අපේ රටෙන් නික්ම ගොස් ලෝක පූජිත වූ වය­ලීන වාද­කයා | සිළුමිණ

අපේ රටෙන් නික්ම ගොස් ලෝක පූජිත වූ වය­ලීන වාද­කයා

එල්. සුබ්‍රමනියම් හෙවත් පණ්ඩිත් ලක්ෂ්මිනාරායන සුබ්‍රමනියම් යන නාමය අපට ආගන්තුක වුවද ලෝකයේ ඉන්දීය සම්භාව්‍ය සංගීතය රසවිඳින සංගීත රසකාමීන් අතර ඒ නම නොදන්නා අයෙක් නැති තරම්ය. සිංගප්පූරුවේ සිට පැරිසිය දක්වාත් දිල්ලියේ සිට ලොස් ඇන්ජලීස් නුවර දක්වාත් වූ ප්‍රේක්ෂකාගාර සිය මනමෝහනීය වූ වයලීන රාවයෙන් වශී කරලූ සුබ්‍රමනියම් හැඳින්වෙන්නේ ඉන්දියාවේ වයලීන පියා ලෙසිනි. මේ මහා සංගීතඥයා නොබෝදා අප රටට පැමිණියේ දෙරටේ මිතුදම සාක්ෂාත් කරමින් පැවැති මහා සංස්කෘතික සංදර්ශනයකට සහභාගිවීම සඳහාය.

අප රට හා ‍ඉන්දියාව අතර මිත්‍රත්වය බොහෝ ඈතට දිව යන්නකි. දෙරටම නිදහස ලැබ මේ වෙද්දී වසර හැත්තෑවක් ගෙවී හමාරය. දෙරටේම නිදහස් සමරුව වෙනුවෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා විශේෂ සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කර තිබිණි. එය නම් කර තිබුණේ ‘Bollywood and Beyond’ ලෙසිනි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එම සංගීත සැන්දෑවේදී ජනප්‍රිය බොලිවුඩ් ගීත ඉන්දියානු හා බටහිර සම්භාව්‍ය සංගීතය හා මුසුව ඉදිරිපත් කළේ එල්. සුබ්‍රමනියම්ය. ඔහු වයලීනයේ තත්සර රාවයෙන් නරඹන්නන් පිනවද්දී ඔහුගේ බිරිය කවිතා ක්‍රිෂ්ණමූර්ති හා දියණිය බින්දු සුබ්‍රමනියම් ගායනයෙන් සහාය වුහ. මේ සංදර්ශනයට ඉන්දියාවේ නන් දෙසින් පැමිණි සංගීත ශිල්පීහු ද එක්ව සිටියහ.

ඉන්දියාවේ කර්නාටක සංගීතය පෙරට ගෙන ආ ශිල්පීහු ‍බො‍හෝ වූහ.

ඒ අතරින් මහාචාර්ය වී. ලක්ෂ්මීනාරායන අයියර් යනු මහා සංගීත පරපුරකින් පැවැත එන්නෙකි. එකල කර්නාටක වයලීනය සංගීත වාද්‍ය වෘන්දයන්හි භාවිත වූ‍යේ සමූහ වාදන භාණ්ඩයක් ලෙසය. මහාචාර්ය අයියර් කර්නාටක සංගීතයේ අභියෝගාත්මක වෙනසක් කරමින් සිය දරුවන් සය දෙනා අතරින් පුතුන් තිදෙනා මෙහෙයවමින් කර්නාටක වයලීන වාද්‍ය වෘන්දයක් තැනීය. මෙය විසිවැනි සියවසේ කර්නාටක සංගීතයේ ඉතිහාසගත ‍වෙනසක් ලෙස සැලකේ. 70 දශකයේ කර්නාටක සංගීතයේ මුදුන් පෙත්තේ සිටියේ මේ සහෝදරයන් තිදෙනාය. ඔවුන් හැඳින්වුණේ ‘වයලීන තුන් කට්ටුව’ හෙවත් Violin Trio ලෙසිනි. එල්. වෛද්‍යනාදන්, එල්. සුබ්‍රමනියම් සහ එල්. ශන්කර් යන මේ සහෝදරයන් තිදෙනා එකල සිය වයලීන වාදනයෙන් සංගීත ලෝලීන් මුසපත් කළහ. පසුකාලීනව මේ තිදෙනා වෙනම සිය සංගීත දිවිය ඉදිරියට ගෙන ගියහ.

