සිනා කතා | Page 2 | සිළුමිණ

සිනා කතා

යාචකයෙක් නෙමෙයි

“දැන් ප්‍රසිද්ධ ස්ථානවල හිඟාකන එක තහනම් වග දන්නෙ නැද්ද? එනවා යන්ඩ පොලීසියට” මහා මාර්ගය අද්දර නිවසක ගේට්ටුව අසල නතරවී එහි නිවැසියකු හට සමීපව හිසනමා දෙකට නැමී කතා කරන තැනැත්තෙකු වෙත පැමිණි පොලිස් නිලධාරියා කීවේ රළු ස්වරයකිනි.

“තමුසෙට පිස්සු ද? මම හිඟන්නෙක් නෙමෙයි. මේ සැරේ ඡන්දෙට මේ පළාතට ඉදිරිපත් වෙලා ඉන්න ඡන්ද අපේක්ෂකයෙක්. මට, මගේ ඡන්ද කොට්ඨාසෙ ඡන්ද දායකයෝ එක්ක කතා කරන්ඩ ඔහේගෙ අවසර මොකටද?” ඡන්ද අපේක්ෂකයා කීවේ කෝපයෙනි.

එහෙමවත් කරමු

“සභාපතිතුමා ගිය සැරේ ඡන්දෙන් දිනුවයින් පස්සේ මේ කොට්ඨාසෙ ජනතාව අමතක කරලා දාලා හුස්ම නාල්ලා එක දිගට ම කළේ වනාන්තරවල ගස් කපලා විකුණන එකයි, පර්මිට් නැතුව වැලි ගොඩදාන එකයි නෙ. ඒ හින්දා මෙදා සැරේ අපිට ඡන්ද ගන්ඩ නං ලේසි වෙන එකක් නැහැ.” ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ සමීප සගයකු වූ පුෂ්පසිරි කීවේ නාම යෝජනා දීමෙන් පසුව ය.

“මම ඒක නොදන්නවා නෙමෙයි බං. ඒ හින්ද ම මං ඒකටත් ප්‍රතිකර්මයක් හිතලයි තියෙන්නෙ. අපිට ඡන්ද වැටෙනවා හොරයි කියල දැනුණොත් එහෙම ඡන්දෙ ප්‍රකාශ කරන වෙලාව ඉවර වෙන්ඩ කිට්ටුව අපේ ගෝලයෙක් දාලා ඡන්දෙ දාන ගමන් ම කුරුමිණියෙක් වත් ඡන්ද පෙට්ටියට රිංගවමු, එතකොට ඡන්ද ගණන් කරද්දි අපිට පුළුවන් විරෝධය පළ කරන්ඩ, ඒ ඡන්ද පෙට්ටිය ප්‍රතික්ෂේප කරන්ඩ කියල. හරියට රුසියාව අපේ තේ කොළ වලට කළා වගෙ.” හිටපු සභාපති කීවේය.

එතකොට හරිනෙ

“හිටපු නගරාධිපතිතුමාට අමුතු ම ජාතියේ සංවිධායක ධුරයක් ලැබුණයි කියල නගරෙ පුරාම තැනින් තැන ලොකු කටවුට් ගහලා මේ කඩිමුඩියේ මහා සංගීත ප්‍රසංගයකුත් පැවැත්තුවේ ආයෙත් වතාවක් ඡන්ද පොරපිටියට බහින්ඩ හිතාගෙන නේද? ඒ වුණාට දැන් මාස හයකට විතර කලින් උන්නැහේ තමන්ගෙ හිතවතුන් කැඳවලා, එයා දේශපාලනයෙන් සමුගන්නවයි කියල දැන්වීමකුත් ප්‍රසිද්දියෙම කළා නොවැ.” ගුත්තිල හමුවීමට ඔහුගේ කාර්යාලයට ගොඩවූ මූසිල කීවේ ය.

“ඒකට අපි කලබල වෙන්ඩ ඕනෙ නැහැ මූසිල. මිනිස්සු සංගීත ප්‍රසංගෙට ගිහින් නටලා, සින්දු අහලා පොඩි ආතල් එකක් ගන්න බව හැබෑව, ඒත් එයා ජනතාවගෙන් සමු නොගත්තත් ඡන්දෙදි මිනිස්සු එයාට සමුදෙයි. එතකොට හරිනේ” ගුත්තිල කීවේ සිනාසෙමිනි.

වෙන්ඩ බැහැනෙ!

“චීන ජාතික ජෝඩු 100 ක් කොළඹ විහාර මහා‍ දේවි උද්‍යානයේදි උත්සවාකාරයෙන් කසාද බැඳලා, කේක් කපනවා ඊයේ රෑ රූපවාහිනියේ ප්‍රවෘත්තවලට පෙන්නුවනෙ අනේ.” ශාන්ති තම සැමියා දෙස බලා කීවේ උදේ තේ බොමින් සිටියදී ය.

“වෙන්ඩ බැහැනෙ හාමිනේ. අපි පොඩිකාලෙ ඔය මරදාන හන්දිය කිට්ටුව සාප්පු දාගෙන හිටියේ රෙදිපිළි විකුණන චීන්නුයි, දත් ගලවන, දත් බඳින චීන්නුයි ටිකක් විතරනෙ.” චන්ද්‍රසිරි කීවේ අදහාගත නොහැකිවාක් මෙනි.

 

Comments