
අපි යනවිට එතැන එකම ගාලගෝට්ටියකි. එක් ගැහැනියක් කතාව නතර කරන විට අනෙකා පටන් ගන්නීය.එක් කෙනකු අනෙකාට දෙවැනි නැත. කියවිල්ලේද ඉවරයක් නැත. මහලු මිනිසා මේ සියල්ල දෙස දෑස් අයාගෙන ඉතා ඕනෑකමින් කන් යොමාගෙන සිටියේ ය. ඒ ගැහැනුන්ගේ කියවිල්ල මහලු මිනිසාට පමණක් නොව වට පිටාව පුරා ඇති ගහ කොළ සතා සිව්පාවට පවා මහා කන්දොස්කිරියාවක් වී ඇති නිසාය.
එම ගැහැනුන් දෙස බලමින් කතාවලට මඳවෙලාවක් කන් දී සිටී මහලු මිනිසා හඬ අවදි කළේය.
‘‘කෝ මාලනී.”
එහි හඬෙහි ගැබ්ව ඇත්තේ මහත් දුක්මුසු කනගාටුවකි. ඒ වචනය නිම වෙන්න පෙර යළිත් ගැහැනියක් කට ඇරියා ය.
‘‘ඔව් ඉතින් ඒකිට සිදාදියේ කලිසංකාරයෝ දැක්කම ඔක්කොම අමතක වුණානේ”
ඒ වචනයෙන් ම මෙතෙක් වෙලා එම ගැමි ගැහැනියගේ හිතේ කැකෑරමින් තිබූ ඉරිසියාව ඉස්මතු විය.අනෙක් ගැහැනුන් ද මොන මොනවදෝ කියමින් කිසි අණක් ගුණක් නොමැතිව ගස්සාගෙන යන්නට වූවාය. ඔවුන් නොපෙනී යන තෙක් බලා සිටී මහලු මිනිසා යළි කල්පනාවට වැටුණේය.
‘‘ඕකේ. ඕකේ කට්, කට් ”එම එම විධානයත් සමගම රූගත කරමින් තිබූ දර්ශනය අවසන් විය.
‘‘එහෙනම් කට්ටියම ගිහින් කාල එන්න”. එසේ ඔවුන් පිටත් කළ දයාරත්න රටගෙදර නම් ප්‍රවීණ අධ්‍යක්ෂකවරයා සිනාමුසු මුහුණින් යුතුව අප කරා පැමිණියේ ය. ‘‘කොහොමද මචං, කෑම එහෙම කෑවද ?” ඔහු එසේ අසා, අපව කොළඹ සිට දර්ශන තලය වෙත රැගෙන ආ ලක්සේයා අධිපති නිමල් ඩබ්ලිව් උඳුගොඩ මහතා දෙස හැරුණේය. ‘‘හරි හරි ඒ ඔක්කොම හරි. ”
කොළඹ සිට බණ්ඩාගමට ගොස් එතැන් සිට කළුතර පාරේ මොරොන්තුඩුව, ගල්පාත කැන්දකැටියවත්තේ ‘කැලෑහඳ‘ රූගත කිරීම් සිදුකරන ස්ථානයට අපි යනවිටත් 3.30 පසු වී තිබිණි. රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහත්වරුන් ද එම ස්ථානයට පැමිණ සිටියහ.
කට්ටියම කෑමට ගියා ඇයි කන්න යන්නේ නැද්ද ?” නිමල් මහතා රටගෙදර මහතාගෙන් විමසීය.
‘‘දැන් කන්න බැහැ. පත්තරේට විස්තර ටික දීලා පස්සේ කෑම කනවා.” අපි එලෙස කතා කරමින් සිටියේ දී රූපවාහිනියෙන් නිතර දකින මැණිකේ අත්තනායක, ජගත් බෙනරගම, තාරුකා වන්නිආරච්චි,චන්ද්‍රසෝම බිංදුහේවා වැනි රංගන ශිල්පි ශිල්පිනියන් සිනාමුසුව සිය ළෙන්ගතුකම අප වෙත දක්වමින් කෑම සඳහා පිටත්ව ගියහ.