එල්. සුබ්‍රමනියම්ගේ මව ගායිකාවක හා වීනා වයන්නියක වූවාය. සංගීතඥ සුබ්‍රමනියම් ද වයලීනය අතට ගත්තේ ඉතා ළාබාල වියේදීය. මහාචාර්ය අයියර් බිරිය හා දරුවන් යාපනය සාමකාමිව තිබූ අවදියේ ජීවත් වූයේ යාපනයේය. එවකට එල්. සුබ්‍රමනියම්ගේ වයස අවුරුදු 5කි. මහාචාර්ය අයියර් යාපනයේ සංගීත විද්‍යාලයක ඉගැන්වූ අතර රටපුරා දෙමළ අරගල ආරම්භ වීමත් සමඟ 1958දී තම සියලු සේසත මෙහි අත්හැර ඉන්දියාවේ එකල මැඩ්රාස් බලා ගියේය. මැඩ්රාස්හි හැදුණු වැඩුණු එල්. සුබ්‍රමනියම් මැඩ්රාස් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව එම්.බී.බී.එස් වෛද්‍ය උපාධිය ලැබ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නට වූයේය. එහෙත් ඔහුගේ සිත ඇද බැඳ තැබුණේ කර්නාටක සංගීතයේය. එනිසා ඔහු‍ වැඩි කල් නොයවා වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කියමින් මුළු දිවියම වයලීනය වෙනුවෙන් කැප කළේය. එපමණක් නොව කර්නාටක වයලීන සංගීතය බටහිර සංගීතය හා මුසු කරමින් මුළු ලෝකය පුරාම කර්නාටක සංගීතය ප්‍රචලිත කළේ ගී තැටි හරහාය. ඉන්දීය මහා සංගීතවේදී රවි ශංකර් ලෝකය පුරා වාදන ඉදිරිපත් කරද්දී සුබ්‍රමනියම් සිය වයලීනයෙන් රවි ශංකර් හා එක්වෙමින් සංගීත ලෝලීන් පිනවීය. එපමණක් නොව පණ්ඩිත් සුබ්‍රමනියම් ලෝකයේ සුප්‍රසිද්ධ වයලීන වාදකයන් හා එක්ව වයලීන වාදන සංදර්ශන පවත්වමින් කර්නාටක වයලීන රාවය ‍ලොව පුරා පතළ කරන්නේය.

යෙහුදි මෙනුහින් යනු ඇමෙරිකාවේ උපත ලැබ සිය සංගීත දිවියේ වැඩි කාලයක් එංගලන්තයේ ගත කළ විසිවැනි සියවසේ විශිෂ්ට වයලීන වාදකයන්ගෙන් කෙනකු ලෙස හැඳින්වෙන අසහාය සංගීතඥයෙකි. මොහු වරක් ඉන්දියාවට පැමිණ බොහෝ වයලීන වාදකයන්ගේ හා සංගීතඥයන්ගේ සංගීතයට සවන් දෙමින් රට පුරා සංචාරය කළේය. මේ සංචාරයේදී ඔහුගේ සම්භාවනාවට පාත්‍ර වූ සංගීතඥයන් දෙපළ වූයේ රවි ශංකර් හා සුබ්‍රමනියම්ය. යෙහුදි ඉන්පසු මේ දෙදෙනා සමඟ සංගීත ඇල්බම ගණනාවක් ඉදිරිපත් කළේය. එය ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ තවත් කඩඉමක් වූයේය. සුබ්‍රමනියම්ගේ සංගීතය ලොවපුරා පතළ වීමට එය තවත් පිටිවහලක් විය.

