HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

කෙයිට්ලිගේ රන් ආභරණ අතුරුදන්

සුරූපී නිළි කෙයිට්ලින් මැක්හියු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට හොර රහසේ ඇතුළු වූ පුද්ගලයකු ඇය සතුව තිබූ ඩොලර් 1,50,000 ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරකම් කර ඇතැයි පැවසෙනවා. මේ පිළිබඳව ඇය බෙවර්ලි හිල්ස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි හොලිවුඩ් මාධ්‍යවල සඳහන් වී තිබෙනවා. මීට කලින්ද බෙවර්ලි හිල්ස් ප්‍ර‍දේශයේ රැඳී සිටි කෙන්ඩල් ජෙනර්, කෙවින් හැට්, එම් රොසම් ඇතුළු තවත් හොලිවුඩ් කලාකරුවන් සහ කලාකාරියන් සතු වූ වටිනා භාණ්ඩ මෙලෙස සොරකම් කර තිබු බවයි පැවසෙන්නේ. මෙම සිද්ධියට පසුව ඇගේ විවාහය සිදු වූ බවයි,හොලිවුඩ්පුරයෙන් වාර්තාවෙන්නේ. කෙයිට්ලින‍ෙගේ අත ගත්තේ ජනප්‍රිය නළුවකු වන ජෝන් ස්ටැමෝස්. විවාහය සිදුවුණේ කැලිෆෝනි‍යාවේ ලිට්ල් බ්‍රවුන් හිදීයි. මේ වෙනුවෙන් උත්සවය පැවැත්වුණේ බෙවර්ලිහිල්ස් හි පිහිටි ජෝන් ස්ටැමෝස්ගේ නිවසේදියි. 2007 දී ටෙලි වෘතාන්තයක සහ චිත්‍රපටයක සුළු චරිත නිරූපණයන් සිදුකරමින් රංගන ක්ෂේත්‍රයට පිවිසි කෙයිට්ලින් 2014 දී විකාශය වූ ‘ද වැම්පයර් ඩයරීස්’ නම් වූ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑමෙන් වඩාත් ජනප්‍රිය වුණා.

බ්‍රැඩ් පිට් නිසා අනතුරු වැලක්

ලොස් ඇන්ජලීස් නුවර මහා මාර්ගයක වාහනයක් පදවාගෙන ගිය රියැදුරකු, ඊට ඉදිරියෙන් ගමන් කළ වාහනයේ පසුපස ගැටුණා. මේ අනතුර එයින් නතර වුණේ නැහැ. ඒ වාහනය, ඊටත් ඉදිරියෙන් ගමන් කළ වාහනයේ පසුපස ගැටුණා.

මුලින්ම වරද කළ රියැදුරුගේ රථය ටෙල්සා වර්ගයේ එකක්. එය ගැටුණේ නිසාන් අල්ටිමා රථයේ පසුපසයි. ඒ මො‍්ටර් රථය ගැටුණේ කියා සෝල් රථයක පසුපසයි. අනතුර සිදු වූ හැටියේම ටෙල්සා මෝටර් රථයෙන් බැස ගත්තේ එය පැද වූ රියැදුරායි. ඔහු දුටු ගමන්ම අනෙක් මෝටර් රථ වල සිටි රියැදුරන් දෙදෙනා ඔහුව හඳුනා ගත්තා. ඔහු තමයි, සුපිරි නළු, බ්‍රැඩ් පිට් වාහන තුනටම තදබල හානියක් සිදුව තිබුණේ නැහැ. ඒත්, තුන්දෙනාම තම තමන්ගේ රක්ෂණ සමාගම් වලට කතා කරලා ඉදිරි වැඩ කටයුතු සිදු කර ගත්තා. තුන් දෙනාගේ දුරකථන අංක හුවමාරු කර ගත්තා. අතට අත දීලා යළි ගමන් ඇරඹුවා. තමන‍්ගේ මෝටර් රථවලට පුංචි හානියක් කළේ මුළු ලොවම දන්නා සුපිරි නළුවකු නිසා අනෙක් මෝ‍ටර් රථ දෙක පැදවූ රියැදුරන් දෙදෙනා, ඒ පලුදු වීම් සිහිවටන හැටියට තියා ගත්තාද දන්නෙ නැහැ.