මෙරට සිටී විශිෂ්ටතම ලේඛකයකු වූ ඩබ්ලිව්. ඒ. සිල්වා ශුරීන්ගේ කැලෑහඳ ප්‍රකට නවකතාව පාදක කරගනිමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත, ලක්සේයා අධිපති නිමල් ඩබ්ලිව් උඳුගොඩ මහත්වරුන්ගේ සම නිෂ්පාදකත්වයෙන්, දයාරත්න රටගෙදරයන් අධ්‍යක්ෂණය කරනු ලබන කැලෑහඳ ටෙලි වෘතාන්තය මේ දිනවල ඉතා සාර්ථක ලෙස රූගත කරමින් තිබෙන අතර අප මේ පැමිණ සිටින්නේ එම තොරතුරු රසඳුන පාඨක ඔබ සමඟ බෙදාගන්නටය.
කැලෑහඳ කෘතිය පාදක කරගනිමින් මීට වසර හැටකට පමණ පෙර රුක්මණී දේවී, ස්ටැන්ලි පෙරේරා ඇතුළු මෙරට සිටී දක්ෂ රංගන ශිල්පි ශිල්පිනියන් යොදාගෙන කැලෑ හඳ චිත්‍රපටය තිරගත කර තිබුණ ද එය නරඹා ඇති පුද්ගයන් මේ වන විට සිටිනුයේ අතලොස්සකි. එම චිත්රපයේ තිබූ ‘මායා මායා , මැවිලා පෙනේවී රූපේ සහ මගේය ප්‍රේම මාලනී‘ යන ගීතද වර්තමානයට ගැළපෙන සේ මෙම ටෙලිනාට්‍යයට ද ඇතුළත් කර තිබේ. එම නිසා කොටස 60 කින් සමන්විත මෙම ටෙලිනාට්‍යය වත්මන් ටෙලිනාට්‍ය කලාවට සුවිශේෂී වෙනසක් එක්කරනු ඇත.එදා කැලෑ හඳ චිත්‍රපටයේ මාලනීගේ චරිතයට රුක්මණී දේවී පණ පෙව් අතර මෙම ටෙලිනාට්‍යයේ එම චරිතයට පණ පොවනුයේ තාරුකා වන්නිආරච්චිය. එහි ජෝන් ජයපාලගේ චරිතයට එදා ස්ටැන්ලි පෙරේරා රංගනයෙන් එක් වුණ අතර අද අරවින්ද දොඹගහවත්ත එම චරිතයට පණ පොවන්නේය.
‘‘මේ නාට්‍යය කරන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා. මොකද අපේ උත්සහය මීට වසර හැටකට පෙර තිබූ ගම වගේම ඇඳුම් පැළඳුම්, යාන වාහන, ඒ කාලේ භාවිතා කළ සෑම දෙයක් ම ඒ අයුරින් කැලෑහඳ නරඹන ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න. අඩු ගාණනේ විදුලි රැහැනක්වත් නොපෙනෙන්න රූගත කිරීම් කරන්න ඕන. අද ඒ දේ කරන එක ලෙහෙසි නැහැ. නමුත් අපි දැඩි වෙහෙසක් ගන්නවා සැබෑ කැලෑහඳට අසාධාරණයක් නොවන්න වගබලාගන්න. අපේ කලා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ඇහැළියගොඩ සෝමතිලක මහත්මයා. එතුමා ඒ අභියෝගේ මනාව ජයගනිමින් ඉන්වා.”
අපි එලෙස කතා කරමින් සිටිය දී කෑමට ගිය නළු නිළියෝ යළි දර්ශන තලයට පැමිණියහ.
‘‘මේ තාරුකා තමයි මාලනීගේ චරිතයට පණ පොවන්නේ. ” රටගෙදර තාරුකා පෙන්වමින් කියද්දී සිනාමුසු මුහුණින් පැමිණි තාරුකා අප අසලින් හිඳගත්තේය.
‘‘කැලෑ හඳ චිත්‍රපටය නරඹලා තියෙනව ද ?” ‘‘නැහැ”
‘‘පොත කියවල තියෙනව ද ?” ‘‘ ඔව් කියවලා තියෙනවා.”
‘‘චිත්‍රපටයේ නම් මාලනීගේ චරිතය කළේ රුක්මණී දේවී. ඔබට මේ චරිතය අභියෝගයක් නෙවෙයි ද ?”
‘‘මම ඒ චිත්‍රපටය නරඹල නැහැ. ඒ නිසා මම හිතනවා මට දීල තියෙන පිටපතත් එක්ක ඊට හොඳ සාධාරණයක් කරන්න පුළුවන් කියලා.”
කතාබහ කරමින් සිටින අතර ජගත් බෙනරගම අප අතරට පැමිණියේය.