මේ මහා සංගීතවේදියාගේ ජීවිතයේ ඔහු වරක් නිහඬවූ අවස්ථාවක් විය. ඒ ඔහුගේ පියාගේ අභාවයයි. ඉන් කම්පිත වූ ඔහු සදහටම යළි සිය වයලීන තත් පිරිනොමදින්නේය යන හැඟීමෙන් යුතුව උකටලී වූයේය. ඉන්පසු වසරක් පමණ යනතුරු ඔහු වයලීනයට අතවත් නොතබා කල් ගත කළේය.

“මගේ ගුරුතුමා මගේ පියායි. වයලීනය ඒකල වාද්‍ය භාණ්ඩයක් ලෙස ගෙන ඒමට එතුමා විශාල දායකත්වයක් දැක්වූවා. වයලීනය දෙස නෙත් යොමු කරන සෑම අවස්ථාවක මට එතුමා හා එතුමා බිහිකළ වාද්‍ය රටා සිහිපත් වුණා. එතුමාගේ සිහිනය වුණේ වයලීනය ඒකල වාද්‍ය භාණ්ඩයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කිරීමයි. අවසානයේ මා එතුමාගේ සිහිනය සැබෑ කරන්න අදිටන් කර ගත්තා.” යැයි වරක් මේ මහා සංගීතවේදියා ප්‍රකාශ කළේය.

පණ්ඩිත් එල්. සුබ්‍රමනියම්ගේ පළමු බිරිය විජයාශ්‍රී ද සංගීත පරපුරකින් පැවත එන්නියකි. ඇය ඇමෙරිකාවේ කැලිපෝර්නියා සංගීත ආයතනයේ ලෝක සංගීතය පිළිබඳ පශ්චාත් උපාධිදාරිණියකි. ‘විජි රෙකෝඩ්’ ලේබලය යටතේ ගී තැටි ගණනාවක් නිකුත් කළ ඇය සලාම් බොම්බේ හා මිසිසිපි මසාලා වැනි ‍චිත්‍රපට ගණනාවක් සඳහා ගී ගායනා කළාය. බිරිය විජයාශ්‍රී ගේ 1995දී සිදුවූ අකල් මරණය මේ මහා සංගීතවේදියාගේ ජීවිතයට බලවත් පහරක් වෙද්දී දරු සිවුදෙනා ඇතුළු මේ පවුල වෙත දයාවෙන් ළං වූ‍යේ තවත් සංගීතවේදිනියකි. ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක වන කවිතා ක්‍රිෂ්ණමූර්තිය. 1999දී ඔවුන් විවාහපත් වූ අතර එතැන් පටන් ඔවුන්ගේ සංගීත කිතුගොස ලෝකය පුරා පැතිර ගියේ රටවල් විස්සක නගර හතළිස් නවයක් සිසාරා සංගීත සංදර්ශන පවත්වමින් ගිය ගමනේදීය.

මේ අසහාය සංගීතවේදියා ඉන්දියාවට ගෙනා කීර්තිනාමය හේතුවෙන් 1998 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඉන්පසු පද්ම භූෂණ හා වයලීන චක්‍රවර්ති වැනි විශිෂ්ට සම්මාන ගණනාවකින් පිදුම් ලැබීය. මේ සංගීතවේදියාගේ කිතුගොස තවත් ඔප නංවමින් මේ වෙද්දී ඔහුගේ පුත් අම්බි හා දියණිය බින්දු ද බිරිය කවිතා සමඟ වයලීන වාදනයෙන් හා ගායනයෙන් ලොව පුරා සංගීත රසිකයන් පිනවන්නේය.

අද මුළු ලෝකයේම මුදුන් පෙත්තේ සිටින සම්භාව්‍ය වයලීන වාදකයකයන් අතරින් කෙනකු වන පණ්ඩිත් සුබ්‍රමනියම් එදවස යාපනයේ කලකෝලාහල හේතුවෙන් අප රට හැරපියා නොගියේනම් අද ඔහු නිසා බබළනුයේ අපේ අසල්වැසි ඉන්දියාව නොව අප රටය. හැඳිවත පමණක් ඉතිරිව සියල්ල මෙරටේ අත්හැර දමා එදා අපේ රටෙන් ඒ නික්මුණේ අපේ රටට උරුම වන්නට තිබූ මහා කීර්තියකි. සංගීත උරුමයකි.

Comments