
කොන්දේ රුදාවෙන් ෂූටිං කැන්සල්
අසනීපයක් තිබුණත්, ඒ වගක් කිසිවකුටවත් නොහඟවා වැඩට බහින්න නොපැකිලෙන නිළියක් තමයි, රාණි මුඛර්ජි. ඒ අයුරින් නියම වෘත්තීය නිළියක් ලෙස කටයුතු කරන්නට යද්දී ඇයට පසුගියදා සිදුවුණේ නොසිතූ කරදරයක්. එය සිදුවුණේ මෙහෙමයි.
රාණි මෑතකදී රඟපෑ ‘හිච්කි’ නම් වූ අලුත් ම චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනක රූගත කිරීමකට සහභාගි වීමට චිත්රාගාරයකට පැමිණ සිටියා. මේ රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාකරුවන් වන කරන් ජොහාර් සහ රෝහිත් ශෙට්ටියි. රාණි මුඛර්ජි මේ රූගත කිරීමට පැමිණෙන බව දන්වා සිටියේ පසුගිය මාස දෙක තුන තිස්සේ ඇයට වද දුන් පිට කොන්දේ හටගත් සුළු වේදනාව ගැන සැලකිල්ලක් නොදක්වමින්. ඒත්, රූගත කිරීමට පැමිණි ඇය අසුනක වාඩිවුණේ පිට කොන්දේ වේදනාව තරමක් වැඩිවී ඇති බව වැටහුණු නිසයි. ඇය ඒ බවක් කිසිවකුටවත් හැඟවූයේ නැහැ.
තවත් විනාඩි කිහිපයක් ගතවුණා. රාණි එම අසුනෙන් නැගී සිටින්නට උත්සාහ ගත්තා. නමුත් ඇයට නැගිටින්න හැකිවුණේ නැහැ. වේදනාව එක්වරම වැඩිවුණා. ඒ වේදනාව රාණිට ඉවසා දරා සිටීමට හැකි වුණේ නැහැ. ඉතින්, ඇයට සිදුවුණේ රූගත කිරීම් පැත්තක තබා වෛද්‍යවරයකු වෙත යන්නටයි. මේ නිසා රූගත කිරීම අතහැර දමන්නට සිදුවුණා. එලෙස විස්තර කීවේ කාර්මික ශිල්පියෙකි.
තම්මනාට සපත්තු ප්‍රහාරයක්
තම්මනා භාතියා 2005 දී බොලිවුඩ් සිනමාවට එක්වූ යොවුන් නිළියක්. එකල ඇය 15 වියැති යුවතියකව සිටිද්දී ‘චාන්ද් සා රොෂාන් චෙහ්රා’ නම් වූ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවා. මේ වන විට 29 වැනි වියෙහි පසුවන තම්මනාට පසුගියදා ස්වර්ණාභරණ වෙළෙඳසලක් විවෘත කිරීමට ඇරයුමක් ලැබුණා. විවෘත කරන වේලාවට පැමිණි මේ සුරූපිනිය, ඒ වැඩකටයුතු වලට සහභාගී වී වෙළෙඳ සලෙන් පිටතට පැමිණියේ තම නිවෙස බලා යන්න හිතාගෙන.
ඒත් ඇයට සිදුවුණේ අනපේක්ෂිත දෙයක්. ඇය දෙසට විදුලි වේගයෙන් හඹා ආවේ සපත්තුවක්! වට පිට බලද්දී ඇය දුටුවේ කිසියම් පුද්ගලයකු තමන්ට සපත්තුවකින් පහර දී පැන යන්නට උත්සාහ කරන බවයි. සපත්තු පහරින් වැළකෙන්නට ඇයට හැකි වුණා. ඒ මොහොතේ ම ක්‍රියාත්මක වූ ඒ අසල රැඳී සිටි පොලිස් නිලධාරියකු සපත්තුවෙන් දමා ගැසූ පුද්ගලයාව අල්ලා ගත්තා. ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ 31 වියෙහි පසුවන ඔහු තාක්ෂණ විද්‍යා උපාධිධාරියකු බවයි. පොලිස් අත්අඩංගුවට පත්වූ නාරායන්ගුඩා පොලිස් ස්ථානයට රැගෙන ගියා. එහි ස්ථානාධිපති බී. රවින්දර් පැවසුවේ පහර දීමට හේතුව වී ඇත්තේ තම්මනා විසින් මෑතකදී රඟපෑ චරිත මේ පුද්ගලයා ගේ නොසතුටට ලක්වී ඇති බවයි. තම්මනා මෑතකදී රඟපෑවේ “බාහුබාලි ද බිගිනින්” සහ “බාහුබාලි 2 : ද කන්ක්ලූෂන්’ යන චිත්‍රපටවලයි.
තෙලිඟු සහ දමිළ චිත්‍රපටවල ද රඟපා ඇති තම්මනා, දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම මුදලක් අය කරන නිළියන් කිහිප දෙනාගෙන් එක් අයෙක්.
සීනත් අමාන්ටත් අතවර
ප්‍රවීණ නිළි සීනත් අමාන් මේ වන විට 66 වැනි වියෙහි පසුවෙනවා. පසුගියදා ඇය, පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, ඉන්දීය ව්‍යාපාරිකයකුට එරෙහිවයි. ඇය, තම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර ඇත්තේ අමාර් ඛන්නා නම් වූ මෙම ව්‍යාපාරිකයාගෙන් තමන්ට කරදර සිදුවන බවයි. ඔහු එක් අවස්ථාවකදී තමන්ට අතවර කරන්නට තැත් කළැයිද සීනත් අමාන් එම පැමිණිල්ලෙහි සඳහන් කර තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ දී ඔහු, තමන්ව ලුහුබැඳීමටත් අතවර කිරීමටත් උත්සාහ කළ බවද ඇය තවදුරටත් සඳහන් කර තිබෙනවා.
අමාර් ඛන්නා සහ සීනත් අතර මිත්‍රත්වයක් ඇතිවී තිබුණු බවයි පැවසෙන්නේ. දීර්ඝ කාලයක පටන් සීනත් මෙන් ම ඇගේ පවුලේ සාමාජිකයන් ද මේ ව්‍යාපාරිකයා හොඳින් දැන හඳුනා ගෙන සිටිය ද මේ වන විට තත්වය වෙනස් වී තිබෙනවා. කිසියම් සිදුවීමක් නිසා අමාර් සමඟ කතාබහ කිරීම නවතා දැමූ සීනත්, ඔහුගෙන් ලැබෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීමටත් පෙලඹුණා. නමුත් පසුගිය මාස කිහිපය තුළ ඔහු සීනත්ට තර්ජන කිරීමට කටයුතු කර තිබෙනවා. එක් අවස්ථාවකදී ඔහු සීනත් වෙසෙන නිවසට ඇතුළුවීමට කළ උත්සාහය එහි සිටි ආරක්ෂකයකු විසින් නවතා දමා තිබෙනවා. එහිදී ඔහු ආරක්ෂක භටයා සමඟ ගැටුමක් ඇති කරගෙන ඇතැයි ද පැවසෙනවා. සීනත් ගේ පැමිණිල්ල විභාග කරන මුම්බායි පොලීසිය, අමාර් ඛන්නා ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවයි, ඉන්දීය මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත්, සීනත් අමාන් මේ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නැහැ.