සමීප රූපය සහ දුර රූපය අතර | Page 3 | සිළුමිණ

සමීප රූපය සහ දුර රූපය අතර

ධර්මසේන පතිරාජ නම් වූ කෘතහස්ත සිනමාවේදීයාගේ නික්ම යෑම ආරංචි වූ මොහොතේ ඔහු පිළිබඳ බොහෝ මතකයන් අලුත් විණි. ඒ අතර ඔහු නිර්මාණය කළ චිත්‍රපට මෙන්ම ඒ චිත්‍රපටවල අපූරු දසුන් සිහපත් විණි. එමෙන්ම ඉතාම මෑතකදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශයවූ පතිරාජ නම් වූ සිනමාකරුවා පිළිබඳ සොඳුරු වැඩසටහන සිහිපත් විණි. බොහෝ හැකියාවලට හිමිකම් කී පතිරාජයන් කිසිම විටෙක එයින් උදම් වූනේ නැත. සැබැවින්ම ඔහු සැබෑ ජීවිතයේදී බොහෝ සරල මිනිසෙකු වූයේය. ඔහු ළඟින් ඇසුරු කළ ඕනෑම කෙනෙකු මේ පිළිබඳව කියනු ඇත. කෙසේ වෙතත් ස්වාධින රූපවාහිනි සේවයට පතිරාජ නම් වූ අපූරු සිනමාවේදියා පිළිබඳ වාර්තා වැඩසටහනක් නිෂ්පාදනය කළ මංජුල ඇතුගල සොයුරාට ඇමතුවෙමු. හේතුව නම් පතිරාජයන් පිළිබඳ කෙරුණු අවසන් වැඩසටහන එය බැවිනි.

ස්වාධින රූපවාහිනියෙන් විකාශය වු අදටත් රූපවාහිනි ප්‍රේක්ෂකයන් කතාබහ කරන 'වෙනස' වාර්තාමය වැඩසටහන මෙන්ම ‘එතුමයි එතුමියයි‘ වැඩසටහන නිෂ්පාදනය කළ සම්මානනීය මෙන්ම නිර්මාණශිලි නිෂ්පාදකයකු ලෙස මංජුල ඇතුගල ප්‍රේක්ෂකයන් අතර නමක් දිනා සිටී.

'සමීප රූපය සහ දුර රූපය අතර පති' මංජුල ඇතුගල ස්වාධින රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කරන ලද පතිරාජයන් ගැන විශේෂ වැඩ සටහනයි.

ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ජීවන තොරතුරු අලළා වැඩසටහනක් කිරීම මංජුලට සැබැවින්ම අභියෝගයක් විය. ඒ අභියෝගය ජය ගත්තේ කෙසේද? සහ සොඳුරු නිර්මාණකරුවකු සමඟ ගෙවී ගිය දින කිහිපයේ ලද අත්දැකීම් කෙබඳුද යන්න ගැන මංජුලගෙන් විමසීමක් කළෙමු.

 

'සිංහල සිනමාවට පනස් වසරක් පිරීම නිමිත්තෙන් තමයි මම පතිරාජ සර් පිළිබඳ මෙම වැඩසටහන කෙරුවේ. ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති තුමා ප්‍රධාන විධායක නිලධාරි චන්දන තිලකරත්න මහතා තමයි මට මේ කටයුත්ත කරන්න කියලා භාර දුන්නේ. ඇත්තටම මට එය විශාල අභියෝගයක් වුණා. මම කල්පනා කළා සිංහල සිනමාවේ දැවැන්තයෙක් ගැන මං වගේ කෙනෙක් කොහොම ද මේක කරන්නේ කියලා. මම දිගින් දිගටම කල්පනා කළා. එවිට තමයි චන්දන තිලකරත්න මහතා මට කීවේ ගුරු පඬුරක් ලෙස පුදන්න මෙම වැඩසටහන සාර්ථකව කරන්න කියලා. මෙය මට ලොකු වගකීමක්. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මම සර්ගෙන් සිනමාව පළිබඳ. ඉගෙන ගත්තා. කොහොම හරි මම සර්ට කතා කළා. නමුත් සර් එකවරම කැමති වු‍ණේ නැහැ.පතිරාජ සර් කියන්නේ බොහොම සරල කෙනෙක් . ඔහු මට දැනෙන විදිහට ඔහු දැවැන්තයෙක් කියන තැන හිටියේ නැහැ. ඔහු මහපොළවේ පය ගසා ජීවත් වු සාමාන්‍ය කෙනෙක්. මම පතිරාජ සර්ට පැහැදිලි කළා ඔහුගේ ජීවිත කතාව ඇසුරු කරගෙන මේ වැඩහටහන කරනවා කියලා. ඔහු කිව්වා බලමු කියලා. ඉන්දියාවේ ගිහින් අැවිත් කතා කරන්නම් කියලා කීවා. ඇත්තටම සර් මේ වැඩසටහන සඳහා කැමති වේවි ද නැද්ද කියන දෙගිඩියාව මට තිබුණා. සර් ගේ සහෝදරයාගේ පුතු වන උදාර පතිරාජ අයියා මට බෙහෙවින්ම උදව් කළා සර්ගේ කැමැත්ත ලබා ගැනීමට. කොහොම හරි සර් ඉන්දියාවට ගිහින් ආවට පස්සේ කැමතියි කිව්වා. සෙනසුරාදා, ඉරිදා පුළුවන් කියලා කිව්වේ ඔහුමයි. ඒ අනුමැතිය ලැබුණම අපි ඉක්මනින් ඒ සඳහා සුදානම් වුණා. මෙහි තිර පිටපත ලිව්වේ සුමින්ද ගුණරත්න.

