
ශාරුක්ගේ අලුත් ම රසිකයා
බොලිවුඩ් සුපිරි තරුව, ශාරුක් ඛාන් ව ප්‍රිය කරන හොලිවුඩ් සුපිරි තරුවක් සිටිනවා. ඔහු තමයි, සෙයින් මලික්. ලොව ප්‍රකට ‘වන් ඩිරෙක්ෂන්’ ගීත කණ්ඩායමේ ගායන ශිල්පියකු ලෙස ජනාදරය දිනා ගත් සෙයින් මලික්, බොලිවුඩයේ කිං ඛාන් ව හඳුනා ගෙන ඇත‍්තේ 2015 දී. ඒ, එම වසරේදී පැවැති ‘ඒෂියන් අවෝඩ්ස්’ සම්මාන උලෙළේදී යි.
ඒ හඳුනා ගැනීමෙන් පසුව ශාරුක් රඟපෑ ‘දේව්දාස්’ චිත්‍රපටය තම පෙම්වතිය වන ගිගි හඩිඩ් සමඟ නැරඹූ සෙයින් මලික්, මෙලෙස පැවසුවා. “ශාරුක්ව මුණගැහෙන තුරු මම එයාගේ චිත්‍රපට බලල තිබුණේ නැහැ. මම එයාගෙ රසිකයෙක් වෙලා හිටියෙත් නැහැ. ශාරුක් හමුවුණාට පස්සෙ තමයි මට තේරුණේ එයා කොච්චර නිහතමානී කෙනෙක් ද කියලා. ශාරුක් රඟපාපු චිත්‍රපටය බලන කොට හිතෙන්නේ එයා අහංකාර කෙනෙක් කියලයි. ඒත් මුණ ගැහිල කතා බහ කරද්දි එයා හරිම ප්‍රිය ජනක කෙනෙක් බව තේරුණා. මගේ හිතේ මැවිල තිබුණු ශාරුක් ඛාන් කියන සුපිරි නළුවා සැබෑ ජීවිතයේ ඊට වඩා වෙනස් කෙනෙක්.”
සෙයින් මලික් සාමාජිකත්වය දැරූ ‘වන් ඩිරෙක්ෂන්’ කණ්ඩායමට ශාරුක් ගේ දියණිය සුහානා සහ පුතු ආර්යන්ගේ සිත් තුළ ඇත්තේ දැඩි ඇල්මක්. මෑතකදී පැවැති ‘ආස්ක් එස්.ආර්.කේ.’ වැඩ සටහනේදී රසිකයකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශාරුක් පැවසුවේ සෙයින් මලික් බෙහෙවින් ම සුන්දර අයකු බවයි. ‘එයා හමුවුණු වෙලාවෙ මමයි, මගේ දරුවන් දෙන්නයි එක්ක සෙල්ෆි එකකුත් ගත්තා.’ එම ඡායාරූපය රසික රසිකාවන් අතර ජනප්‍රිය වුණා.
ජිතේන්ද්‍රටත් අපචාර චෝදනා
බටහිර සිනමාවේ ඇතැම් නළුවන්ට, නිෂ්පාදකයන්ට වරින් වර එල්ලවන කාන්තා අපචාර චෝදනා සමඟ තරග කරන්නට මෙන් බොලිවුඩ් සිනමාවේ ඇතැම් නළුවන්ටත් එවැනි චෝදනා එල්ල වෙන්නට පටන්ගෙන තිබෙනවා. හැබැයි, හොලිවුඩ්පුරයේ ගහක් ගලක් ගානේ එල්ලවෙන පරිදි බොලිවුඩ්පුරයේ නම් මේ චෝදනා සුලබ නැහැ.
පසුගිය සතියේ එවැනි චෝදනාවක් ලැබුවේ එදා හින්දි තිරය බැබළවූ තරුවකටයි. කාන්තා අපචාරයක් සිදු කළැයි චූදිතයකු වී සිටින්නේ ප්‍රවීණ නළු ජිතේන්ද්‍රයි. ඔහු මේ අපචාරය සිදු කළැයි පැවසෙන්නේ මීට අවුරුදු 50 කට පෙරයි. රවි කපූර් නමින් හඳුන්වා ගත් එක්තරා කාන්තාවක් පිටු දෙකකින් යුතු පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර තිබෙනවා. එහි ඇය සඳහන් කර ඇත්තේ තමන් දහ අට වියැති යුවතියකව සිටිද්දී එවකට විසි අට වැනි වියෙහි පසුවූ ජිතේන්ද්‍රගෙන් තමන්ට අතවරයක් සිදුවූ බවයි.