‘‘මේ කතාවේ කොඳුනාරටිය තමයි අදිරා. අදිරගේ චරිතයේ යම් පසුබෑමක් වුණොත් කතාව පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මම හැකි උපරිමයෙන් මේ චරිතය සාර්ථකව ඉදිරිපත් කරන්න මගේ උපරිමයෙන් කැපවෙනවා.”එහෙම කිව්වේ ඒ චරිතයට රංගන දායකත්වය ලබාදෙන ජගත් බෙනරගම.
‘‘දැන් පිටරටවලින් ගෙන්වල හඬ කවලා පෙන්වන අවරගනයේ නාට්‍යය වලට කැලෑ හඳ හොඳ අභියෝගයක් වේවි” උපාලි සමරසිංහ ද කතාවට එක් විය. උපාලි සමරසිංහ කියන්නේ සිළුමිණ පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදියෙක්. ඔහුත් මේ නාට්‍යයේ චරිතයක් නිරූපණය කරයි.
යළිත් රූගත කිරීම් ඇරැඹීමට දර්ශන තලය සූදානම් නිසා රටගෙදර එතැනට ගියේය. අපි රූගත කිරීම් නරඹමින් අවශ්‍ය ඡායාරූප ගත්තෙමු.
කාලය ගෙවෙමින් කළුවර වැටෙන්නට ආසන්නය. වරින් වර වැටෙන වැහි බින්දු ගහකොළ දිගේ හෙමින් සිරුවේ පොළවට වැටමින් තිබේ. වැඩි වේලාවක් යෑමට පෙර අනෝරා වැස්සකට අහස කර අරඅඳිමින් සිටී.
‘‘අද නම් රෑ දර්ශන ගන්න බැරි වේවි.” රටගෙදර සහාය අධ්යක්ෂවරයාට කීවේ අහස දෙස බලමිනි. අප සමු ගැනීමට කාලය පැමිණ තිබේ. පිටත්වීමට පෙර රටගෙදර අපට මෙලෙස කීවේය.
‘‘ මේ දැවැන්ත කාර්යයට අපේ රූපවාහිනියේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, අධ්යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වේතන්ත්‍රි, ක්‍රියාකාරී අධ්යක්ෂ අමල් ගජමන්ගේ මහත්වරුන්ගෙන් පුදුමාකාර සහයක් ලැබෙන්නේ. ඒ නිසා ඉදිරියේ සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේම ප්‍රචාරය කරගන්න අවස්ථාව උදා වේවි.” අප එහි සිටි සියල්ලට සමුදෙමින් කැලෑ හඳ දර්ශන තලයෙන් සමුගත්තෙමු.
නළු නිළි කැල
තාරුකා වන්නිආරච්චි, අරවින්ද දොඹගහවත්ත, විජේරත්න වරකාගොඩ, වීනා ජයකොඩි, චන්ද්‍රසෝම බිංදුහේවා, ජගත් බෙනරගම, උදේනි නදීකා, උදයන්ති කුලතුංග, ජගත් මුතුකමාරණ, මැණිකේ අත්තනායක, උදේන චන්ද්‍රසිරි, හේමන්ත ඊරියගම, සරත් කුලාංග, සහන් මාන්නගේ, අර්ඩිලි වෙදමුනි, මානෙල් චන්ද්‍රලතා, චින්තක කුලතුංග, රත්නා සුමනපාල, භාරත වනරත්න, කරු අතුකොරළ, සුමිත් මුදන්නායක, උපාලි සමරසිංහ, අනෝජා වීරවර්ධන, උපුල් සළුවඩන, විජය බණ්ඩාර, නන්දන උඩුපල, නෝමන් පළිහවඩන,
අධ්‍යක්ෂණය-දයාරත්න රටගෙදර, කැමරාකරණය-ජනක යහම්පත්, කලා අධ්‍යක්ෂණය-ඇහැළියගොඩ සෝමතිලක, තිර රචනය-වජිර කස්තුරි , සහය අධ්‍යක්ෂණය-නාරද රත්නායක, දීපාල් ගුණවර්ධන, අංග රචනය-ප්‍රියාන් ඊශ්වරගේ, සංස්කරණය-අයි.පී වීරසිංහ, සංගීතය-ප්‍රියනාත් රත්නායක, නිෂ්පාදනය-ජාතික රූපවාහිනිය සමඟ නිමල් ඩබ්ලිව් උඳුගොඩ, ආරියනන්ද දොඹගහවත්ත, නිෂ්පාදන කළමනාකාරිත්වය-අජිත් දිසානායක, ලක්සේයා නිෂ්පාදන ආයතනයේ ඉදිරිපත් කිරීමක්.