ඔබේ පිටපතට ඔහු කැමති වුණාද?

ඔව්. සර් මගේ පිටපතට කැමති වුණා. මේ වාර්තා චිත්‍රපටය පටන් ගන්නේ සර් ගැන යම් කෙනෙක් තොරතුරු සොයන ඔහුගේ චිත්‍රපට ගැන අධ්‍යයනයක යෙදෙන විදිහට . මේ සඳහා යොදා ගන්නේ කවුද කියන ප්‍රශ්නය මට තිබුණා. හේතුව තමයි අද ඉන්න පරම්පරාවේ සර් ගැන දන්න, සර්ගේ චිත්‍රපට ගැන දන්න අය අඩු වීම. අනිත් එක මට දැනුණ දේ තමයි ඒ සොයා ගන්නා කෙනාට සර් කැමති විය යුතුයි. මොකද සර් ඒ කෙනාට අකමැති වුණොත් එයා කවුරු කිව්වත් ඊට කැමති වෙන්නේ නැහැ. කොහොම හරි මම අවසානයේ මේ චරිතය සඳහා සර්ගෙ ගෝලයෙකුත් වන කථිකාචාර්ය අතුල සමරවීර තෝරා ගත්තා. මෙහි පටිගත කිරීම් කරන දා මම අතුල සමරවීර මහතාට සර්ගෙ ගෙදරට එන්න කීවා. සර් දැනගෙන හිටියේ නැහැ ඇයි සමරවීර මහතා ආවේ කියලා. මම පතිරාජ සර්ට පැහැදිලි කරලා දුන්නා සමරවීර මහතා පැමිණි කාරණය. සර් ඔහුට කැමති වුණා. ඉන් පසු මේ කටයුත්ත කරගෙන යාම අපට වඩාත් පහසු වුණා. යම් දර්ශනයක් රූ ගත කිරීමට මම පතිරාජ සර්ට කිව්වා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්න ඕනෑ කියලා. මුලින් සර් ඒකට අකමැති වුණා. අපි අපේ රූ ගත කිරීම් කරගෙන ගියා. ඒ කරගෙන යන අතරතුර පතිරාජ සර් කිව්වා කැම්පස් එකට යනවා නම් දැන් යමු කියලා. අපි එ‍ෙවලෙම ඔහු සමඟ විශ්ව විද්‍යාලයට ගියා. උදේ හයේ හතේ ඉඳලා සවස හත අට වනතුරු අපි එක දිගට වැඩ කළා. ඒ කාලය පුරාම සර් ඔහුගේ අසනීප අමතක කරලා කෑම බීම පවා මඟහැරලා අපත් සමඟ හිටියා. අප වෙනුවෙන් පුදුමාකාර කැපවීමක් කළා. සිංහල සිනමාවේ දැවැන්තයකු වුවත් පතිරාජ සර් කිසිම වෙලාවක අපට අණ කළේ නැහැ. ඔහු බොහෝම නිහතමානිව අප සමඟ කටයුතු කළා. මට මතකයි අපි පේරාදෙණි සරසවියේ වළේ රූ ගත කරන විට එතැන සරසවියේ ළමයි ටිකක් නාට්‍යයකට සුදානම් වෙනවා. ඔවුන් චිත්‍ර ගෙනැල්ලා තිබුණා. ඒ ළමයින්ට අපි කිව්වා සද්ද කරන්න එපා අපට බාධාවක් කියලා. ඒ ළමයි පතිරාජ සර්ව දන්නේ නැහැ. සර් ඒ වෙලාවේ කතා කළේ දැන් තරුණ නිර්මාණකරුවන්ගේ පරිහානිය ගැන.

ධර්මසේන පතිරාජයන් ඔහු ගැන දැන සිටියේ නැහැ කියලා ඔබ කියන්නේ ඇයි?