මේ ගැන අදහස් දැක්වූ ජිතේන්ද්‍රගේ නීතිඥවරයා වන රිස්වාන් සිද්ධිකී පවසන්නේ මෙම කාන්තාවගේ චෝදනාව තම සේවාදායකයා (ජිතේන්ද්‍ර) විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ‘මේ චෝදනාව පදනම් විරහිත එකක්. ඒ වගේම ගොතන ලද පුවතක්. අවුරුදු පනහකට කලින් සිද්ධ වුණාය කියන මේ සිද්ධිය ගැන කිසිම පොලීසියක්වත් අධිකරණයක්වත් පරීක්ෂා කරන්න පෙලඹෙන එකක් නැහැ.” නීතිඥ රිස්වාන් එලෙස පවසද්දී රවි කපූර් නැමැත්තිය පවසන්නේ මේ කතාවයි.
“1971 දී මම, මගේ තාත්තාත් එක්ක ජිතේන්ද්‍ර රඟපාමින් සිටි චිත්‍රපටයක දර්ශන තලයට ගියා. ඒ, චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ඉල්ලගෙන. එදා ජිතේන්ද්‍ර මාව එයාගෙ කාර් එකේ දමාගෙන එයා නැවතිලා හිටිය හෝටලයට එක්ක ගෙන ගියා. කාමරයට ගිය ජිතේන්ද්‍ර මත්පැන් බීලයි හිටියේ.” ඉන්පසුව ඇය පැවසුවේ ඔහු තමන්ට අතවර කළ අයුරුයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියක වන කුශාල් ශර්මා පැවසුවේ මෙම අතවර චෝදනා ඇතුළත් පැමිණිල්ල ගැන පරීක්ෂණයක් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවයි.
සාරා, චිත්‍රපට 7ක් එපා කියලා
සායිෆ් අලි ඛාන් - අම්රිතා සිං යුවළගේ වැඩිමල් දියණිය සාරා අලිඛාන් දැන් රූබර යුවතියක්. විසිපස් වැනි වියෙහි පසුවන ඇය බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට කල් යල් බලමින් පසුවෙනවා. ඇගේ මුල් ම රංගනය ඇතුළත් වන්නේ අභිෂේක් කපූර් අධ්‍යක්ෂණය කරන ‘කෙඩර්නාත්’ චිත්‍රපටයටයි. සාරා එහි රඟපාන්නේ ජනප්‍රිය නළු සුශාන්ට් සිං රාජ්පුට් සමඟයි. මේ චිත්‍රපටය 2018 වසරේ අග භාගයේදී තිරගත කිරීම ඇරැඹීමට නියමිතයි. මේ දිනවල ‘කෙඩර්නාත්’ චිත්‍රපටයේ අවසන් රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා.
මේ චිත්‍රපටයේ රඟපෑමට පෙර සාරා වෙත චිත්‍රපට තිර නාටක හතක් ලැබී තිබෙනවා. ඒත් ඒ කිසිම චිත්‍රපටයක රඟපාන්නට සාරා එකඟ වී නැහැ. මේ තිර රචනා වලින් ඇතැම් ඒවා ඇය ප්‍රතික්ෂේප කර ඇත්තේ එම තිර රචනා නොකියවාමයි. චිත්‍රපට හතක් ම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන හේතුව අපැහැදිලි නොවන බවයි, බොලිවුඩ් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. සාරාට අවශ්‍ය වී ඇත්තේ බොලිවුඩ් සිනමාවේ අංක එකේ වැජඹෙන සුපිරි නළුවන් සමඟ රඟපාන්නලු. ‘කෙඩර්නාත්’ චිත්‍රපටයට කළින් ඇයට ලබුණු චිත්‍රපට සියල්ලේම ප්‍රධාන නළුවන් හැටියට තෝරා ගෙන තිබුණේ ජනප්‍රිය නළුවන් නොවෙයිලු. සාරා වඩාත්ම කැමැති, රිතික් රෝෂන් සහ ශාහිඩ් කපූර් වැනි නළුවන් සමඟ රඟපාන්නලු. සාරා මේ අයුරින් තේරීම් කරන්නට ඇගේ මව, අම්රිතාගේ බලපෑම් ද මුල්වී තිබෙනවාලු.