවීම - නිරන්තර දඩයම් රජයේ රක්ෂිතවලට ඇතුළුවීම තහනම් කිරීම සමඟ වැදි ජනයා අතින් මරණයට පත්වන ඌරන් ප්‍රමාණය අඩු ය.

ගොවීන්ට ඌරන් නිසා සිදුවන හානි

ගොවීන්ගේ කුඹුරු වගා හානි කරයි. පෙරලා දමයි. වනසයි. ගොවි බිම් හා ගෙවතුවලට ඇතුළු වනසා දමයි. වගා පාළු කරයි. ගෙවතුවල පොල් පැළ, කෙසෙල් අල වර්ග ගහ කොළ හාරා වනසයි. පොළව හාරා පස් පෙරළයි. දෙල් කොස් ගස්වල පොතු ගලවයි. කුඹුරු ගෙවතුවල වැට මායිම් කඩා දමයි. ඉවුරු පෙරළයි. නිවාස අසල කසළ වළවල් හාරයි. ඌරු රංචු විශේෂයෙන් තනි ඌරා දරුණු ලෙස මිනිසුන්ට ප්‍රචණ්ඩ ලෙස පහර දෙයි. ඉන් දරුණු තුවාල, මරණය පවා සිදුවිය හැක.

උ‍ෟරු හානි අවම කිරීම

කුඹුරු හා ගොවිබිම් මුරකර වල් සතුන් බියකර පලවා හැරීම, සොකඩ සෙලවීම, රතිඤ්ඤා දැල්වීම, රාත්‍රි කල ගිනි මැල දල්වා තැබීම, හණ ගස් වැනි තියුණු කටුගස් වගා වටා වැවීම, වගා බිම්වටා ගැඹුරු කානු කැපීම, වායු තුවක්කු පත්තුකර සතුන් එළවීම, ආර්ථික ශක්තිය ඇත්නම් ගෙවතු නිවාස වටා කෙටි උස බැමි බැදීම.

 

එස්.කේ. ජයවර්ධන

හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

Comments