මෙහෙමයි සර් කවදාවත් ඔහු ගැන මහා ඉහළින් හිතපු කෙනෙක් නොවෙයි. ඒ වගේම සර් යම් නිර්මාණයක් කරලා බාර දුන්නට පස්සේ යළිත් එය තමන් සන්තකයේ තියා ගත්ත කෙනෙක් නොවෙයි. මට මතකයි මම ඇහුවා හන්තානේ කතාව චිත්‍රපටයේ ,අහස් ගව්ව චිත්‍රපටයේ පිටපතක් නැද්ද කියලා. ඔහු කිව්වේ ඒවා භාර දුන්නා ළඟ තියා ගත්තේ නැහැ කියලා.ඒ වගේම තමයි සර්ට ලැබුණ සම්මාන සහතික ඒවත් නිවෙසෙහි පැත්තක තිබුණා. ඒවාට විශේෂ සැලකිලි නැහැ. ඔහු කිව්වේ ඔහුගේ නිර්මාණ සංරක්ෂණය කිරීම ඔහුගේ වැඩක් නොවෙයි කියා. ඒවා කවුරුන් හෝ විසින් කරන්න ඕන කියලා.

ඒ වගේම පතිරාජ සර් කියන්නේ හොඳ කෙටි කතා කරුවෙක්. ඔහුගේ ලිපි ගොනු සොයද්දි තමයි අපි ඔහු කෙටිකතා කරුවෙක් බව දැන ගත්තේ. අපි මේ පටිගත කිරීම් කරපු දිනවල ඔහුගේ පවුලේ අයගෙන් අපට හොඳ සහායක් ලැබුණා. විශේෂයෙන්ම සර්ගේ බිරිය අපට විශාල සහායක් දුන්නා. ඔවුන් ආගන්තුක සත්කාර කිරීම් අතින් බොහෝම ඉහළයි. අපේ කණ්ඩායම දහයක් විතර හිටියා. අපි හැමෝ එක්කම පතිරාජ සර් බොහෝම සහයෝගයෙන් වැඩ කළා. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදි සිනමාව ගැන ඉගෙන ගත්තා. අපේ කණ්ඩායමට විශ්වවිද්‍යාලයේදි ඉතාලියානු සිනමාව ගැන ඉගැන්නුවේ සර්. ඒ කාලේ අපිට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් සර් අපිට ආගන්තුක සිනමාව ගැන බොහෝම සරලව ගැඹුරු ඉගැන්වීමක් කළා. ඒත් දැන් තමයි සර් එදා උගන්නපු දේ අපට බොහෝම හොඳින් දැනෙන්නේ. අපි මේ විෂයේ ප්‍රායෝගික වෙන්න පටන් ගත්තට පස්සේ. මට හිතෙන දෙයක් තමයි තවමත් මේ රටේ සිනමාව ගැන හදාරන්නන්, චිත්‍රපට ගැන උනන්දු වෙන්නන් පතිරාජ සර් ව හරියට කියවලා නැහැ.

'සමීප රූපය සහ දුර රූපය අතර පති නැරඹු විට පතිරාජයන් කුමක්ද ඔබට කීවේ?

මේ වැඩසටහන විකාශය වන විට සර් පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියේ. ගාමිණි තමයි සර්ගෙ ළඟ ඉදලා තියෙන්නේ. එහිදී සර් රෝහල් කාම‍රයේ රුපවාහිනියෙන් වැඩ සටහන බලලා. කොහොම හරි සැලසිනේ ඉන්න මගේ යාළුවෝ ටිකක් සර් බලන්න ගිහිල්ලා තිබුණා. එදා ඒ අයත් එක්ක සර් වැඩ සටහන ගැන කතා කරලා තිබුණා. එය අගේ කරලා තිබුණා. ඒ වෙනකොට සර්ට හොඳටම අමාරුයි. ඒත් සර් මට කතා කළා. විනාඩි තුන හතරක් කතා කළා. සර් මට කිව්වා මංජුල වැඩසටහන හොඳයි කියලා. මට පුදුම තරම් සතුටුයි.

පතිරාජ සර් වගේ දැවැන්තයකුගෙන් ඒ වචනය අසන්නට ලැබීම ගැන. පතිරාජ සර්ගේ ඒ ප්‍රශංසාව මා සමඟ වැඩකළ සියලු දෙනාටම හිමි වෙනවා.මෙම වැඩසටහන සංස්කරණය කළේ අරුණ විදුරංග සහ හර්ෂණ ජයරත්න. කැමරා කළේ ජානක රණසිංහ සහ චානක සෝමරත්න. පතිරාජ සර් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පමණක් නොව කොළඹ යාපනය ආදී විශ්ව විද්‍යාලවලත් සිනමාව පිළිබඳ උගන්වා තිබෙනවා. පතිරාජ සර්ගේ අගය අපේ රටට තවම හරියට දැනිලා නැහැ. ඔහුගේ නිර්මාණ පිළිබඳ සිනමාව හදාරන්නවුන් තුළ, විශ්වවිද්‍යාල තුළ මිට වඩා පුළුල් ව කතාකළ යුතුයි . එතුමා අපේ රටේ සිනමා කර්මාන්තයට කළ මෙහෙවර මෙන්ම එතුමාගේ අඩුව අදටත් වඩා මේ රටට දැනෙන්නේ හෙටයි.

 

Comments