අරියානා තවමත් දුකෙන්

ජනප්‍රිය ගායිකා අරියානා ග්‍රාන්ඩේ පසුගිය මැයි මාසයෙන් පසුව දැඩි කම්පනයකින් පසුවන බව ඇගේ කළමනාකරු ස්කුටර් බ්‍රවුන් පවසනවා. ඒ, ඇගේ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතරතුරදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි. මේ ප්‍රහාරය සිදුවුණේ 2017 මැයි මාසයේ මැන්චෙස්ටර් නගරයේදීයි. තවමත් 24 වැනි වියෙහි පසුවන අරියානා, මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් මිය ගිය 22 දෙනා ගැන කල්පනා කරමින් දැඩි කම්පනයෙන් පසුවන්නේ යැයි ස්කුටර් බ්‍රවුන් පවසනවා. “ප්‍රසංගය බලන්න ආපු රසික රසිකාවන් 22 නෙක් මිය ගිය බව දැන ගත්තාම එයා හරියට දුක්වුණා දවස් ගානක් යනතුරු එයා ඒ ගැන මතක් කරමින් ඇඬුවා” බ්‍රවුන් තව දුරටත් පැවසුවා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය විමසා බලන්නට රෝහලට ගොස් එහි දෙපැයක පමණ කාලයක් ගත කළ අරියානා අනතුරට පත් අය සමඟ කතා බහ කළා, එම දෙපැය තමන් සහ අරියානාගේ ජීවිත ලද දුඃඛදායක කාලයක් යැයිද බ්‍රවුන් ප්‍රකාශ කළා. මැන්චෙස්ටර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, එම නගරයේම ක්‍රීඩාංගණයක දී තවත් ප්‍රසංගයක් පැවැත් වූ අරියානා, එයින් ලද මුළු ආදායම ප්‍රහාරයෙන් පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් ම වැය කළා. නමුත්, තවමත් ඇය ගත කරන්නේ එම ප්‍රහාරය ගැන දුක්වෙමින්.

‘මිස්ටර් බීන්’ රහස් මෙහෙයුමක

රෝවන් ඇට්කින්සන් යන නම ඇසු සැණින්ම කාගේත් මුවගට සිනාරැල්ලක් පතිත වී ඒ එක්කම සිහිපත් වන්නේ ‘මිස්ටර් බීන්’ ගේ චරිතයයි. පසුගිය සතියේ හතර වටින් ලැබුණු ආරංචිවල රෝවන් ඇට්කින්සන්ගේ අබිරහස් මෙහෙයුමක් ගැන සඳහන් වී තිබුණා.

‘මිස්ටර් බීන්’ එක්සත් අරාබි එමිර් රාජ‍්‍යයේ රහසිගත මෙහෙයුමක යෙදී සිටි බවයි එයින් කියැවුණේ ලොවට හෙළිනොවු මේ අබිරහස කුමක්දැයි සොයන්නට ඒ සමඟම කවුරුත් උත්සුක වුණා. දින කිහිපයක් ගතවෙද්දි මිස්ටර් බීන් ගේ රහස් මෙහෙයුම ඇතුළත් වීඩියෝ දර්ශනයක් අන්තර් ජාලයට නිකුත් වී තිබුණා. එහි නිරූපණය වන්නේ රෝවන් ඇ‍ට්කින්සන් රහස් පරීක්ෂකයකු‍ගේ ස්වරූපය ගෙන එක්තරා මෙහෙයුමක නිරතවන අයුරුයි. ඇතැම් විට ඔහු ජේම්ස් බොන්ඩ් කෙනකු ලෙසින්ද දිස්වෙනවා. තවත් විටෙක ඔහුගේ සුපුරුදු හාස්‍යයද මුසු වී තිබෙනවා. රහස් පරීක්ෂක චිත්‍රපටයක රංගනයක් සිහි ගන්වන එය සුප්‍රකට දුරකථන සමාගමක් වෙනුවෙන් නිපැයු වෙළඳ දැන්වීමක්.

Comments